Monday, March 27, 2017

"Dark in the white light" (සුදු එළිය තුල කළු අඳුර)

ඉතාම දැඩි සුදු එළියක් දෙස මඳ වේලාවක් බලාසිටින විට ඒ තුල අඳුරක් දැකිය හැකියි. සමහර විට  "Dark in the white light" (සුළඟ ගිනි අරන්) චිත්‍රපටය තුලත් මතුවන ආතතිය එම අඳුරම විය හැකියි. විමුක්ති මේ චිත්‍රපටිය ඇතුළෙ චිත්‍රපටියේ කතාව සරළව ඉදිරිපත් කිරීමට අවශ්‍ය සියල්ල පසෙකින් තබා, සාමාන්‍ය කතාවක් කීමට නම් අනවශ්‍ය යැයි බැහැර කරන සිදුවීම් කිහිපයකින් කතාවක් වෙනුවට යම්කිසි හැඟීම් සමුදායක් එක හුයකට අමුණනවා. ඒත් හිතාමතාම කථාන්තර ඇසීමේ හුදු මිනිස් ආශාව විමුක්ති ඉතා සියුම් විදිහට සන්සිඳුවනවා. බොහෝ විට ලංකාවෙ සහ අනිත් කළාපීය රටවල් වල සිනමාව තේරුම් ගන්නේ දෙබස් වලින්. රූපය තුලම අර්ථ සටහන් වුණත් ඒක අභිබවා දෙබස් වලින් හැමදේම ලේසි සහ අති සරල කරනවා. ඒත් සිනමාව කියන්නේ රූප සහ ශබ්ද අස්සේ හැඟීම් සඟවන සහ සොයාගන්නා කලාවක්. විමුක්ති සිනමාකරුවෙක් විදිහට මේ වැඩේට කවදත් දක්ෂයි. රූප අස්සෙම අභ්‍යාස කරල අර්ථ සොයාගැනීමට එයා චලනය වන හෝ නොවන චිත්‍ර විතරක් ඉදිරිපත් කරනවා. හොඳ සිනමා රසිකයෙකුට තමන්ගෙ සිනමා කෘතිය නීරස වෙන්න විමුක්ති ඉඩ දෙන්නෙ නැහැ. රූප අස්සෙ මතුකරන ඉතා ශුන්‍ය විස්තරයන් සහ එක් එක් රූප චලනය කෙරෙන හෝ ස්ථතිකව පවතින රිද්මය තුල නරඹන්නා තමන්ගේ සිනමා රසවින්දනය සොයාගත යුතුයි.


"Dark in the white light" පටන් ගන්නේ ගල්පර අස්සේ නිසලව සෑහෙන වෙලාවක් නතරවෙලා තිබෙන රූපයකින්. ඒ වුනත් ඒ ගල්පර වැළි කුඩා කුහර තුල පවතින හිස් බව දැන් දැන් යම්කිසි දෙයක් පිරෙනකන් බලන් ඉන්න බව ඉවසිලිවන්තයාට දැනෙනවා. සුදු මුහුදු වතුරෙන් ඒ කුහර පිරෙනකන් අධ්‍යක්ෂකවරයා එයාගෙ අත්දැකීමට අපිවත් එකතු කරගන්නවා. ස්වභාවික පරිසරයේ තියෙන මේ වගේ සාමාන්‍ය තත්වයන් සිනමාව ඇතුළෙ පුදුමයන් බවට පත්වෙන්නේ ඒවා නිර්මාණාත්මකව සහ යම්කිසි හැඟීමක් බිහි කිරීම උදෙසා සියුම්ව භාවිතා කිරීම නිසයි. (කඳු අතරේ කුඩා පාරක පොඩි හාමුදුරුවෝ ඇවිදයන දර්ශනයේ අහසෙ පාවෙන වලාකුළේ හෙවණැල්ල මුළු දර්ශනයම අත් පත් කරගන්නකන් පැය කීයක් ඒ දර්ශනය රූගත නොකර බලන්හිටියද කියල විමුක්ති හම්බවුනහම අහන්න ඔනේ.)

බැලූ බැල්මට මේ චිත්‍රපටිය අස්සේ ඔහේ අමුණපු දර්ශන තිබුන වගේ චිත්‍රපටිය බලන වෙලාවෙ හිතුනත්. ඒ හැම දර්ශනයක්ම චිත්‍රපටියෙ සාමූහික හැඟීම් වියමන පුරවන්න ඉතා සූක්ෂමව යොදාගන්න ඇති කියල මට හිතුනේ දවස් දෙක තුනකට පස්සෙයි. උදාහරණයක් විදිහට පොඩි හාමුදුරු නම කැළයක් අස්සෙන් ඇවිදගෙන ලොකු දුරක් යන දර්ශනය අවසන් වෙන්නේ මහමුහුද ළඟින්. ඒක හරිම සන්සුන් නිවුණු පැහැදුණු ගමනක්. ඒ ගමන අවසානයේ හාමුදුරුවන්ට මුහුද හම්බවෙන බවක් ඒ හැඟීම් අස්සේ තිබුණා. හැබැයි ලස්සනම දේ හාමුදුරුවන්ට මුහුද හම්බවෙන්න එයා ඇවිදින්නේ අපිට පිටුපාලා, අපි හාමුදුරුවො පස්සෙන් යනවා. ඒ වගේම ජයවර්ධනපුර රෝහලේ පාළු කොරිඩෝවෙ අපිදිහාට ඇවිදන් එන දොස්තර ගොඩක් දුර ඔහේ අපි දිහාටම එනවා. අපි පස්සෙන් පස්සට යනවා. අඳුරුයි, මොකක් හරි විනාසයක් වෙන්න යනව වගේ. මේ දර්ශන දෙක එකිනෙකට විරුද්ධව ගමන් කරමින් ආධ්‍යාත්මය සහ ආසාව අතරෙ සීමාව වෙන්කරනවා.

දොස්තරගේ චරිතය නිර්මාණය කිරීම තුළ විමුක්ති සමහර දේවල් මග ඇරගෙන තියෙනව වගෙ දැනුනා. හරිම විනාසකාරී දොස්තරගෙ චරිතය ගොඩනැගෙන්නේ අදහගන්න බැරි තරමේ නරක ගතිත් එක්ක. ඒ පීඩාකාරී හිංසනමය ක්‍රියාවලිය ඇහැට පෙනෙන නොපෙනෙන කුඩාදේවල් වළින් හෙව්වනම් දොස්තර මීට වඩා තාත්වික වෙන්න තිබුණාවගේ හිතෙනවා. ඔව්! හැම දෙයක්ම තාත්වික වෙන්න ඕනෙත් නැහැ.

හැබැයි මේ හැමදෙයක්ම අස්සේ, ඉතාම අඩුවෙන් කතා කරන හෝ කතාකරන්නෙම නැති චරිත කිහිපය තමයි චිත්‍රපටිය තව සීමාවකට ගෙනියන්නේ. පොඩිහාමුදුරුවන්ගෙ ඔළුව උඩ නටන තණකොළපෙත්තා සහ පිළිස්සුණ දොස්තරගෙ අවතාරමය රූපයට කුතුහලයෙන් බුරන සහ විටෙක නැට්ට වනන බල්ලත් ඒ ගොඩට අයත්.

"හැම චිත්‍රපටියකටම මුලක් මැදක් අගක් තිබිය යුතුයි, හැබැයි ඒ පිළිවෙලටම තිබිය යුතු නැහැ." මට මතක විදිහට මෙහෙම කිව්වෙ ගොඩාඩ්. අන්න ඒ වගේ අග මුල මැද මාරුකරමින් චිත්‍රපටිය ඉදිරියට අරගෙන එන විමුක්ති තමන්ට සුපුරුදු විදිහටම කතාව ඉවරකරන්නේ අපේ හිතේ තිබුණ මේ ඔක්කොම අමුණගන්නේ කොහොමද කියන ප්‍රශ්නෙට හරිම සරළ උත්තරේකුත් එක්ක. ඒක අර ලස්සන රූපරාමුවක ඉඳගෙන කාඩ් සෙල්ලම් කරන තරුණයන් කිහිප දෙනාට ඇහුම්කන් දුන්නොත් තේරෙයි.

සුමුදු අතුකෝරල