Thursday, October 31, 2013

තේරුණේ නෑ තමයි, ඒත් සිත සතුටුයි

තේරුණේ නෑ තමයි, ඒත් සිත සතුටුයි


හොදට ම සීතල බව තවත් එත්තු ගන්වන මීදුම් වළාවක් ඒ සිතුවම සම්පූර්ණ කළා. පොඩි වැහි බීරම නොතිබුණානම් ඒක තවත් අඩුවක් වෙන්න තිබණා. නගරය ට ආසන්න ව වුණත් කදුගැටයක් උඩ තනි වී පිහිටා තිබී ම ඒ නdස්රත් දෙව් මැදුර ට ලැබුණු ඉහළ ම දායාදය වෙන්න පුළුවන්. කළුවර වැටෙන්න ආසන්නව තිබුණු එම මොහොතේ ඒ අත්දැකීම ඉතාම රෝමාන්තික බවකින් වෙලී තිබුණත්, දවසේ ඕනෑ ම වෙලාවක ඒ අත්දැකීමෙහි ලොකු වෙනසක් දැනෙන එකක් නැහැ.

 බණඩාරවෙළ නගරයට ඉතාම ආසන්නයේ හුදකළා කදුගැටයක් මත, නාස්රත් කන්‍යා රාමය ට යාබද ව පිහිටා ඇති මේ කුඩා දෙව් මැදුර මෑත ඉතිහාසයේ මා දුටු ඉතා ම අලංකාර ගොඩනැගිල්ලක්. දශක කිහිපයක ට පෙර නිරමාණය වුණත්, එම ගොඩනැගිල්ල කාලය අතික්‍රමණය කරන සුවිශේෂී නිර්මාණයක්.

පිටත ට දිස්වන්නේ කළුගල් බිත්තියක් මත රැදි සරළ වහලයක් සහ අල්තාරය යැයි සිතිය හැකි, ඉහළට නැගුණු කළු ගල් ස්ථම්භයක්. නමුත් ඒ කළු ගලින් සැදි හතරැස් කුළුණ මතින් දෙපස ට විහිදෙන විසල් වැහි පීලි කුරුසයක දළ රුවක් මවාපාන බව දකින්නට පුළුවන්. අපව ගොඩනැගිල්ල තුළට ඇදගන්නේ ඒ කළු ගල් වලින් සැදි පවුරුම ය පෙනුම මයි. ඔබේ ආත්මය දෙවියන් අභිමුව ට රැගෙන යාමට නම්, ඔබ ඒ කුඩා ලී දොරටුවෙන් ඇතුළු විය යුතුම යි.

රළු බව සහ දුහුල් බව අතරත්, ඝන බව සහ මුදු බව අතරත් ඒ මේ අත ලියවෙන කදිම සංවාදයක්! පිටත ට දිස්වන එම කළු ගල් බිත්තිය ට සමාන්තර ව අනෙක් පස නිර්මාණය වී ඇත්තේ විසල් වීදුරු ජනෙල් වලින්. ඔබේ සිත එළියට ඇද ඈතින් පෙනෙන හරිත නිම්නය ට විසිකිරීම ට ඔබ ට සිතෙණු ඇත. පය ට රළු ගල් පොළව, ඉහළින් ලී පටි වලින් සැදි කුහර සිවිලිම. පාවහන් පළදා සිටීමෙන්, ඔබ ඔබේ සංවේදී බවට සමු දෙන්නේ ඇයි? දේවත්වය අභිමුව ඔබ තවත් එක් කුඩා මිනිසෙකු බව කියාපෑම ට මහ පිළිම හෝ විශාල අලංකරණ විස්තර ඒ සරළ අවකාශයට අවශ්‍යවී නැත. නමුත් ඔබ තවත් සාමාන්‍ය මිනිසෙකු බව එහි ඇතුල් වන විට ම ඔබට දැනෙනු ඇත. නවීන පන්නයේ පන්සලක ට ගොස් ඔබ සොයන ධර්මය හෝ හිතේ සැහැල්ලු බව කිසිදාක ඔබ ට ලැබී ඇත්ද? විසල් පිළිම, අධි වර්ණ චිත්‍ර, කැටයම් කණු සහ මාළිගා පියසි වලින් හෙබි මහා විහාරයක ට වඩා මේ දෙව් මැදුර තුළදී දැනෙනනේ හද්දා පිටිසර ගමේ පන්සල ක වැළි මළුව ට වැටී ඇති දිරා ගිය බෝ පතක් දුටු විට දැනෙන ආකාරයේ පහන් හැගීම ක්.

වාස්තු ව්ද්‍යා ශිල්පය තුළින් මිනිසෙකු ට බලකරනවා ට වඩා දැනෙන් ට හැරිය හැකි බවට මෙය කදිම උදාහරණයක්. යාඤාකිරීම සදහා සැළසුම් කර ඇති අවකාශය හිතාමතා ම නිර්මාණකරුවා විසින් එක් පසෙක ට බර කොට ඇත්තේ, මෙතෙක් කල් දෙවියන් ඇදහූ සාම්ප්‍රදායිකත්වය ට සමුදීම ට මෙනි. නමුත් ඒ තුළින් බිහිවන කදිම අසමතුළිත සම්පිණඩනය නිර්භීත ප්‍රකාශනයක්. ලී බංකු කිහිපයෙහි සරළ නිමාව ඒවා එහි ඇති බව පවා අමතක කරන්නක්.

ආසනාගාරය අල්තාරය දෙසට විහිදෙන්නේ දැනෙන නොදැනෙන තරමේ බෑවුමක් සහිතව රළු කළුගල් බිම් ඇතිරුම මතින්. ඉහළින් සිවිළිම නිමවා ඇත්තේ හතරැස් හැඩැති කොණාකාර සරළ කුහර හතර ලී පටි වලින් මනාව ආවරණ ය කිරීමෙන්. පුදුමය නම් මෙයයි. ඔබ සෙමෙන් අල්තාරය අසළ ට පිය මනින විට ඔබ සහ සිවිළිම අතර ඇති අවකාශය ක්‍රමයෙන් විශාල වන බව ඔබට දැනේවි. ඒ පොලොවෙහි සකසා ඇති දළ බෑවුම නිසයි. එම කුඩා දෙව් මැදුර තුළ ඇති ඉතා ම සෞන්දර්‍යාත්මක විශ්මය එයයි. දේවත්වය පාමුල ඔබේ අගුටුමිටි බව ඔබ ම පසක් කර ගන්න.

පන්සලක හෝ පල්ලියක ප්‍රධාන දේව හෝ බුද්ධ පිළිමය එතරම් කුඩාවට සහ සරළව පිහිටුවා තිබීම ඇස් අදහාගත නොහැකිතරමේ සතුටක් ගෙනදෙන්නක්. පිළිමයකට කළ නොහැකි දෙයක් සංවේදීව සැළසුම් කළ අවකාශයකින් කළ හැකි බවට කෙරුණු ආශචර්යමත් අත්හදාබැලීමක් ලෙස එහිදී දැනුණු හැගීම තවමත් හිත තුළ දෝංකාර දේ. කුඩා දේව රූපය වටා සැදි රන් ආලේපිත සරළ වෘත්තය හරියට ම ඒ ඉදිරිපිට සිටගත් විට ඔබ සිත තුළ ඉපිළයන පහන් බවෙහි විශ්මය ම වැනිය. හතරැස් අල්තාරය ඉහළින් ඇති වීදුරු පියස්ස මතින් කඩා හැළෙන ආලෝක වර්ශාව ට තෙමෙන්න. දෙවියන් වෙත ළගා වීමට සංකීර්ණත්වය නමැති පාරෙහි වේගයෙන් දුවනවාට වඩා සරළ බව තුළ නතරවීමෙහි මාර්ගය ඉතා කෙටි බව එවිට ඔබට දැනේවි.

ආගම සහ ආගමික නායකයින් කළයුත්තේ ඉගැන්වීම හෝ පෙරළි කිරීම නොවෙයි ආදර්ශමත් වීම බව මෑතකදි කතා බහකදි කියවුණා. ආගමික ස්ථානයක ගොඩනැගිළි සහ අවකාශ වලිනුත් විය යුත්තේ එය ම බව මට මතක් වුණේ දැන්. දකින දකින හැම තැනම බුදු පිළිම බිහි වෙනවා, ටජ්මහළට වඩා අලංකාර කෑටයම් පිරුණු පන්සල් ඉදිවෙනවා. හැමදේකින්ම කරන්න හදන්නේ බල කිරීම් කරන්න. ආදර්ශදෙන්න (Inspire) කවුරුවත් නැහැ. ගමේ පන්සලේ වැළිමළුව අසළ බෝ පත් සෙවණ යට හිත වත් සන්සුණ් වෙන්න තිබුණා. ධර්ම ය දර්ශනයක් විදිහට තමන් අභිමුවට ගෙන එන පන්සලක ට මිස හිත සුණුවිසුණු කරන පෙරළිකාර ආගමික සාශ්තෘවරුන් අරක්ගත්ත මාළිගා ගැන දෙපාරක් හිතන්න වෙනවා.

මේ සිතුවිලි ඔස්සේ ටිකක් වැඩිපුර හිතන්න පෙළඹුවේ ඒ සරළ දෙව්මැදුර. එහිදී ලද අත්දැකීම මේ ජපන් හයිකුවට සමානයි වගේ දැනෙනවා.

//හන්දියේ ඇහුණා
බණ දෙශනාවක්.
තේරුණේ නෑ තමයි
ඒත් හිත සතුටුයි//

(බණ්ඩාරවෙළ නාසරත් දෙව් මැදුර නිර්මාණය වුණේ වාස්තු විද්‍යාඥ ජෙෆ්රි බාවා මහතා අතින්. වාස්තු විද්‍යාඥ උල්රික් ප්ලෙස්නර් මහතා ඒ සදහා විශාල නිර්මාණ දායකත්වයක් දැකවූ බවද කියවේ.)

සුමුදු අතුකෝරල
(2013 ඔක්තෝබරය)