Friday, September 15, 2017

ගුරු පඬුරු

කේට් සහ මැකෙන්සි කියන්නෙ තමන්ගෙ මූලික වාස්තු විද්‍යා අධ්‍යාපනයෙන් පස්සෙ ලංකාවෙ වසරක පුහුණු කාලයක් සඳහා පැමිණි ඕස්ට්‍රේලියානු තරුණ සිසුන් දෙදෙනෙක්. ලෝක දේශපාලන ඉතිහාසය, කලාව, දර්ශනය වගේ හැම දෙයක් ගැනම ඔවුන් තුළ තිබුණු දනුම සහ අවබෝධය මාව පුදුමයට පවා පත් කළා. මම හිතන්නේ නැහැ ලංකාවෙ බහුතරයක් වාස්තු විද්‍යාව ඉගෙන ගන්න හෝ උගන්නන අය පවා, ප්‍රංශ සිනමා නව රැල්ල, ඉතාලියානු යථාර්තවාදය, වගේ දේවල් ගැන ලොකු අවබෝධයක් ඇති කියල.කලාව සම්බන්ධයෙන්, නූතන වාදය, පශ්චාත් නූතන වාදය වගේ සංකල්ප ගැන වුණත් එච්චර උනන්දුවක් මෙහෙ අයට නෑ. සුලභව කියවෙන මාක්ස් වාදය, සමාජවාදය වගේ දේශපාලනික අදහස් පිළිබඳව උනත් කතා කෙරෙන්නේ ඉතාම අඩුවෙන්. සිනමාව ගැන තියෙන උනන්දුව හින්ද මම නිතරම මේ ඕස්ට්‍රේලියානුවො දෙන්න එක්ක විවිධ දේවල් කතා කරන්න කැමතියි. බර්ග්මාන්, තර්කොව්ස්කි ඉඳන් කියරොට්සාමි හරහා ගැස්පර් නො ඒ හෝ ඩැරන් ඇරනොෆ්ස්කි දක්වාම එයාල සිනමාව ගැන දැනගෙන සිටීම මාව පුදුම කළා. සමහරවෙලාවට කේට් කියුබාවෙ ඉගෙනගෙන ආපු සුමේධ එක්ක කතාකරන දේශ්පාලනික අදහස් අස්සෙ මම අතරමං වෙලා මොකද වෙන්නේ කියලවත් හිතා ගන්න බැරි තත්වයකට පත්වෙනවා. මට වෙලාවකට හිතෙනවා ඔවුන්ට වාස්තු විද්‍යාව අරෙන්න අනිත් හම දෙයක්ම ඉගෙනගන්න පෙළඹීමක් තියෙන බවක්. එයාල කියන්නේ එයාලට ගොඩනැඟිල්ලක් හදන විදිහට වඩා ගොඩනැඟිල්ලක් හිතන විදිහ එහෙදි උගන්නවා කියලයි.
ලංකාවෙ බොහෝ වෙලාවට කෙරෙන්නේ ගොඩනැඟිල්ලක් හදන විදිහ උගන්නන එකයි.

මේ අදහස් හදිස්සියෙම ලියන්න හිතුවෙ ඒ කිසිම දෙයක් ගැන කියන්න නෙමෙයි. මොරටුව විශ්ව විද්‍යාලයේ මා ඇතුළු තවත් බහුතරයක් වාස්තු විද්‍යා වාස්තු විද්‍යාව ඉගෙන ගන්න කාලයේ වාස්තු විද්‍යාව ගැන අපි දැනගෙන හිටපු සියල්ලක්ම වෙනස් විදිහකින් නැවත අත්දකින්න පොළඹවපු විදුර ශ්‍රී නම්මුනි ගුරුතුමා ගැන පොඩි හරි සටහනක් ලියන්න ඕනෙ කියල හිතපු නිසයි. නම්මුනි සර් ජීවතුන් අතර ඉද්දි මේක ලිව්වනම් හොඳයි කියල ගොඩක් අය කියයි. ඒත් සර් ට සර් ගැන කියල දෙන්න තරම් කෙනෙක්ද මම?

වාස්තු විද්‍යාව උගන්නන පන්තියකට මහගම සේකරගෙ කවි පොත් අරන් ආපු වෙන ගුරුතුමෙක් ගැන මම නම් අහල නෑ. පැවරුමකට ලකුණු දීමේදී එක්කො 100% නැත්නම් බිංදුවටත් වඩා අඩුවෙන් ලකුණුදීපු ගුරුවරයෙක්වද මට කිසිදිනක මුණගැසී නැත. එකම ඉරක්වත් බෝඩ් එකේ අඳින්නෙ නැතුව සංවාදය තුළින්ම දේවල් අවබොධකිරීමට ඔඋට තිබුණේ පුදුම හැකියාවක්. වාස්තු විද්‍යාව හෝ අනෙක් ඔනෑම කලාවක් මිනිසා ආනන්දයට පත්කර එතනින් ප්‍රඥාව කරා ගෙනයා යුතු බව ඔහුගේ ජීවන කියමනයි. ගොඩනැඟිල්ලක් තුළ ආත්මයක් හෝ ජීවයක් නිර්මාණය කිරීම ගැන ඔහු දැඩිව විශ්වාස කළ කෙනෙක්. ගොඩනැඟිල්ලක්  සැළසුම් කිරීම හෝ නිර්මාණය කිරීම හුදෙක් එම ගොඩනැඟිල්ල හදන ආකාරය නොව එම නිර්මාණ ක්‍රමවේදය සහ ගොඩනැඟිල්ල ඇතුළත අත්දැකීම වචනයෙන් හෝ රූපයෙන් විස්තර කරන්නේ කෙසේද යන්න තමයි ඔහුගේ ඉගැන්වීම. ඇබ්ස්ට්‍රැක්ට් රූපයක් හෝ සිතෙහි යම්කිසි නිර්මාණයක් සඳහා මවෙන නිමිත්තක සිට එය ගොඩනැඟිල්ලක් බවට පත්වීම දක්වා කෙරෙන නිර්මාණ ක්‍රමවේදය ගැන ඔහු කියාදුන් එදා විකාර මෙන් දනුණු දර්ශනය එදා ට වඩා  අද අවබෝධ වීම පුදුම සහගත දෙයක්.

ගොඩනැඟිල්ලක් පිටතින් නොව පළමුව ඇතුළතින් නිර්මාණය විය යුතු බවට ඔහු කළ ඉගැන්වීම වර්ථමානයේ ඉදිවෙන ජැන්ඩියට ඇඳ පැළඳ ගත්තත් ඇතුළතින් ආතමයක් සොයා ගැනීමට අපහසු ගොඩනැඟිළි මහතුන්ට හොඳ පාඩමකි.  වාස්තුවිද්‍යාව තුළ දාර්ශනික පසුබිම වෙනුවෙන් ඔහු තරම් සටන් කළ වෙනත් ගුරුවරයෙකු මාහට තවමනම් හමුවී නැත.

ඔහු විශ්වාස කළ දර්ශනය සහ අනෙකුත් දැනුම ඔහු කොහේ හෝ ලියා ඇතිදැයි නොදනිමි. එසේ තිබේ නම් ඒවා වහා පිටතට ගෙන සියළු වාස්තුවිද්‍යාඥයන් අතුළු හුදී ජනයා වෙත පොදු වස්තුවක් ලෙස දායාද කල යුතුය. එසේ නොමැති නම් ඔහුගේ හොඳම ගෝලයකු විසින් ඒවා ඔහුට උපහාරයක් ලෙස ග්‍රන්ථාරූඩ කල යුතුය.

මෑතකදී මගේ හොඳ යහළුවෙක් තමන්ට මේ ජීවිත්යේදි හමුවුණු ගුරුවරුන් හතරදෙනෙක් ගැන මට කිව්වා. එක්කෙනෙක් ආධ්‍යාත්මික මඟ පෙන්වන්නෙක්, අනිත් කෙනා යෝගා ගුරුවරයෙක්, අනිත් එක්කෙනා ගැන එයා මට කිව්වෙ නෑ. එයාගෙ ගුරුවරයන්ගෙ ලයිස්තුවේ මුලින්ම හිටියේ නම්මුනි සර්. එයාගෙ හේතු පාඨය මේකයි.

"නම්මුනි සර් තමයි මට හිතන්න ඉගැන්නුවේ"

මම හිතන්නෙ නැහැ අපි නම්මුනි සර් ට සුබ ගමන් කියලා කිව යුතුයි කියලා. එයාගෙ ගමන ගැන එයා දන්නවා. එයා යන තැනත් එයා දන්නවා.


කොහොමත් විදුර ශ්‍රී නම්මුනි ගුරුවරයාවත්, ඔහු විසින් ඉගැන්වූ දහමත් මයිකල් ජැක්සන් ගේ "උහ්ක්!" එක මෙන් අපි හැමෝවම, හැමදාමත් හිතන්නට පොළඹවනු ඇත.

-සුමුදු අතුකෝරල