Tuesday, July 26, 2016

Glitch

Glitch කියන වචනෙ තේරුම කුමක් හෝ යන්ත්රයක හෝ උපකරණයක හදිසියේ ඇතිවන තාවකාලික දෝෂයක් යන්නයි. මේ වචනය බොහෝ විට භාවිතා වෙන්නේ පරිගණකයක, රූපවාහිනී තිරයක හෝ ප්රක්ෂේපණ යන්ත්රයක තිරයක් හදිසියේ ඇණහිටිමින් ඇතිවන අපැහැදිළි ව්යාකූල අවස්ථාව හැඳින්වීමටයි. එවන් අවස්ථාවක ඔබට දකින්න ලැබෙන්නේ සැබෑ තත්වය හෝ රූපය කුඩා අංශු හෝ කොටු වශයෙන් කැඩී ගොස් අපිළිවෙල කොළාජ් චිත්රයක් ලෙසයි. ඇතැම් විට සැබෑ රූපයෙහි දළ සේයාවක් ඔබට ඔබගේ සිත තුළ මවාගත හැකි වුවත් එය සැබෑම තත්වයද?, කරදරකාරී මෙන්ම අපැහැදිළි තත්වය කොයි මොහොතේ අවසානවේද යන නොසන්සුන් හැඟීමෙන් ඔබව පෙළන අවස්ථා ඔබට මතක ඇති.

චන්ද්රගුප්ත තේණුවර මේ සංසිද්ධිය ගළපන්නේ ලංකාවෙ මේ අවස්ථාවෙ පවතින දේශපාලනික හෝ දේශපාලනික නොවනවායැයි ඔබ සිතන සියළුම කාරණා සමඟයි. එකඟනොවී සිටීමට බැරිතරමටම ඒක බරපතලයි. පවතින සහ පැවතුන සංස්කෘතික සහ දේශපාලනික රෝගී තත්වය මුලින්ම රිදවන්නේ කලාකරුවාවයි. එම රිදුම කලාකෘති තුළ සියුම්ව අතුරා පිට කරන තෙක් ගින්නක් මෙන් හිත තුළ දැවෙනවා විය යුතුයි. කලාකරුවකු සෘජු දේශපාලනික මැදිහත් වීමකට වඩා එහා ගොස් බුද්ධිමත් සංවාදයක් සඳහා කලාව භාවිතා කිරීම ඉතාම සිත්ගන්නාසුළු තත්වයක්. කලාකෘති හුදෙක් දේශපාලනික මැදිහත් වීමක් නොවී ඒවා කලාව ලෙස රසවිඳීමට ඇති දොරගුලු වසා නොදැමීම ඊටත් වඩා ලස්සන කාරණාවක්.

කලාකෘතියක දේශපාලනික මැදිහත්වීම කෙසේ වෙතත් චිත්රයක් චිත්රයක් ලෙසටත්, සංගීතය සංගීතය ලෙසටත්, සිනමාපටයක් සිනමාපටයක් ලෙසටත් කලාත්මක රසවින්දනයකට ඉඩ හසර තිබිය යුතුයි. තේණුවර විසින් Glitch ප්රදර්ශනය සඳහා නිර්මාණයකර ඇති සියළුම චිත් එහි දේශපාලනික අර්ථයෙන් මුදවා ගත්කල වුවත් හැඩතළ, වර්ණ ඇතිරුම අලංකාර ප්රස්තුතයක් ලෙස විඳගැනීමට ඔබට හැකිවනු ඇත. නමුත් චිත් පසුබිමෙහි ඇති භයංකාරත්වය, වේදනාවන් සහ ලේ වල මතකයන්ගෙන්  ඔබට වෙන්වීමක් නොලැබෙනු ඇත.
අප රටක් ලෙස දීර්ඝ කාලීනව අත්දකින මෙම Glitch තත්වය තවම අවසන් වී නැති බවක් හැඟෙන අතර මෙම Glitch මොහොත සදාකාලික නොවීමට නම් චැනල් මාරු කිරීම පසෙකලා උපකරණය අලුත්වැඩියා කරගත යුතුව ඇත.


පලි: කලාකරුවකු විසින් අවංකව නිර්මාණය කලායැයි අනුමාන කළ හැකි ප්රකාශණමය චිත් ඉහළ මිලකට අළෙවි වීම සුභවාදී යැයි හැඟෙන්නේ, එසේ වීමට එවැනි කලා නිර්මාණ සඳහා පිළිගැනීමක් ලැබී තිබෙන බවයි. කලාව අගයකරන, එවැනි වියදමක් කලාකෘති සඳහා දැරිය හැකි පිරිසක් කොහේ හෝ ජීවත්වනබවයි.

සුමුදු අතුකෝරල

කියරොස්ටාමි

කියරොස්ටාමි ලෝක සිනමාවෙ එක අපූරු පරිච්ඡෙදයක් අවසන් කරනවා. ඒත් හොඳම දේ වෙන්නේ ඒ පරිච්ඡේදය ඉවර වෙන්නේ, තව පරිච්ඡේද ගොඩකට පණපොවලා. ඒක ඉරානයට විතරක් සීමාවෙන්නෙ නැහැ. ලෝකෙ හැම තැනම අහුමුලු වලින් කියරොස්ටාමි ඉවර කරපු තැනට අලුත් ආරම්බයක් ලැබෙනවා. කොන්ටෙම්පරරි සිනමාව ඇතුලෙ එයාව අයින් කරල කතාකරන්න අමාරුයි. දූවිළි, කහට, වියළි සුළඟ අස්සෙ නළියන හුදකලා ගස් වල පත්‍ර සහ රස්නෙ ඉවසගෙන අඬන්න ගොඩක් හේතු තිබිලත් නොහඬා ඉන්න මිනිස්සු ළඟට එයා කැමරාව අරන් ගියා. කියරොස්ටාමි ගෙ සිනමාවෙ සුළඟ, කඳු, ඉවරයක් නැති පාරවල්, දූවිල්ල සහ රළු බව අස්සෙන් මතුවෙන්නේ මිනිස්කම, හුදකලාව, ජීවිතයේ මරණය.
කියරොස්ටාමි ගෙ මම කැමතිම පින්තූරෙ තමයි මේක. එයා මහා සිනමාකරුවෙක් වුණාට පස්සෙ මේ කුඩා කැම්කොඩර් එකෙන් Five, ABC Africa වගේ චිත්‍රපටි හැදුවා. මොටර් රථයක සවිකරපු කුඩා කැමරාවකින් Ten චිත්‍රපටිය හැදුවා. චිත්‍රපටි ඇතුළට ඇත්ත මිනිස්සු, ඇත්ත පරිසර අරන් එන්න එයා බය වුණේ නැහැ. හුදකලා පරිසර දර්ශන අතරෙ ඒකාකාරී බව ඉවරවෙන්නෙ අපැහැදිලි නමුත් දුකක සහ සතුටක පැහැයකින්.
කියරොස්ටාමි එක තැනකදි කියපු මේ අදහසට මම ගොඩක් කැමතියි.
"I can watch films and say how technically beautiful they are, but I'm not impressed by any technicality."
එයාට කුරසොවයි, රායිවයි, බර්ග්මාන්වයි, තර්කොව්ස්කිවයි එහෙදි හම්බවෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.

සුමුදු අතුකෝරල