Sunday, January 26, 2014

පරණ ගෙදරින් එළිය ට එන්න !

පරණ ගෙදරින් එළිය ට එන්න !

කෙනෙක් ගෙයක් හදන්නේ අවුරුදු කීයක් ජීවත් වෙන්නද? මුළු ජීවිත කාළෙම වුණත් අවුරුදු සීයක ට අඩුයි. ඉතින් අවුරුදු දෙසීයක් තුන්සීයක් පවතින්න ගෙයක් හැදී ම තුළ ලොකු ගැටළුවක් තියෙනවා.
පරම්පරාවෙන් පරම්පරාව ට ජීවන විලාසයන් වෙනස් වෙනවා. අපි ට කළින් පරම්පරාවෙ වුවමනා එපාකම් වලට, හැඩ වැඩ වලට අනුව නර්මාණය වුණා වගේ ගෙදරක් අපි දැන හදන්නේ නැහැ. එහෙම ගෙදරක් තියෙනවානම් බාධක ගොඩක් මැද්දේ ගෙදර පෙනු ම, ඇතුළත කොහොම හරි වෙනස් කර ගන්නවා. අපි ට පස්සෙ පරම්පරාවත් එෟක ම කරන බව අපි දන්නවා. ඒ හින්දා අවුරුදු පනහක ට එහා කාලයක් පවතින ගෙදරක් හැදී ම මුලාවක් වගේ දැනෙවා.


ගෙදර කියන සංකල්පය අපේ ඔළුව ට මුල් බැහැගෙන තියෙන්නෙ ම ඉතා ම ස්ථාවර, ශක්තිමත් බිත්ති, උළු වහලය, ලී දොර ජනෙල් වගේ දේවල් එක්ක. හැම දේක ම කල් පැවැත්මත්, ශක්තිමත් බවත් තමයි ඔළුවට දාගන්නේ. ඉතින් ගෙදරක් හදන්න යන වියදම, කරදර ගොඩ, කාලය, ශ්‍රමය ගව් ගානක් ඉහළ යනවා. 

ලෝකෙ බිහිවුණු හැම කලාවක් ම එක එක කාලවලදි පෙරළිකාර ලෙස වෙනස් වුණා. සාහිත්‍යය, චිත්‍රය, සංගීතය වගේ ම සිනමාව වුණත් එහෙමයි. පෙරළිකාරයන් විසින් කලාව වෙනස් ම පරාසයන් ඔස්සේ අරගෙන ගියා. ඒත් ගෘහ නිරමාණ ශිල්පය ආකල්පම ය වශයෙන් වෙනස් වෙන්නේ ඉතා ම සෙමෙන්. ලොකු වෙනසක් පේන්නෙ ම නැති තරම්.
අනිත් කලා මාධ්‍ය වගේ නෙමෙයි, වාස්තු විද්‍යා ව කියන්නේ ජීවිතයත් එක්ක මුහුණ ට මුහුණ මුණගැසෙන භාවිතාවක්. ඒ කලාව ඇතුළේ අපි ට ජීවත් වෙන්න සිද්ධ වෙනවා. එතකොට ඒක කලාව කියන සීමාවන් ඉක්මවලා පරිහරණය සහ ජීවත් වීම කියන පැත්ත ට බරවෙනවා. ඒත් ජීවත් වීම සදහා නිරමාණය කරනවා කියන්නේ කොන්ක්‍රීට්, ගඩොල් සහ සෟථාවරත්වය විතරක් ම නෙමෙයි. එතන හිර වුණොත් වාස්තු විද්‍යාව මේ තියන ආකල්ප වගුරෙන් ගොඩ ට ගන්න අමාරුයි.

ගෙදරක තිබිය යුතු මූලික ම දේවල් තමයි ඉඩ කඩ, ආරක්ෂාව, කාළගුණික තත්වයන් ට මුහුණ දීමේ හැකියාව, වාතාශ්‍රය, ආලොකය සහ සුව පහසුව. ඒ දේවල් වලට ගැළපෙන ලෙස ගෙදරක් නිර්මාණය කර ගැනීම ට සදාකාළික අමුද්‍රව්‍ය ම අවශ්‍ය නැහැ. නිර්මාණාත්මක සිතීම සහ කොටුකරගෙන ඉන්න ඉතිහාස බිත්තිවලින් එළිය ට ඒමයි කළයුත්තේ. කෙනෙක් ගෙදරක් නිර්මාණය කරගැනීම ට වාස්තුවිද්‍යාඥයෙක් හමුවෙන්න එන්නේ කොහොම ද අඩුවියදමෙන් ගෙයක් හදන්නේ සිතමින්. ඒත් බොහෝ වෙලාව ට එයාගෙ අවශ්‍යතාවයන් පොකුර “අඩුවියදම්“ කියන අදහස අමතක කරල හිතපු එකක්. ඇයි හැමතිස්සෙම චීස් වලින් කැපුව වගේ හැමදේ ම ඉතාම මෘදු, පියරු බබෙක් වගේ ගෙදරක් ගැන හිතන්නේ? අපේ ජීවිත, එදිනෙදා අත්දැකීම් ඒ තරම් ම සුන්දර ද? මෘදු ද? හැම ජීවිතේක ම කඩතොළු, පැල්ළම්, මළකඩ තියෙනවා. ඒවා හරිය ට කපරාරු නොකරපු ගඩොල් බිත්ති වගේ, රළු සිමෙන්ති පොළොව වගේ, සිල්පර කොට වගේ, ටකරං වහළ වගේ. රළු බවත් මෘදු බවත් අතර අපූරු හමුවීමක්.

පරණ කන්ටේනර් වලින් උනත් ගෙවල් හදන්න පුළුවන්. පරණ දැව සිල්පර කොට දැන් ගෙවල් වල ගෘහ භාණඩ, පොළොව සහ පඩිපෙල් වල පැළපදියම් වෙලා. නිර්මාණාත්මක විදිහ ට අමුද්‍රව්‍ය භාවිතා කිරී ම තමයි අභියෝගය. ටිකක් රාමුවෙන් එළිය ට ඇවිත් හිතන්න විතරයි තියෙන්නේ. හැමදා ම කරපු දේවල් නැවත නැවත කිරී ම ටිකක් අතෘප්තිකරයි නේද? පරම්පරා ගානක් තිස්සේ ඔළු වල තැන්පත් වෙච්ච සංකල්ප විසිකරල හිතන එක අමාරුයි තමයි. ගොඩක් අය එහෙම හිතන්න ඉඩ දෙන්නෙ නැහැ. කව්රු හරි හිතුවොත් ඒක ට පැනල “බැහ්“ කියනවා. හැබැයි කවුරුවත් කරළ බලලත් නැහැ. අනිත් දේ තමයි වෙළදපොළ සංස්කෘතිය තුළින් කෙරෙන බලකිරීම. හරිය ට ඒ ඒ අමු ද්‍රව්‍ය, වෙළද නාම සහිත දේවල් භාවිතා නොකළොත් ගෙවල් හදන්න බෑ වගේ.


විවිධ අමුද්‍රව්‍ය, ඉදිකිරීම් ක්‍රම වගේ දේවල් වල ට වාස්තු විද්‍යාව තුළ දොර විවර ව තිබිය යුතුයි. එතකොට සාම්ප්‍රදායිකත්වය ඉක්මවා ගිය නිර්මාණ බිහිකරන්න පුළුවන්. ගොඩක් වෙලාව ට නිර්මාණ ශිල්පියා එහෙම අභියොග වලට සූදානම් වුණත් ගෙදරක් නිර්මාණය කර ගැනීම ට පැමිණෙන අය ඒක ට සූදානම් නැහැ. ඇයි පරම්පරාවෙන් ආපු සිතුවිළි උරුමය හින්ද.
අනිත් දේ තමයි අවශ්‍යතාවයන් ගොමුව. නිදන කාමර හතරක්, කාර්යාල කාමරයක්, ආලින්දය, කෑම කාමරය, සුළු මුළුතැන් ගෙය, මුළුතැන්ගෙය, ගබඩා කාමර, රූපපෙට්ටි නරඹන කාමරය, අමුත්තන්ගේ කාමර ය මෙකී නොකී අවශ්‍යතාවයන් මහ ගොඩක්. නමුත් මොහොතක් නිදහසේ කල්පනා කළාම විසදගන්න පුළුවන් ඔය දේවල් වලින් කීයෙන් කීයද සාමාන්‍ය යෙකට අවශය කියලා. සාලය, කෑම කාමරය, රූපවාහිනිය නරඹන තැන් එක ස්ථානයක නිර්මාණය කරගන්න කාලය ඇවිත්. මුළුතැන් ගෙය ආලින්දයට සහ කෑම ගන්නා ස්ථානය ට විවෘත අවකාශයක් කරගන්න බැරි ඇයි? එහෙම වුණොත් මුළුතැන් ගෙය අපිරිසිදුවට තියාගන්න ම බැරිවෙනවා. ඒක ම කොච්චර දෙයක් ද? පවුළක ට ළමයි දෙන්නයි, කාමර හතරයි. ගණිතමය අවුළක් තියෙනවා නේද?

අවශ්‍යතාවය, දැරිය හැකි මුදල වගේ ම නිර්මාණාත්මක සහ වෘත්තීම ය දැනුම එකිනෙක මුණගස්වා සාම්ප්‍රදායික පරණ ගෙදරින් අලුත් සංකල්පමය ගෙදරකට ගෙවදෙන්න කාලය ඇවිත්.

සුමුදු අතුකෝරල 
[2014 ජනවාරිය]