Wednesday, August 16, 2017

සුජිත්! ජීවිතය දැන් කොහොමත් පහසු නෑ

අඳුර තුළ ගමන් කරන්නෝ තමන් අඳුර තුළ ගමන් කරන බව දැනගන්නා තෙක් ආලෝකය නොසොයනු ඇත- බෘස් ලී

 මට මුල ඉඳන්ම එයාව දැක්කම මතක් වෙන්නෙම බෘස් ලී ව. පින්සලක වගේ කොන්ඩෙ ඉස්සරහදාගෙන, ඉතාම කෙට්ටුවට, තියුණු මුහුණක් සහ හරිම අහිංසක හිනාවක් එක්ක ඉන්න සුජිත් ව දකින එකම ඉතාම සතුටු හිතෙන කාරණාවක්. ඔය හේතුව හින්ද තමයි ඔය උඩින් තියෙන කියමන මගෙ ඔළුවට ආවේ. මට හිතෙනවා බාහිර පෙනුම වගේ ම ඇතුළතිනුත් සුජිත් බෘස් ලී එක්ක එතනදි හම්බ වෙනව කියල.


එඩ්වර්ඩ් මුන්ච් ගෙ "විලාපය" කියන චිත්‍රය ගැන අහල දැකල තිබුණත් ඒක එහි මුල් අර්ථයෙන් ම අත්විඳින්න මට පුළුවන් වෙලා තිබ්බෙ නෑ. සුජිත් ගෙ "මනෝභ්‍රාති" ප්‍රදර්ශණය බැලුවම මට එඩ්වර්ඩ් මුන්ච් ගෙ චිත්‍රයෙ මුල් අර්ථයට සමීප වෙන්න පුළුවන් වුණා. එහෙම වුණේ සුජිත් දේශීය පසුබිමක් තුළ මුන්ච් ගෙ "විලාපය" ප්‍රතිනිර්මාණය කරල තියෙන හින්ද කියලයි මට හිතෙන්නේ. එහෙම කිව්වට මුන්ච් සහ සුජිත් ඉන්නෙ තැන් දෙකක. සංකල්පීමය වශයෙන් සහ ප්‍රකාශනමය පසුබිම මත දෙදෙනාම එක තැනකදි හමු වුනාට මට සුජිත් ගෙ චිත්‍ර දැනෙන ගතිය වැඩියි. සුජිත් ගෙ චිත්‍ර විලාසයත් ගැඹුරු අත්දැකීමට එක්කගෙන යනවා. ඒකට හේතුව මේ දේශපාලනික, සමාජ සංස්කෘතික මඩ ගොහොරුව මටත් සුජිත් ටත් අපි හැමෝටමත් එක විදිහට දැනෙන නිසා වෙන්න ඇති.

ප්‍රදර්ශනය ආරම්බයෙන් පස්සෙ පොඩ්ඩක් සුජිත් එක්ක කතා කරන්න ලැබුණා. ඇත්තටම සුජිත්ම ඇවිත් කතා කලා. එයා ඒ වගේ නිහතමානී කෙනෙක්. "බය කියන්නෙ හරි පුදුම දෙයක්. චූ යනව වගේ දෙයක් නේ. ඉතින් මේ චිත්‍රත් ඒ වගේ තමයි. බය ඇතුළෙ ම ටික කාලයක් ඉන්නකොට චිත්‍ර විදිහට ඒවා එළියට එනවා. ඒත් දිගටම ඒ බය අස්සෙ ඉන්න බැහැ. එපා වෙනවා. ඊට පස්සෙ අත ඇරල දානවා." සුජිත් කිව්වෙ ඔන්න ඔය වගේ අදහසක්. ඔය කතාව ඇහුවට පස්සේ මගෙ හිතට මහ බර ගතියක් දැනෙන්න ගත්තා. ඒක නිකන් කඳුළු එන්නෙ නැතිව අඬනව වගේ හැඟීමක්. දැන් ඉතින් ඒ හැඟීම සුජිත් ටවත් මගෙ හිතෙන් අයින් කරන්න බැරි වෙයි. හිතේ පටලයක් බැඳිලා වගේ. එදිනෙදා ජීවිතය, සතුට, බලාපොරොත්තු, ආර්ථිකය, සංස්කෘතිය, දේශපාලනික වටපිටාව, මේ හැමදෙයක්ම විහිළුවක් වගේ ගොඩක් වෙලාවට. ඒත් ඒ විහිළු ගතිය අස්සෙ කොච්චරනම් භ්‍රාන්තියක් සැඟවිලා තියෙනවද? හැමෝම මේ මනෝභ්‍රාන්තිය එක්ක හිරවෙලා නෙමෙයිද ඉන්නේ?

සුජිත් ගෙ චිත්‍ර අතරින් ලොකු ඇස්දෙකක් විවර වෙලා, ඒ ඇස් වලින් දකින දෙවල් නිසා කඳුළු ගඟක් ගලන චිත්‍රෙ මගෙ දිහා ගොඩක් වෙලා බලාගෙන හිටියා. එක එක දුරවල් වලින්. වෙලාවකට ළඟින්, තව වෙලාවක ඈතින්. මට ඒ චිත්‍ර ය සහ සුජිත්ගෙ මුහුණ වෙන්කර ගන්න සෑහෙන අමාරුයි. ඊට පස්සෙ ඒ චිත්‍රය තුළ මාවම පේන්න ගත්තා. මහා ලොකු දර්ශනයකට වඩා ඉතාම සරල මානුශීය තැනකදි තමයි මට ඒ චිත්‍රය කතාකරන්න ගත්තේ. හැබැයි ඒ කතාව, කියාගන්න බැරි බරපතල තැනකට මාව අරගෙන යනවා.


බොහෝ වෙලාවට කලාව විසින් කරන්නේ පවතින සම්මතයන්ට එරෙහිව නැගීසිටීම. විප්ලවය තුළින් සටන්කිරීම. ඒත් මනොභ්‍රාන්ති මේ මඩගොහොරුව තුළ යළි මල් මෙන් පිබිදීමට පවා ඇති නොහැකියාව බාරගන්නවා. සුජිත් චාකෝල් වලින් ඇඳල තියෙන එක තේමාවක අවස්ථා කිහිපයක් ලෙස පෙනුණු කළු සුදු චිත්‍ර ත්‍රිත්වය සුජිත්ගෙ තාත්වික චිත්‍ර දක්ෂතාවය ගැන ප්‍රභල සාක්ෂියක් වුණත් ඒ චිත්‍ර කිහිපය තුළ සැඟවී තිබෙන කම්පනය, සංවේදනය, දුක සහ බියට ඔබවත් මුසපත් කරන්න ඉඩ දෙන්න.

බලාපොරොත්තු, සිහින එක්ක නැගිටිමු කියනවා වෙනුවට කුණාටුව තුළ සුණුවිසුණු වීම ඇර වෙන කළයුත්තක් නැති බවක් නැහැ. එහෙම හිතනකොටම මනෝභ්‍රාන්තිය දෙගුණ තෙගුණවෙලා දැනෙනවා. ඒත් ගලායාම සමඟ මුසුවීම ට එහි කිසිම බාධාවක් නැහැ. අනවශ්‍ය දෙවල් ගැන නොසිතා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නවනම් කිසිදේකට බයවෙන්න දෙයක් නැහැ. සමහර අයට එහෙම පුළුවන්. ඒත් ගලායාම සමඟ එකඟ විය නොහැකිනම් කුමක් කලයුතුද? මම හිතන්නේ සුජිත් ඒ කලහැකිදේ කරනවා. තමන්ගෙ ප්‍රදර්ශණය බුර්ෂුවා ගැලරියක් වෙනුවට සුජිත් යන්තම් හෝ එදිනෙදා ජනතාවට පය තැබිය හැකි ලයනල් වෙන්ඩ්ට් එකට අරන් ඇවිත් තියෙන්නෙ ඒ හින්ද වෙන්න ඕනේ.
තමන්ගෙ ප්‍රකාශනයත් එක්ක සිහිනයක අතරමං වෙනවට වඩා සුජිත් තවමත් එය ජනතාව අතරට ගෙනගිය යුතුයි කියන මතයේ සිටීම ගැන මට ඇතිවුණේ ගෞරවයක්. ඒත් මේ නිර්මාණ කොහෙ හරි ලොකු කලාගාරයක හෝ පුද්ගලික එකතුවක් තුළ ඉතිහාසයට එකතුවෙන එක ගැන මම විරුද්ධ නැහැ. ඉතිහාසය තුළ ලෝකය වෙනස් විය යුතුයැයි විශ්වාස කළ කුඩා මිනිසුන්ගේ දර්ශනය කොහේ හෝ ඉතුරුවේවි.
සුජිත්! ජීවිතය දැන් කොහොමත් පහසු නෑ. තමන්ගෙ ජීවිතය චිත්‍ර අස්සෙ හොයාගෙන යන එක දිගටම කරන්න. ඔයා මෙහෙ ඇවිල්ල ඉන්නෙ එකට.
සුමුදු අතුකෝරල

Tuesday, August 8, 2017

කඩා වැටෙන දේවල් (Things fall apart)


මාස කීපයකට කළින් කල්පිටියට ආසන්න මදුරන්කුළිය පැත්තේ මගේ මිතුරෙකුගේ වෙරළ කුටියක අපි සති අන්තයක් ගත කරමිනුයි හිටියේ. රොෂාන්, මැකෙන්සි, කේට් සහ මම. හවස්වරුවේ කට්ටියම ගිහින් මුහුදට පැන්නා. මුහුද ටිකක් රළු වුණත් ඈතට නොගිහින් මුහුදු වෙරළත් එක්ක ඔට්ටු වෙන එක හරිම ලස්සන දෙයක්. ටික වෙලාවකින් මැකෙන්සි කෑගහන්න ගත්තා, “Maggots at the beach!!!”

ඒක එතරම් ප්‍රියජනක දර්ශනයක් නෙමෙයි. කුඩා ප්‍රමාණයේ පණුවන් මිලියනයක් විතර වෙරළේ එක තැනකින් උඩට මතුවෙනවා. ඒ වගේ සමහර දේවල් වලට කිසිම තේරුමක් නැහැ. විශ්වය හරිම අමුතු තැනක්. විශ්වය ඇතුළේ තව විශ්වයන් ගොඩක්. විද්‍යාවෙන් හෝ දර්ෂනයෙන් තේරුම් ගත නොහැකි දේවල් තේරුම් ගන්න තියෙන එකම විදිහ තමන් තුළට ම කිමිදිලා ඒ තේරුම් හොයාගන්න එකයි. නැත්නම් හැම නොතේරෙන දෙයක් ම තේරුම්ගත නොහැකි දේවල් විදිහට තේරුම් ගැනීමයි.

මැකෙන්සි කියන්නේ අපූරු ඕස්ට්‍රේලියානු කොළුගැටයෙක්, සිඩ්නි නුවර ආකිටෙක්චර් ඉගෙන ගන්න අතරේ දැන් අවුරුද්දක් තිස්සේ ලංකාවේ පුහුණු කාලයක් ගත කරනවා. ප්‍රමාණයෙන් ලොකු ලිනන් කමිස සහ කලිසම් ඇඳගෙන සරල සෙරෙප්පු දෙකක් දාගෙන ඔහේ පාවෙනවා. එක දවසක ගාල්ලේ, අනිත් දවසෙ නුවර, ඊළඟට සිරීපාදේ, නැත්නම් හවස කොටුවේ බාර් එකක ලොක් වෙච්ච වැසිකිළියක ජනේලෙන් එළියට පනින්න හදනවා. බිව්වොත් පිස්සු. ළඟින් හිටියොත් අපිටත් පිස්සු.

මිනිහ චිත්‍ර අඳින බව දැන ගත්ත දවසෙ මම පුදුම වුණා.

"මොනවද උඹ අඳින චිත්‍ර?" මම ඇහුවා.

"මට කියන්න තේරෙන්නෙ නෑ. මම පෙන්නන්නම්" ඔන්න මැකෙන්සි ගෙ උත්තරේ.

උදේ පාන්දර මැකෙන්සි ගෙ කාමරෙන් "ටොක්" "ටොක්" සද්ද ඇහෙන බව මට ඔය අතරෙ ආරන්චි වුණා. වෙන මොනවත් නෙමෙයි ඒ එයා එයාගෙ චිත්‍ර වල තීන්ත පෑනකින් තිත් තියන සද්දේ. මාස ගනන්, සති ගනන් ඉතාම සංයමයෙන් තිත් තියමින්, ඉරි කෑළි අඳිමින් එයා එයාගෙ මනස්ගාත ඔක්කොම හරිම අලංකාර විදිහට සුදු කොළ උඩ අතුරනවා. මම එහෙම චිත්‍ර ක්‍රමයක් කවදාවත් දැකල තිබ්බෙ නැහැ. තිත් කෙළකෝටියක් විතර, එකම මෝස්තරය එකම විදිහට නැවත නැවත චිත්‍රය පිරෙන්නම අඳිනවා. එහෙව් ඉවසීමක්, එහෙව් පරිශ්‍රමයක් මේ කෙට්ටු හාදයට කොහෙන් උරුම උනාද? චිත්‍ර අඳිනවා කියල ඔහොමත් අඳිනවද?


Things fall apart,  "කඩා වැටෙන දේවල්" වගේ අදහසක් ලස්සනට ගැළපුණත් ඒකෙ තේරුම "සියළු සංස්කාරයෝ නැසෙන සුළුය" කියන එක තමයි. ඒක තමයි මැකෙන්සි ගේ චිත්‍ර ප්‍රදර්ශණයේ තේමාව. ඔන්න මම දැන් ආයෙ මුල සහ අග ගලපන්නයි යන්නේ. ප්‍රදර්ශණය බලද්දි තමයි මම "වෙරළේ පණුවෝ" චිත්‍රය දැක්කේ. මේක මහ පුදුම දෙයක්. එයාගෙ එක චිත්‍රයකට අදහස ඇවිත් තියෙන්නේ එදා අපි වෙරළේ දැකපු පණු විශ්වය. මම ඒ චිත්‍රය ඉස්සරහ හිටගෙන පැය කාලක් විතර චිත්‍රය අස්සෙ ඇවිද්දා. "සියළු සංස්කාරයෝ නැසෙන සුළුය"-"වෙරළේ පණුවෝ" මාව එකතැන භ්‍රමනය වෙන්න ගත්තා. එහෙම භ්‍රමනය වෙලා මාව නතරවුනේ හරිම ලස්සන, සතුට උපදවන, සරල තැනක. හරියට මම හොය හොය හිටපු මොකක්දෝ අපැහැදිළි දෙයක් එකපාරටම හම්බ වුනා වගේ හැඟීමක්. කවුරු හරි මගෙන් අහුවොත් මොකක්ද ඉතින් ඔය හැඟීම කියලා මට කියන්න තියෙන්නෙ " මට කියන්න තේරෙන්නෙ නෑ, පෙන්නන්න පුළුවන්" වගේ උත්තරයක්.

තව එක චිත්‍රයක නම "ගෝනුස්සා". මහ රෑ තමන්ගේ නාන කාමරයට ආපු ගෝනුස්සෙක් එක්ක මැකෙන්සි ඔට්ටු වෙච්ච විදිහ මට කේට් කියල තිබුණා. කලාව ආභාශය ලබන්නේ මහා දාර්ශනික මතවාද වළින් ද? නැත්නම් ඉතාම සරල යැයි අප විසිකර දමන මතකයන් තුළින් අභාශය ලබා කෙරෙන නිර්මාණවල මහා දර්ශනයක් කියවෙනවද? අන්න ඒ වගේ ලස්සන ප්‍රශ්ණයක් එක්ක මම දැන් දැහැන් ගත වෙලයි ඉන්නේ. මැකෙන්සි " හලෝ ඩාර්ලින්" කියල නම් කරල තියෙන චිත්‍ර ආභාශය ලබල තියෙන්නේ "ටුක් ටුක්" වල තියෙන සුදු යකඩ මෝස්තර වලින්. හැබැයි ඒව අස්සෙ මැකෙන්සි එයාගෙ පුද්ගලික ජීවිතය, අත්දැකීම් සහ වීරක්‍රියා සඟවලා ඇති. ඒ චිත්‍ර මේ ලෝක යථාර්තය මත තබා තේරුම් ගැනීම එතරම් සුදුසු දෙයක් නෙමෙයි කියලයි මට හිතෙන්නේ. හැම නොතේරෙන දෙයක්ම තේරුම් ගත නොහැකි දේවල් ලෙස පිළිගෙන ඒවා තමන් තුළට කිඳා බැස දැනෙන්න හැරීම මිස වෙන කළ හැකි දෙයක් තිබේද? විවච්චේදනය තුළ කොටස් විදිහට හමුවන දේවල් තිබුණත් සමස්ථය තේරුම්ගැනීම තමයි අභියෝගය.


සුමුදු අතුකෝරල

Things fall apart/ Mackenzi Nix/ Till 3rd September at Bare Foot Gallery