Monday, May 30, 2016

ආදරය කරන්න දන්නෙ නැති අය යුද්දෙ කරනවා

"ආදරය කරන්න දන්නෙ නැති අය යුද්දෙ කරනවා"


මේ අදහස කියවුනේ ළඟදි නරඹපු  අතික් රහිමි (Atiq Rahimi) විසින් කරපු “Patience stone” චිත්රපටියේ ලස්සන ගොල්ශිෆෙ ෆර්හානි ගෙ දෙබසක

"ඇගේ ඇස අග" චිත්රපටිය නරඹලා ඇවිත් හිතට කරදර දීපු අදහස් එක්ක ඉද්දි තමයි “Patience stone”  චිත්රපටිය බලන්න ලැබුනෙත්. මේ සටහන ලියන්න හිතුනේ ඊට පස්සෙයි.

ආදරය හෝ ආශාව යන සංකල්ප මිනිස් ඉතිහාසයෙ ඉඳන් කවදාවත් වෙනස් නොවී පැවතගෙන ආපු මිනිස් හෝ සත්ව සංහතියෙම කොටසක්. මිනිස් සම්බන්ධතා විවිධාකාරී වෙන්න පුළුවන්. ඔයාගේ ආත්මයම සුණුවිසුණු කරන ආදරයේ හෝ ආශාවේ පරමාදර්ශය ඔබට දැනටමත් මුණගැහිලා ඇති නැත්නම් අනාගතයේදි මුණගැහෙන්නත් නොගැහෙන්නත් පුළුවන්. ඉතින් එහෙම තැනකදි ඔයාව සුළිසුළඟට අහුවෙන පුළුන් කැටියක් වගේ ගහගෙන ගිහින් ගිනිගන්න ඉඩ තියෙනවා. ඒ අකරතැබ්බය සාධාරණ හෝ අසාධාරණ ලෙස නම්කරන්න ඔබ කිසිම කෙනෙකුට සුදුසුකමක් නැහැ කියලයි මට හිතෙන්නේ. හරි හෝ වැරැද්ද තීරණය කරන්න පුළුවන් ඔබටම විතරයි. සමහර වෙලාවට ඔබට වුණත් බැරිවෙන්න පුළුවන්.

අපි සංස්කෘතියක් හෝ සදාචාරමත් පැවැත්මක් විදිහටම අගක් මුලක් හොයාගන්න බැරිව අතරමං වුණ රටක්. සදාචාරවත් සමාජයක් වශයෙන් ලොකු ලේබල් ගහගෙන අපි පරණ මඩගොහොරුවෙම එරෙනවා. ඉතින් අපි අර කව්දෝ කිව්ව වගේ අවුරුදු ශතවර්ශ ගානක ඉඳලම දියුණුවෙමින් පවතින රටක්. මම හඳගමගෙ සිනමාත්මක මැදිහත් වීමට කැමති එයා සිනමාකරුවෙක් විදිහට අපේ සමාජය තුවාලකරලා ඇතුළට එබිල බලන නිසයි. සියුම්ව සැතකින් කපා විවෘත නොකර හරියටම රෝගය අඳුරගන්න බැහැ. රෝගය අඳුර ගත්තත් නැතත් අඩුම ගානේ තුවාල කරපුවම රිදෙන එක වුණත් හොඳ දෙයක්. හැමදාම සිවිය අත ගගා ලස්සනයි හරි හොඳයි කිය කිය ඉඳලම දැන් ඇති නැද්ද?

චිත්‍රපටිය ඇතුළෙ හඳගම යෝජනා කරන්නේ යුද්ද නොකර ආදරය කරමු කියන අදහස කියලයි මට හිතෙනේ. ගහමරානොගෙන තවත් මිනිහෙක්ගෙ සිතුවිළි, සම්බන්ධතා, විවෘතව අවබෝධ කරගැනීමට හැමෝටම තමන්ගේ මමත්වය පැත්තකින් තියල ආදරණීය වෙන්න වෙයි. ගැහැණියෙක් මිනිහෙක් අතරෙ තියෙන ආදරයක් ගැන නෙමෙයි මම කියන්නේ, මනුස්සයෙක් තවත් මනුස්සයෙක් වෙත දක්වන ආදරය සහ මානුශික බව ගැන.

මේ අතරෙම මට හරි සතුටක් දැනුණා හඳගමගෙ සිනමා ප්‍රකාණ විදිය ගැන. නියොන් එළි, පාවෙලා යන කැමරා රූප, නවීන සමාජයේ අඩුම කුඩුම, අලුත් විදිහෙ (අපිට) සංගීත මුසුවත් එක්ක එයා චිත්‍රපටිය ඇතුළට ගේන නැවුම් අදහස් හඳගම සිනමාකරුවෙක් විදිහට අනාගතයට යන්න සැරසිලයි ඉන්නේ. රූප වලින් කියන්න බැරි දේවල් ටික චිත්‍රපටිය පුරාම අමුතු පැහැයක් විදිහට මුසු කරන සංගීතය ගැන චිත්‍රාල් ට සුබපතන්නම ඔනේ. චිත්‍රපටියෙ ලොකු චරිත එක්ක හැපෙමින් නොනවතින අරගලයක යෙදෙන සඳලිගෙ චරිතයෙ "ඇට්ටර" ගතියත්, රාදිකාගෙ චරිතය ඇතුළෙ හඳගම විසින් නිධන් කරන ලද හැමදෙයක්මත්  චිත්‍රපටිය තුළ ගලායාම ගැන ලොකු වගකීමක් දරන නේද කියල මට අවසානයෙදි හිතුනා. 

ඇගේ ඇස අග ලංකාවෙ, ලංකාව ගැන,  ලංකාවෙ මිනිස්සු ගැන කරපු චිත්‍රපටියක්. ඉතින් මට “Elegy” මෙතෙන්ට අදාළම නැහැ.


සුමුදු අතුකෝරල