Sunday, September 15, 2019

"එකෝමත් එක කාලෙක ටැරැන්ටිනෝ"


 "අපිට මරන්න ඉගැන්නුවේ ඔය චිත්‍රපටි කාරයෝම තමයි. අපි දැන් ගිහින් උංවම මරමු"
මේ ටැරැන්ටිනෝ ගෙ අලුත්ම චිත්‍රපටිය, Once upon a time in Hollywood එකේ එන එක දෙබසක දළ අදහසක්. ඩි කැප්රියෝ, බ්‍රැඩ් පිට් සහ ලස්සන මාර්ගොට් රොබී වගේ අයත් දාගෙන කරන මේ චිත්‍රපටය ටැරැන්ටිනෝගෙ Pulp Fiction වලට පස්සේ මම කැමතිම චිත්‍රපටය. Pulp Fiction සහ Once upon a time in Hollywood අතර අවුරුදු 25 ක් වගේ කාලයක් තිස්සේ ටැරැන්ටිනෝ චිත්‍රපටි හතක් විතර හදනවා. ඒත් ඒ එකකවත් නැති අමුතු සමානකම් ටිකක් Pulp Fiction සහ Once Upon a Time, අතරේ තියෙනවා. හරියට එයා Pulp Fiction වලින් පස්සෙ කෙලින්ම Once upon a time in Hollywood හැදුවා වගේ. 
Pulp Fiction කවදාවත් බලල එපාවෙන්නේ නැති චිත්‍රපටියක්. කාලෙන් කාලෙට මම ඒක ආයෙ ආයෙ බලන්න කැමතියි. චිත්‍රපටියක තියෙන්න ඕනේ විලාසිතාව, පිළිවෙල, පිරිසිදුකම, තරුණකම, කතාවක් කීමෙදි තියෙන ආතතිය සහ කුතුහලය මේ හැම දෙයකින්ම Pulp Fiction සමන්විතයි. 
Once upon a time in Hollywood එකත් එක්ක ටැරැන්ටිනෝ, ඒ කාරණා ආයෙමත් අරන් එනවා. තරුණ ජවයක් තියෙන මුහුකුරා ගිය සිනමාකරුවෙක් වගේ එයා මේ වැඩේ ලස්සනට කරලා. කැමරාව ස්ථානගත කරන හැම තැනකටම හේතුවක් තියෙනවා කියල හිතෙන තරමට හරිම සූක්ෂමයි. ඒ පරිපූර්ණ පිළිවෙළ සහ සිනමාත්මක පිරිසිදුකම හරිම සිත්ගන්නා සුළුයි. 
දෙබස් සහ කුඩා විස්තර මගින් චරිත ගොඩනංවන ටැරැන්ටිනෝ, අන්තිමට ඒ ඒ චරිත ඒ විදිහට ගොඩනැගුනේ ඇයි කියන එක තිතටම සාධාරණීකරණය කරනවා. සිනමා තරුවක් විදිහට රඟපාන ඩි කැප්රියෝ ට වඩා එයාගෙ සටන් ජවනිකා වල පෙනී සිටින (Stunt double) බ්‍රැඩ් පිට් ගෙ චරිතය (Cliff) හරිම පුරුෂ විදිහට නිරූපණය වෙනවා. කමිසෙ ගලවලදාල, අඬු මිටි සහ බියර් කෑන් එකකුත් අරන් ඇන්ටෙනාව හදන්න වහලෙට නගින Cliff ගෙ දර්ශනය හරිම පුරුෂනීයයි. එයා කාර් එක එළවන විදිහ, කිසිදෙයක් පස්සෙ ඔනෙවට වඩා පන්නනෙ නැතිතිකම (අඩුම ගානෙ කෙල්ලෙක් පස්සෙවත්), එයාගෙ බල්ලත් එක්ක තියෙන යාළුකම වගේ දේවල් නියමයි. 
ඒ වගේම තමයි, කිසිම නිරුවත් දර්ශනයක් නැතුව ටැරැන්ටිනෝ ශෘංගාරාත්මක දේවල් පෙන්වන විදිහ. ගැහැණිය සමග බැඳුනු සුන්දරත්වය කතාවෙන්, ඇවිදීමෙන්, හිනාවෙන් මතුකරන විදිහ ඉතාම කලාත්මකයි. ටැරැන්ටිනෝ එයාගෙ අනිත් හැම චිත්‍රපටියකම වගේ ගැහැණු යටිපතුල්වල ට නියම තැන මේ චිත්‍රපටියෙත් වෙන්කරනවා. හරිම සියුම් විදිහට දඩබ්බර ශෘංගාරයක් මතකරනවා. හුළඟ, කාර්වල යනකොට වීදුරු ඇරලා හුළඟට අපිව ගහගෙන යන්න ඉඩදීම, නිදහස, කාර් එකට එබෙන හිපි කෙල්ලගෙ කතාව; හිනාව; බය නැතිකම, කාර් එකට නැගලා එයා කකුල් ඩෑෂ් බෝඩ් එක උඩ තියන විදිහ, එහෙම තියාගෙන එයා කියන දේවල්!
සංගීතය සමග රෑප මුසු කිරීම! ඒ රෑප හරහා වෙන කිසිවකට නොකළහැකි ආකාරයේ හැඟීම් උද්දීපනය! ටැරැන්ටිනෝට වඩා ඒකට වෙන දක්ෂයෙක් නෑ. එයා දර්ශනයක් ලියන්න කලින් ඒ දර්ශනයට අදාල සංගීතය මුලින් හොයාගන්නවා කියන එක ඇත්ත. ඒක ඉතාම උසස් ප්‍රතිඵල ගේනවා කියන එක ඊටත් වඩා ඇත්ත. ඒ අව් අස්සේ මෙන්න, Chunking Express එකට වොං කරවැයි පාවිච්චි කරපු මගෙ ආසම සිංදුවක් වෙන California Dreaming එකේ වෙනස් ගැයුමක් (ඔරිජිනල් එක වෙන්න ඇති) ටැරැන්ටිනෝ මේකට පාවිච්චි කරලා. "මම බලන හැම චිත්‍රපටියකින්ම මම හොරකම් කරනවා" ටැරැන්ටිනෝ මේ කියන එක ඇත්ත. 
ඔය අතරේ, ටැරැන්ටිනෝ Once upon a time in Hollywood ඇතුලෙ, පොලන්ස්කි, බෘෘස් ලී වගේ දැවැන්ත චරිත ස්ථානගත කරන විදිහත් මරු.
"චිත්‍රපටියක් හදන්න ඔයාට ඕනෙ කෙල්ලෙකුයි, තුවක්කුවකුයි විතරයි" මේක කිව්වෙ ලෝකෙ ඉහළින්ම ඇගයීමට ලක්වුනු ප්‍රංස සිනමාකරුවා, ගොඩාඩ්. මම හිතන්නෙ ඒ කියල තියෙන්නෙ ශෘංගාරාය සහ ප්‍රචණ්ඩත්වය ගැන. ටැරැන්ටිනෝ තමන්ගේ හැම කෘතියකින් ම ඒක ආයෙ ආයෙ ඔප්පු කරනවා.
අපිට චිත්‍රපටි හදන්න පොළඹවනවා!
මේක මග නොඇර නැරඹිය යුතු චිත්‍රපටියක්. මම එහෙම කියන්නේ කලාතුරකින්. 
- සුමුදු අතුකෝරල

Saturday, November 10, 2018

"Rustic" හෙවත් "රස ටික"

"Rustic" හෙවත් "රස ටික"
ගෙදරක් ගොඩනැඟිල්ලක් කියපු සැනින් කාගෙත් හිත්වල මැවෙනව ඇත්තේ හරිම පිළිවෙලට චීස් වළින් කැපුව වගේ තියෙන වස්තුවක්. නූතන වාස්ථුවිද්‍යා මිනුම් දඬුවලින් බහුල ලෙස අර්ථගැන්විලා තියෙන්නෙ එහෙම අදහසක්. සමාජ තත්වය ප්‍රකාශකිරීම, ආරක්ෂාව, අධික ලෙස මුදල් යටකිරීමේ හැකියාව හෝ තමන්ගේ පුද්ගලික මතිමතාන්තර විතරක් නෙමෙයි එකිනෙකා අතර තියෙන නොනවතින තරඟය වුණත් මේකට බලපානවා. 
ඒත් හැම අතින්ම සර්ව සම්පූර්ණ ජීවිත අපි කාටවත් නැහැ. කඩතොළු, කැළැල්, තිත්ත වගේම හරිම රසවත්, ලස්සන, සෞම්‍ය අවස්ථා වළින් අපේ ජීවිත පිරෙනවා නැත්නම් පිපිරෙනවා. ඉතින් ඒ ජීවිත ස්ථාන ගතවෙන පසුබිමේ ප්‍රධාන කොටසක් වෙන ගොඩනැඟිළි හෝ නිවසක් ඒ වගේම වෙන එක තාමයි වඩාත් හොඳ. කොහොමත් ඇත්ත ජීවිතේදි සැබෑ නොවෙන පරමාදර්ශී සීමාවන් වාස්ථුවිද්‍යාව තුළින් ළඟා කරගෙන දිළිසෙන මාබල්, රන් රිදී හැඩ වැඩ, ග්‍රීක හෝ ඉතාලි මැදුරු හරිම හුදකලා සහ අලස බවින් යුතුයි කියන එකයි මගේ අදහස. 
ඒ ගැන අපි හැමෝම සෑහෙන්න කතාකරල තියෙන නිසා අමුතුවෙන් තේරුම් ගන්න දෙයක් නැහැ. මම මේ තව අඩියක් එහාට යන්නයි හදන්නේ. විශේෂයෙන් ගෙදරකට, ඒ කියන්නේ පුදගලික පරිහරණය සඳහා නිර්මාණයවෙන ගොඩනැඟිල්ලකට පූර්ව මතිමතාන්තර අදාළ නොවිය යුතුයි. අදාළ වියයුත්තේ, දේශගුණය, නිවැරදි වාතාශ්‍රය, හිරු එළිය, ආරක්ශිත බව, සුවපහසුව, ගොඩනැඟිල්ල ඉදිවන ප්‍රදේශය සහ ගොඩනැඟිල්ල තුල පැවතිය යුතු ගතිසොබාව වගේ අත්‍යාවශ්‍ය කරුණු විතරයි. ඒ ඇරෙන්න ඇනිට සියලුම දේවල් වෙනස ආකාරයේ පෙළඹවීම වියහැකියි. මම මෙතනදි වියදම ගැන සඳහන් නොකලේ වියදමෙහි අඩු වැඩි බව ගොඩනැඟිල්ලක මූල්‍යමය වටිනාකම වැඩිකිරීමට වඩා එහි ගතිසොබාව නැත්නම් මූඩ් එක තහවුරු කිරීම සඳහා බාවිතා කළයුතුයි කියන අදහසකින්.කොහොමත් අතේ තියෙන මුදල සීමිතනම් "ගෙයක්" කියන අදහස සම්පූර්ණයෙන්ම ඔළුවෙන් ඉවත්කරගෙන ඉතාම කුඩා ප්‍රමාණයේ වෙනස්ම වෙනස් අපූර්ව "ගෙයක්" නොවන දෙයක් නිර්මාණය කිරීම තමයි කළයුතු හොඳම දේ.
"තුට්ටු දෙකට ගන්නත් ඕනෙ, අස්සයා ඉස්තාලෙට උඩින් පන්නනත් ඕනෙ" වගේ එකක්නම් හරියන්නෙම නෑ. (මේක අපි වැඩකරන ඉන්ජිනේරුවෙක් නිතරම මතක් කරන කතාවක්). අස්සයෙක් ඉස්තාලෙට උඩින් පන්නන්න ඕනෙ නෑ, හොඳ වේගෙකින් දුවල කරල හිටියහම ඇති. ගොඩනඟිල්ලකටත් එහෙම තමයි. 
අමුතු විදිහේ අපූර්ව එහෙමත් නැත්නම් පිස්සුම පිස්සු ගොඩනැඟිල්ලක් නිර්මාණය කිරීමට මුල්වෙන්නේ ආකිටෙක්ට් කෙනෙක් නෙමෙයි, එම ගොඩනැඟිල්ලේ හිමිකරුයි. බොහෝවෙලාවට වෙන්නේ, ගොඩනැඟිල්ලක් හදන්න එන කෙනා සමාජය විසින් ආකෘතිගත කරන ලද අදහසක් හෝ අදහස් සමුදායක් සමග ආකිටෙක්ට් ළඟට යන එකයි. ඉතින් නිර්මාණකරුවා පැන්සල අතටගන්නෙම පිස්සුවක් කරන්න නෙමෙයි. තවත් සාමාන්‍ය නිවසක් සැළසුම් කරන්න. සාමාන්‍ය තැනකින් පටන් අරන් අතිසාමාන්‍ය නිර්මාණයක් කරනවට වඩා, පිස්සුම පිස්සු තැනකින් පටන් අරන් ටිකක් සාමාන්‍ය පැත්තට බරවෙන එක කොච්චරනම් හොඳයිද? 
මෙතනදි නිවසක හෝ ගොඩනැඟිල්ලක ආකෘතිය, අභ්‍යන්තර අවකාෂ වල පිහිටුවීම, ප්‍රමාණය, වර්ණ, හැඩතළ, නිවසෙහි භාවිතය ගැන පවා වෙනස් කෝණයකින් බැලීම ඉතාම වැදගත්. විශේෂයෙන් ගොඩනැඟිල්ල ඉදිකරන්න වෙන්නේ අවම මුදලකින් නම් ඉහත කරුණු ගැන වඩ වඩාත් සැළකිළිමත් වීමට වෙනවා. සෑම පිළිගත් ක්‍රමයකට හෝ මතයකට වඩා වෙනස් ක්‍රම සහ මත ඕනෑම දේකට තියෙන්න පුලුවන්. ඒ වෙනස හොයාගෙන නිවැරදිව භාවිතා කිරීම තමයි වැදගත්. 


මෙහිදී ඉතාම ආශ්වාදජනක සහ නිර්මාණාත්මකම කොටස තියෙන්නේ අමුද්‍රව්‍ය භාවිතය තුළ. කපරාරු කර පිළිවෙල කරන ලද බිත්ති වෙනුවට, මැටි ගඩොල් පෙනුම, දළඹ මදින ලද ස්ලැබ් මතුපිට වෙනුවට රළු කොන්ක්‍රීට් පෙනුම, ජනෙල් වෙනුවට යකඩ ග්‍රිල්, ටයිල් වෙනුවට සාමාන්‍ය සිමෙන්ති, වීදුරු වෙනුවට ලී පටි ලැටිස් වගේම, බිත්ති වෙනුවට බිත්ති නැති බව, ජනෙල් දොරවල් වෙනුවට ජනෙල් දොරවල් නැති බව, පාට වර්ණක වෙනුවට ඒ ඒ අමුද්‍රව්‍ය වල ස්වභාවික පෙනුම ඉතුරුකිරීම වගේ විවිධ අත් හදා බැලීම් කල හැකියි. සරලව කිව්වොත් තමන්ට නොමිලයේ හෝ ඉතා අඩු මුදළට සපයා ගත හැකි කන්ටේනර්, ලෑලි පෙට්ටි, තහඩු, සිල්පර කොට, විදුලි රැහැන් කණු, කළු ගල්, වැනි මෙකී නොකී ඕනෑම අමුද්‍රව්‍යයක් භාවිතා කර ගොඩනැගිල්ලක්, නිවසක් ඉදිකළ හැකියි. අවශ්‍ය එxඅම් දෙය, සම්මතය අභිබවා සිතීම, නිර්මානශීලී බව සහ නිර්භීත බවයි. 
මේ කරුණු ඔක්කොම එකතු වුණාම ඒක එක වචනෙකට ගත්තොත් එන්නේ "Rustic" වගේ අදහසක්. ඒක තමයි වාස්තුවිද්‍යා වචන ගොනුවෙන් හොයාගන්න පුලුවන් වචනය. නිකමට "Rustic" වචනයේ තේරුම ගූගල් ට්‍රාන්ස්ලේට් එකෙන් අහල බැලුවොත් ඒකට එන සුන්දර සිංහල වචනය ඔබටත් හොයාගන්න පුලුවන්.
සුමුදු අතුකෝරල/ ඔක්තොබර් 7/ අනිද්දා
(Photographs-Pinterest)

"නොගිය මගකින් ආපසු එනවිට මෙන්න බොලේ චෙරි මල්"

"නොගිය මගකින්
ආපසු එනවිට
මෙන්න බොලේ
චෙරි මල්" 
-බකුසුයි/ මිණි පැමිණි-(පරිවර්තනය-ආරියවංශ රණවීර)
මේ හයිකු කවිය කවදාවත් අමතක නොවෙන විදිහට හිතේ පැලපදියම් වුණු එකක්. ඒ වගේම මුළින් “ටොම් වේට්ස්” විසින් ගායනා කර පසුකාලීනව “නොරා ජෝන්ස්” විසින් අමන්දානන්දයට පත්කළ "Long way home" ගීතය දුරබැහැර පිටිසර ආදරණීය ගමන් බිමන් වලටම වෙන්
වුන ගීතයක් වගේම කොච්චර ඇහුවත් එපා නොවන විදිහේ ගීතයක්. 
මෙහෙම සටහනක් ලියන්න අදහසක් පහලවුණේ ඊයෙ යාපනේ ඉඳන් මන්නාරම හරහා, තන්තිරිමලේ පැත්තෙන් මහ වනාන්තර, පිටිසර ගම් බිම්, සරළ මිනිස්සු, කුඹුරු යායවල්, පුදුම හිතෙන අහස් පහුකරගෙන ලස්සනම ලස්සන හවස්වරුවක් හරහා නොච්චියාගම පැත්තට එන අතරෙයි. සාමාන්‍ය පාර වෙනුවට ටිකක් දුර වැඩි වාහන නැත්තටම නැති තරම්, හවස් වරුවක නොයා යුතුයැයි එකපාරටම හිතෙන පාරකින් ආපහු එන එක ටිකක් හිත කීරි ගස්සන කුතුහලය පිරුණු වැඩක්. අවදානම වැඩියි, පොඩි බයකුත් නැතුව නෙමෙයි. ඒත් හැමදාම අමතක නොවෙන පුදුම ලස්සන දේවල්, මොහොතවල්, සිදුවීම් වෙන්නෙ ඒ අවදානමත් කුතුහලයත් එක්කම තමයි. 
ඒ අත්දැකීම වචනයෙන් වත් ඉතාම දුර්වල පින්තූර වලින්වත් විස්තර කරන්න හදන එකම තේරුමක් නැති දෙයක්. ගමන ලස්සන වෙන්න පටන් ගත්තෙ පුනරීන් පාලම පහුවෙනකොටම අපිට දෙමළ කතාකරන්න බැරුවත්, ඒ පොඩි කොල්ලට සිංහල කතාකරන්න බැරුවත් තියෙද්දි මිළදී ගත්ත ‘මා දං” වලින් කට ම දම් පාට වෙලා, කදිම කහට ගතියකින් උගුර හිර වෙද්දිමයි. 


එතන ඉඳන් නමක් ගමක්, අගක් මුලක් නැති කුඹුරු, ගම් දනව්, තැනිතලා, වනාන්තර පහුකරගෙන හුදකලා මහපාරෙ පරණ සිංදු අහගෙන වාහනේ එලවන එක අපූරු අත්දැකීමක්. කාත්කවුරුවත් නැති පාලු තැනිතලාවක තනි කණුවක අඩමානෙට රඳවපු කුඩා දේව ප්‍රතිමාව, කෙලවරක් නැතිව ආපහු ගෙවල්වලට යන ගව රංචු, අවරට යන ඉර ලස්සනට පාට කරපු බටහිර අහස, කිසිම හැලහොල්මනක් නැති පාලු තැනිතලා ඔස්සේ ගලාගෙන යන කුඩා ඇළපාරවල් උඩින් වැටුණ නිශ්ශබ්ද පාලම්, පළඟැටි හඬ ගමන ගොඩක් පරක්කු කරන දෙවල්. ඒ වගේම ඒවම තමයි ඒ ගමන ලස්සන කරන්නෙ. මේ වගෙ තැනක වාහනේ ඇණහිටලා දවස් කීපෙකට ආපහු එන්න බැරි වුණොත් ඒකත් මරු කියල හිතෙන තරම් ඒ දේවල් පුදුමාකාරයි. ඒ වගේ ගමන් වලදි, පාලු තැනක පාර අයිනේ තියෙන පොඩි පොල් අතු කඩේක ආච්චි කෙනෙක් අතින් හැදෙන ප්ලේන් ටී එකක රසයටත් වැඩිය රසවත් දේවල් එයාලත් එක්ක පොඩ්ඩක් හිතවත් වෙලා කතා කළොත් දැනගන්න පුලුවන් වෙයි. 
ඔව්! ඕනෙවට වඩා ටිකක් රොමාන්තික බවක් මේ වචන අස්සෙ තියෙන්න පුලුවන් ඒත් ඒ බොරු අතිෂොක්ති නෙමෙයි. ඇත්තටම සිදුවෙන දේවල්. 

 මේ අත්දැකීම් ඔස්සේ ජීවිතේ ආපස්සට හැරිල බැලුවොත් ඇත්තටම ලස්සනම සහ පුදුමාකාරම දෙවල් වෙලා තියෙන්නෙ, ඔය වගේ වැරදි පාරවල් වලින් යද්දියි, හරිම වෙලාවෙ වැරදි තැන් වල ඉද්දියි, කවදාවත් ළං වෙයි කියල නොහිතන අය ළං වෙද්දියි තමයි.
කොහොමත් කිසිම දෙයක් ගැන ඕනෙවට වඩා හිතන්න හොඳ නැහැ. නිවැරදි ලේසි පාර වෙනුවට, ටිකක් අමාරු දුර පාර හොඳ වෙන්න පුලුවන්, කොහොමත් චෙරි මල් හම්බවෙනවා. සමහර වෙලාවට සිදුවෙන්න හොඳටම නියමිත දෙවල් සිදු නොවීම අරුම පුදුම වාසනාවක් වෙන්න පුලුවන්. 
සාද්ගුරු එක තැනකදි මෙහෙම කියනවා, 
" ඔයාගෙ ජීවිතේ ගොඩාක් වැදගත් කියල හිතන්න එපා, ඔයා මේ මහා විශ්වයේ කුඩා අංශු මාත්‍රයක් විතරයි. විශ්වය "වූහ්" කියල පිම්බොත් එතනින් පස්සෙ ඔයා කියල කෙනෙක් නැහැ. ඒත් අනිත් හැමදේම සුපුරුදු විදිහට සිද්දවෙයි. ඒ නිසා ජීවිතේ ගොඩක් සීරියස් විදිහට ගන්න එපා".
ඒ නිසා වැඩිය හිතන්නෙ නැතුව වැරදි, දුර පාර ගන්න.
-සුමුදු අතුකෝරල

Friday, September 15, 2017

ගුරු පඬුරු

කේට් සහ මැකෙන්සි කියන්නෙ තමන්ගෙ මූලික වාස්තු විද්‍යා අධ්‍යාපනයෙන් පස්සෙ ලංකාවෙ වසරක පුහුණු කාලයක් සඳහා පැමිණි ඕස්ට්‍රේලියානු තරුණ සිසුන් දෙදෙනෙක්. ලෝක දේශපාලන ඉතිහාසය, කලාව, දර්ශනය වගේ හැම දෙයක් ගැනම ඔවුන් තුළ තිබුණු දනුම සහ අවබෝධය මාව පුදුමයට පවා පත් කළා. මම හිතන්නේ නැහැ ලංකාවෙ බහුතරයක් වාස්තු විද්‍යාව ඉගෙන ගන්න හෝ උගන්නන අය පවා, ප්‍රංශ සිනමා නව රැල්ල, ඉතාලියානු යථාර්තවාදය, වගේ දේවල් ගැන ලොකු අවබෝධයක් ඇති කියල.කලාව සම්බන්ධයෙන්, නූතන වාදය, පශ්චාත් නූතන වාදය වගේ සංකල්ප ගැන වුණත් එච්චර උනන්දුවක් මෙහෙ අයට නෑ. සුලභව කියවෙන මාක්ස් වාදය, සමාජවාදය වගේ දේශපාලනික අදහස් පිළිබඳව උනත් කතා කෙරෙන්නේ ඉතාම අඩුවෙන්. සිනමාව ගැන තියෙන උනන්දුව හින්ද මම නිතරම මේ ඕස්ට්‍රේලියානුවො දෙන්න එක්ක විවිධ දේවල් කතා කරන්න කැමතියි. බර්ග්මාන්, තර්කොව්ස්කි ඉඳන් කියරොට්සාමි හරහා ගැස්පර් නො ඒ හෝ ඩැරන් ඇරනොෆ්ස්කි දක්වාම එයාල සිනමාව ගැන දැනගෙන සිටීම මාව පුදුම කළා. සමහරවෙලාවට කේට් කියුබාවෙ ඉගෙනගෙන ආපු සුමේධ එක්ක කතාකරන දේශ්පාලනික අදහස් අස්සෙ මම අතරමං වෙලා මොකද වෙන්නේ කියලවත් හිතා ගන්න බැරි තත්වයකට පත්වෙනවා. මට වෙලාවකට හිතෙනවා ඔවුන්ට වාස්තු විද්‍යාව අරෙන්න අනිත් හම දෙයක්ම ඉගෙනගන්න පෙළඹීමක් තියෙන බවක්. එයාල කියන්නේ එයාලට ගොඩනැඟිල්ලක් හදන විදිහට වඩා ගොඩනැඟිල්ලක් හිතන විදිහ එහෙදි උගන්නවා කියලයි.
ලංකාවෙ බොහෝ වෙලාවට කෙරෙන්නේ ගොඩනැඟිල්ලක් හදන විදිහ උගන්නන එකයි.

මේ අදහස් හදිස්සියෙම ලියන්න හිතුවෙ ඒ කිසිම දෙයක් ගැන කියන්න නෙමෙයි. මොරටුව විශ්ව විද්‍යාලයේ මා ඇතුළු තවත් බහුතරයක් වාස්තු විද්‍යා වාස්තු විද්‍යාව ඉගෙන ගන්න කාලයේ වාස්තු විද්‍යාව ගැන අපි දැනගෙන හිටපු සියල්ලක්ම වෙනස් විදිහකින් නැවත අත්දකින්න පොළඹවපු විදුර ශ්‍රී නම්මුනි ගුරුතුමා ගැන පොඩි හරි සටහනක් ලියන්න ඕනෙ කියල හිතපු නිසයි. නම්මුනි සර් ජීවතුන් අතර ඉද්දි මේක ලිව්වනම් හොඳයි කියල ගොඩක් අය කියයි. ඒත් සර් ට සර් ගැන කියල දෙන්න තරම් කෙනෙක්ද මම?

වාස්තු විද්‍යාව උගන්නන පන්තියකට මහගම සේකරගෙ කවි පොත් අරන් ආපු වෙන ගුරුතුමෙක් ගැන මම නම් අහල නෑ. පැවරුමකට ලකුණු දීමේදී එක්කො 100% නැත්නම් බිංදුවටත් වඩා අඩුවෙන් ලකුණුදීපු ගුරුවරයෙක්වද මට කිසිදිනක මුණගැසී නැත. එකම ඉරක්වත් බෝඩ් එකේ අඳින්නෙ නැතුව සංවාදය තුළින්ම දේවල් අවබොධකිරීමට ඔඋට තිබුණේ පුදුම හැකියාවක්. වාස්තු විද්‍යාව හෝ අනෙක් ඔනෑම කලාවක් මිනිසා ආනන්දයට පත්කර එතනින් ප්‍රඥාව කරා ගෙනයා යුතු බව ඔහුගේ ජීවන කියමනයි. ගොඩනැඟිල්ලක් තුළ ආත්මයක් හෝ ජීවයක් නිර්මාණය කිරීම ගැන ඔහු දැඩිව විශ්වාස කළ කෙනෙක්. ගොඩනැඟිල්ලක්  සැළසුම් කිරීම හෝ නිර්මාණය කිරීම හුදෙක් එම ගොඩනැඟිල්ල හදන ආකාරය නොව එම නිර්මාණ ක්‍රමවේදය සහ ගොඩනැඟිල්ල ඇතුළත අත්දැකීම වචනයෙන් හෝ රූපයෙන් විස්තර කරන්නේ කෙසේද යන්න තමයි ඔහුගේ ඉගැන්වීම. ඇබ්ස්ට්‍රැක්ට් රූපයක් හෝ සිතෙහි යම්කිසි නිර්මාණයක් සඳහා මවෙන නිමිත්තක සිට එය ගොඩනැඟිල්ලක් බවට පත්වීම දක්වා කෙරෙන නිර්මාණ ක්‍රමවේදය ගැන ඔහු කියාදුන් එදා විකාර මෙන් දනුණු දර්ශනය එදා ට වඩා  අද අවබෝධ වීම පුදුම සහගත දෙයක්.

ගොඩනැඟිල්ලක් පිටතින් නොව පළමුව ඇතුළතින් නිර්මාණය විය යුතු බවට ඔහු කළ ඉගැන්වීම වර්ථමානයේ ඉදිවෙන ජැන්ඩියට ඇඳ පැළඳ ගත්තත් ඇතුළතින් ආතමයක් සොයා ගැනීමට අපහසු ගොඩනැඟිළි මහතුන්ට හොඳ පාඩමකි.  වාස්තුවිද්‍යාව තුළ දාර්ශනික පසුබිම වෙනුවෙන් ඔහු තරම් සටන් කළ වෙනත් ගුරුවරයෙකු මාහට තවමනම් හමුවී නැත.

ඔහු විශ්වාස කළ දර්ශනය සහ අනෙකුත් දැනුම ඔහු කොහේ හෝ ලියා ඇතිදැයි නොදනිමි. එසේ තිබේ නම් ඒවා වහා පිටතට ගෙන සියළු වාස්තුවිද්‍යාඥයන් අතුළු හුදී ජනයා වෙත පොදු වස්තුවක් ලෙස දායාද කල යුතුය. එසේ නොමැති නම් ඔහුගේ හොඳම ගෝලයකු විසින් ඒවා ඔහුට උපහාරයක් ලෙස ග්‍රන්ථාරූඩ කල යුතුය.

මෑතකදී මගේ හොඳ යහළුවෙක් තමන්ට මේ ජීවිත්යේදි හමුවුණු ගුරුවරුන් හතරදෙනෙක් ගැන මට කිව්වා. එක්කෙනෙක් ආධ්‍යාත්මික මඟ පෙන්වන්නෙක්, අනිත් කෙනා යෝගා ගුරුවරයෙක්, අනිත් එක්කෙනා ගැන එයා මට කිව්වෙ නෑ. එයාගෙ ගුරුවරයන්ගෙ ලයිස්තුවේ මුලින්ම හිටියේ නම්මුනි සර්. එයාගෙ හේතු පාඨය මේකයි.

"නම්මුනි සර් තමයි මට හිතන්න ඉගැන්නුවේ"

මම හිතන්නෙ නැහැ අපි නම්මුනි සර් ට සුබ ගමන් කියලා කිව යුතුයි කියලා. එයාගෙ ගමන ගැන එයා දන්නවා. එයා යන තැනත් එයා දන්නවා.


කොහොමත් විදුර ශ්‍රී නම්මුනි ගුරුවරයාවත්, ඔහු විසින් ඉගැන්වූ දහමත් මයිකල් ජැක්සන් ගේ "උහ්ක්!" එක මෙන් අපි හැමෝවම, හැමදාමත් හිතන්නට පොළඹවනු ඇත.

-සුමුදු අතුකෝරල

Wednesday, August 16, 2017

සුජිත්! ජීවිතය දැන් කොහොමත් පහසු නෑ

අඳුර තුළ ගමන් කරන්නෝ තමන් අඳුර තුළ ගමන් කරන බව දැනගන්නා තෙක් ආලෝකය නොසොයනු ඇත- බෘස් ලී

 මට මුල ඉඳන්ම එයාව දැක්කම මතක් වෙන්නෙම බෘස් ලී ව. පින්සලක වගේ කොන්ඩෙ ඉස්සරහදාගෙන, ඉතාම කෙට්ටුවට, තියුණු මුහුණක් සහ හරිම අහිංසක හිනාවක් එක්ක ඉන්න සුජිත් ව දකින එකම ඉතාම සතුටු හිතෙන කාරණාවක්. ඔය හේතුව හින්ද තමයි ඔය උඩින් තියෙන කියමන මගෙ ඔළුවට ආවේ. මට හිතෙනවා බාහිර පෙනුම වගේ ම ඇතුළතිනුත් සුජිත් බෘස් ලී එක්ක එතනදි හම්බ වෙනව කියල.


එඩ්වර්ඩ් මුන්ච් ගෙ "විලාපය" කියන චිත්‍රය ගැන අහල දැකල තිබුණත් ඒක එහි මුල් අර්ථයෙන් ම අත්විඳින්න මට පුළුවන් වෙලා තිබ්බෙ නෑ. සුජිත් ගෙ "මනෝභ්‍රාති" ප්‍රදර්ශණය බැලුවම මට එඩ්වර්ඩ් මුන්ච් ගෙ චිත්‍රයෙ මුල් අර්ථයට සමීප වෙන්න පුළුවන් වුණා. එහෙම වුණේ සුජිත් දේශීය පසුබිමක් තුළ මුන්ච් ගෙ "විලාපය" ප්‍රතිනිර්මාණය කරල තියෙන හින්ද කියලයි මට හිතෙන්නේ. එහෙම කිව්වට මුන්ච් සහ සුජිත් ඉන්නෙ තැන් දෙකක. සංකල්පීමය වශයෙන් සහ ප්‍රකාශනමය පසුබිම මත දෙදෙනාම එක තැනකදි හමු වුනාට මට සුජිත් ගෙ චිත්‍ර දැනෙන ගතිය වැඩියි. සුජිත් ගෙ චිත්‍ර විලාසයත් ගැඹුරු අත්දැකීමට එක්කගෙන යනවා. ඒකට හේතුව මේ දේශපාලනික, සමාජ සංස්කෘතික මඩ ගොහොරුව මටත් සුජිත් ටත් අපි හැමෝටමත් එක විදිහට දැනෙන නිසා වෙන්න ඇති.

ප්‍රදර්ශනය ආරම්බයෙන් පස්සෙ පොඩ්ඩක් සුජිත් එක්ක කතා කරන්න ලැබුණා. ඇත්තටම සුජිත්ම ඇවිත් කතා කලා. එයා ඒ වගේ නිහතමානී කෙනෙක්. "බය කියන්නෙ හරි පුදුම දෙයක්. චූ යනව වගේ දෙයක් නේ. ඉතින් මේ චිත්‍රත් ඒ වගේ තමයි. බය ඇතුළෙ ම ටික කාලයක් ඉන්නකොට චිත්‍ර විදිහට ඒවා එළියට එනවා. ඒත් දිගටම ඒ බය අස්සෙ ඉන්න බැහැ. එපා වෙනවා. ඊට පස්සෙ අත ඇරල දානවා." සුජිත් කිව්වෙ ඔන්න ඔය වගේ අදහසක්. ඔය කතාව ඇහුවට පස්සේ මගෙ හිතට මහ බර ගතියක් දැනෙන්න ගත්තා. ඒක නිකන් කඳුළු එන්නෙ නැතිව අඬනව වගේ හැඟීමක්. දැන් ඉතින් ඒ හැඟීම සුජිත් ටවත් මගෙ හිතෙන් අයින් කරන්න බැරි වෙයි. හිතේ පටලයක් බැඳිලා වගේ. එදිනෙදා ජීවිතය, සතුට, බලාපොරොත්තු, ආර්ථිකය, සංස්කෘතිය, දේශපාලනික වටපිටාව, මේ හැමදෙයක්ම විහිළුවක් වගේ ගොඩක් වෙලාවට. ඒත් ඒ විහිළු ගතිය අස්සෙ කොච්චරනම් භ්‍රාන්තියක් සැඟවිලා තියෙනවද? හැමෝම මේ මනෝභ්‍රාන්තිය එක්ක හිරවෙලා නෙමෙයිද ඉන්නේ?

සුජිත් ගෙ චිත්‍ර අතරින් ලොකු ඇස්දෙකක් විවර වෙලා, ඒ ඇස් වලින් දකින දෙවල් නිසා කඳුළු ගඟක් ගලන චිත්‍රෙ මගෙ දිහා ගොඩක් වෙලා බලාගෙන හිටියා. එක එක දුරවල් වලින්. වෙලාවකට ළඟින්, තව වෙලාවක ඈතින්. මට ඒ චිත්‍ර ය සහ සුජිත්ගෙ මුහුණ වෙන්කර ගන්න සෑහෙන අමාරුයි. ඊට පස්සෙ ඒ චිත්‍රය තුළ මාවම පේන්න ගත්තා. මහා ලොකු දර්ශනයකට වඩා ඉතාම සරල මානුශීය තැනකදි තමයි මට ඒ චිත්‍රය කතාකරන්න ගත්තේ. හැබැයි ඒ කතාව, කියාගන්න බැරි බරපතල තැනකට මාව අරගෙන යනවා.


බොහෝ වෙලාවට කලාව විසින් කරන්නේ පවතින සම්මතයන්ට එරෙහිව නැගීසිටීම. විප්ලවය තුළින් සටන්කිරීම. ඒත් මනොභ්‍රාන්ති මේ මඩගොහොරුව තුළ යළි මල් මෙන් පිබිදීමට පවා ඇති නොහැකියාව බාරගන්නවා. සුජිත් චාකෝල් වලින් ඇඳල තියෙන එක තේමාවක අවස්ථා කිහිපයක් ලෙස පෙනුණු කළු සුදු චිත්‍ර ත්‍රිත්වය සුජිත්ගෙ තාත්වික චිත්‍ර දක්ෂතාවය ගැන ප්‍රභල සාක්ෂියක් වුණත් ඒ චිත්‍ර කිහිපය තුළ සැඟවී තිබෙන කම්පනය, සංවේදනය, දුක සහ බියට ඔබවත් මුසපත් කරන්න ඉඩ දෙන්න.

බලාපොරොත්තු, සිහින එක්ක නැගිටිමු කියනවා වෙනුවට කුණාටුව තුළ සුණුවිසුණු වීම ඇර වෙන කළයුත්තක් නැති බවක් නැහැ. එහෙම හිතනකොටම මනෝභ්‍රාන්තිය දෙගුණ තෙගුණවෙලා දැනෙනවා. ඒත් ගලායාම සමඟ මුසුවීම ට එහි කිසිම බාධාවක් නැහැ. අනවශ්‍ය දෙවල් ගැන නොසිතා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නවනම් කිසිදේකට බයවෙන්න දෙයක් නැහැ. සමහර අයට එහෙම පුළුවන්. ඒත් ගලායාම සමඟ එකඟ විය නොහැකිනම් කුමක් කලයුතුද? මම හිතන්නේ සුජිත් ඒ කලහැකිදේ කරනවා. තමන්ගෙ ප්‍රදර්ශණය බුර්ෂුවා ගැලරියක් වෙනුවට සුජිත් යන්තම් හෝ එදිනෙදා ජනතාවට පය තැබිය හැකි ලයනල් වෙන්ඩ්ට් එකට අරන් ඇවිත් තියෙන්නෙ ඒ හින්ද වෙන්න ඕනේ.
තමන්ගෙ ප්‍රකාශනයත් එක්ක සිහිනයක අතරමං වෙනවට වඩා සුජිත් තවමත් එය ජනතාව අතරට ගෙනගිය යුතුයි කියන මතයේ සිටීම ගැන මට ඇතිවුණේ ගෞරවයක්. ඒත් මේ නිර්මාණ කොහෙ හරි ලොකු කලාගාරයක හෝ පුද්ගලික එකතුවක් තුළ ඉතිහාසයට එකතුවෙන එක ගැන මම විරුද්ධ නැහැ. ඉතිහාසය තුළ ලෝකය වෙනස් විය යුතුයැයි විශ්වාස කළ කුඩා මිනිසුන්ගේ දර්ශනය කොහේ හෝ ඉතුරුවේවි.
සුජිත්! ජීවිතය දැන් කොහොමත් පහසු නෑ. තමන්ගෙ ජීවිතය චිත්‍ර අස්සෙ හොයාගෙන යන එක දිගටම කරන්න. ඔයා මෙහෙ ඇවිල්ල ඉන්නෙ එකට.
සුමුදු අතුකෝරල

Tuesday, August 8, 2017

කඩා වැටෙන දේවල් (Things fall apart)


මාස කීපයකට කළින් කල්පිටියට ආසන්න මදුරන්කුළිය පැත්තේ මගේ මිතුරෙකුගේ වෙරළ කුටියක අපි සති අන්තයක් ගත කරමිනුයි හිටියේ. රොෂාන්, මැකෙන්සි, කේට් සහ මම. හවස්වරුවේ කට්ටියම ගිහින් මුහුදට පැන්නා. මුහුද ටිකක් රළු වුණත් ඈතට නොගිහින් මුහුදු වෙරළත් එක්ක ඔට්ටු වෙන එක හරිම ලස්සන දෙයක්. ටික වෙලාවකින් මැකෙන්සි කෑගහන්න ගත්තා, “Maggots at the beach!!!”

ඒක එතරම් ප්‍රියජනක දර්ශනයක් නෙමෙයි. කුඩා ප්‍රමාණයේ පණුවන් මිලියනයක් විතර වෙරළේ එක තැනකින් උඩට මතුවෙනවා. ඒ වගේ සමහර දේවල් වලට කිසිම තේරුමක් නැහැ. විශ්වය හරිම අමුතු තැනක්. විශ්වය ඇතුළේ තව විශ්වයන් ගොඩක්. විද්‍යාවෙන් හෝ දර්ෂනයෙන් තේරුම් ගත නොහැකි දේවල් තේරුම් ගන්න තියෙන එකම විදිහ තමන් තුළට ම කිමිදිලා ඒ තේරුම් හොයාගන්න එකයි. නැත්නම් හැම නොතේරෙන දෙයක් ම තේරුම්ගත නොහැකි දේවල් විදිහට තේරුම් ගැනීමයි.

මැකෙන්සි කියන්නේ අපූරු ඕස්ට්‍රේලියානු කොළුගැටයෙක්, සිඩ්නි නුවර ආකිටෙක්චර් ඉගෙන ගන්න අතරේ දැන් අවුරුද්දක් තිස්සේ ලංකාවේ පුහුණු කාලයක් ගත කරනවා. ප්‍රමාණයෙන් ලොකු ලිනන් කමිස සහ කලිසම් ඇඳගෙන සරල සෙරෙප්පු දෙකක් දාගෙන ඔහේ පාවෙනවා. එක දවසක ගාල්ලේ, අනිත් දවසෙ නුවර, ඊළඟට සිරීපාදේ, නැත්නම් හවස කොටුවේ බාර් එකක ලොක් වෙච්ච වැසිකිළියක ජනේලෙන් එළියට පනින්න හදනවා. බිව්වොත් පිස්සු. ළඟින් හිටියොත් අපිටත් පිස්සු.

මිනිහ චිත්‍ර අඳින බව දැන ගත්ත දවසෙ මම පුදුම වුණා.

"මොනවද උඹ අඳින චිත්‍ර?" මම ඇහුවා.

"මට කියන්න තේරෙන්නෙ නෑ. මම පෙන්නන්නම්" ඔන්න මැකෙන්සි ගෙ උත්තරේ.

උදේ පාන්දර මැකෙන්සි ගෙ කාමරෙන් "ටොක්" "ටොක්" සද්ද ඇහෙන බව මට ඔය අතරෙ ආරන්චි වුණා. වෙන මොනවත් නෙමෙයි ඒ එයා එයාගෙ චිත්‍ර වල තීන්ත පෑනකින් තිත් තියන සද්දේ. මාස ගනන්, සති ගනන් ඉතාම සංයමයෙන් තිත් තියමින්, ඉරි කෑළි අඳිමින් එයා එයාගෙ මනස්ගාත ඔක්කොම හරිම අලංකාර විදිහට සුදු කොළ උඩ අතුරනවා. මම එහෙම චිත්‍ර ක්‍රමයක් කවදාවත් දැකල තිබ්බෙ නැහැ. තිත් කෙළකෝටියක් විතර, එකම මෝස්තරය එකම විදිහට නැවත නැවත චිත්‍රය පිරෙන්නම අඳිනවා. එහෙව් ඉවසීමක්, එහෙව් පරිශ්‍රමයක් මේ කෙට්ටු හාදයට කොහෙන් උරුම උනාද? චිත්‍ර අඳිනවා කියල ඔහොමත් අඳිනවද?


Things fall apart,  "කඩා වැටෙන දේවල්" වගේ අදහසක් ලස්සනට ගැළපුණත් ඒකෙ තේරුම "සියළු සංස්කාරයෝ නැසෙන සුළුය" කියන එක තමයි. ඒක තමයි මැකෙන්සි ගේ චිත්‍ර ප්‍රදර්ශණයේ තේමාව. ඔන්න මම දැන් ආයෙ මුල සහ අග ගලපන්නයි යන්නේ. ප්‍රදර්ශණය බලද්දි තමයි මම "වෙරළේ පණුවෝ" චිත්‍රය දැක්කේ. මේක මහ පුදුම දෙයක්. එයාගෙ එක චිත්‍රයකට අදහස ඇවිත් තියෙන්නේ එදා අපි වෙරළේ දැකපු පණු විශ්වය. මම ඒ චිත්‍රය ඉස්සරහ හිටගෙන පැය කාලක් විතර චිත්‍රය අස්සෙ ඇවිද්දා. "සියළු සංස්කාරයෝ නැසෙන සුළුය"-"වෙරළේ පණුවෝ" මාව එකතැන භ්‍රමනය වෙන්න ගත්තා. එහෙම භ්‍රමනය වෙලා මාව නතරවුනේ හරිම ලස්සන, සතුට උපදවන, සරල තැනක. හරියට මම හොය හොය හිටපු මොකක්දෝ අපැහැදිළි දෙයක් එකපාරටම හම්බ වුනා වගේ හැඟීමක්. කවුරු හරි මගෙන් අහුවොත් මොකක්ද ඉතින් ඔය හැඟීම කියලා මට කියන්න තියෙන්නෙ " මට කියන්න තේරෙන්නෙ නෑ, පෙන්නන්න පුළුවන්" වගේ උත්තරයක්.

තව එක චිත්‍රයක නම "ගෝනුස්සා". මහ රෑ තමන්ගේ නාන කාමරයට ආපු ගෝනුස්සෙක් එක්ක මැකෙන්සි ඔට්ටු වෙච්ච විදිහ මට කේට් කියල තිබුණා. කලාව ආභාශය ලබන්නේ මහා දාර්ශනික මතවාද වළින් ද? නැත්නම් ඉතාම සරල යැයි අප විසිකර දමන මතකයන් තුළින් අභාශය ලබා කෙරෙන නිර්මාණවල මහා දර්ශනයක් කියවෙනවද? අන්න ඒ වගේ ලස්සන ප්‍රශ්ණයක් එක්ක මම දැන් දැහැන් ගත වෙලයි ඉන්නේ. මැකෙන්සි " හලෝ ඩාර්ලින්" කියල නම් කරල තියෙන චිත්‍ර ආභාශය ලබල තියෙන්නේ "ටුක් ටුක්" වල තියෙන සුදු යකඩ මෝස්තර වලින්. හැබැයි ඒව අස්සෙ මැකෙන්සි එයාගෙ පුද්ගලික ජීවිතය, අත්දැකීම් සහ වීරක්‍රියා සඟවලා ඇති. ඒ චිත්‍ර මේ ලෝක යථාර්තය මත තබා තේරුම් ගැනීම එතරම් සුදුසු දෙයක් නෙමෙයි කියලයි මට හිතෙන්නේ. හැම නොතේරෙන දෙයක්ම තේරුම් ගත නොහැකි දේවල් ලෙස පිළිගෙන ඒවා තමන් තුළට කිඳා බැස දැනෙන්න හැරීම මිස වෙන කළ හැකි දෙයක් තිබේද? විවච්චේදනය තුළ කොටස් විදිහට හමුවන දේවල් තිබුණත් සමස්ථය තේරුම්ගැනීම තමයි අභියෝගය.


සුමුදු අතුකෝරල

Things fall apart/ Mackenzi Nix/ Till 3rd September at Bare Foot Gallery

Monday, March 27, 2017

"Dark in the white light" (සුදු එළිය තුල කළු අඳුර)

ඉතාම දැඩි සුදු එළියක් දෙස මඳ වේලාවක් බලාසිටින විට ඒ තුල අඳුරක් දැකිය හැකියි. සමහර විට  "Dark in the white light" (සුළඟ ගිනි අරන්) චිත්‍රපටය තුලත් මතුවන ආතතිය එම අඳුරම විය හැකියි. විමුක්ති මේ චිත්‍රපටිය ඇතුළෙ චිත්‍රපටියේ කතාව සරළව ඉදිරිපත් කිරීමට අවශ්‍ය සියල්ල පසෙකින් තබා, සාමාන්‍ය කතාවක් කීමට නම් අනවශ්‍ය යැයි බැහැර කරන සිදුවීම් කිහිපයකින් කතාවක් වෙනුවට යම්කිසි හැඟීම් සමුදායක් එක හුයකට අමුණනවා. ඒත් හිතාමතාම කථාන්තර ඇසීමේ හුදු මිනිස් ආශාව විමුක්ති ඉතා සියුම් විදිහට සන්සිඳුවනවා. බොහෝ විට ලංකාවෙ සහ අනිත් කළාපීය රටවල් වල සිනමාව තේරුම් ගන්නේ දෙබස් වලින්. රූපය තුලම අර්ථ සටහන් වුණත් ඒක අභිබවා දෙබස් වලින් හැමදේම ලේසි සහ අති සරල කරනවා. ඒත් සිනමාව කියන්නේ රූප සහ ශබ්ද අස්සේ හැඟීම් සඟවන සහ සොයාගන්නා කලාවක්. විමුක්ති සිනමාකරුවෙක් විදිහට මේ වැඩේට කවදත් දක්ෂයි. රූප අස්සෙම අභ්‍යාස කරල අර්ථ සොයාගැනීමට එයා චලනය වන හෝ නොවන චිත්‍ර විතරක් ඉදිරිපත් කරනවා. හොඳ සිනමා රසිකයෙකුට තමන්ගෙ සිනමා කෘතිය නීරස වෙන්න විමුක්ති ඉඩ දෙන්නෙ නැහැ. රූප අස්සෙ මතුකරන ඉතා ශුන්‍ය විස්තරයන් සහ එක් එක් රූප චලනය කෙරෙන හෝ ස්ථතිකව පවතින රිද්මය තුල නරඹන්නා තමන්ගේ සිනමා රසවින්දනය සොයාගත යුතුයි.


"Dark in the white light" පටන් ගන්නේ ගල්පර අස්සේ නිසලව සෑහෙන වෙලාවක් නතරවෙලා තිබෙන රූපයකින්. ඒ වුනත් ඒ ගල්පර වැළි කුඩා කුහර තුල පවතින හිස් බව දැන් දැන් යම්කිසි දෙයක් පිරෙනකන් බලන් ඉන්න බව ඉවසිලිවන්තයාට දැනෙනවා. සුදු මුහුදු වතුරෙන් ඒ කුහර පිරෙනකන් අධ්‍යක්ෂකවරයා එයාගෙ අත්දැකීමට අපිවත් එකතු කරගන්නවා. ස්වභාවික පරිසරයේ තියෙන මේ වගේ සාමාන්‍ය තත්වයන් සිනමාව ඇතුළෙ පුදුමයන් බවට පත්වෙන්නේ ඒවා නිර්මාණාත්මකව සහ යම්කිසි හැඟීමක් බිහි කිරීම උදෙසා සියුම්ව භාවිතා කිරීම නිසයි. (කඳු අතරේ කුඩා පාරක පොඩි හාමුදුරුවෝ ඇවිදයන දර්ශනයේ අහසෙ පාවෙන වලාකුළේ හෙවණැල්ල මුළු දර්ශනයම අත් පත් කරගන්නකන් පැය කීයක් ඒ දර්ශනය රූගත නොකර බලන්හිටියද කියල විමුක්ති හම්බවුනහම අහන්න ඔනේ.)

බැලූ බැල්මට මේ චිත්‍රපටිය අස්සේ ඔහේ අමුණපු දර්ශන තිබුන වගේ චිත්‍රපටිය බලන වෙලාවෙ හිතුනත්. ඒ හැම දර්ශනයක්ම චිත්‍රපටියෙ සාමූහික හැඟීම් වියමන පුරවන්න ඉතා සූක්ෂමව යොදාගන්න ඇති කියල මට හිතුනේ දවස් දෙක තුනකට පස්සෙයි. උදාහරණයක් විදිහට පොඩි හාමුදුරු නම කැළයක් අස්සෙන් ඇවිදගෙන ලොකු දුරක් යන දර්ශනය අවසන් වෙන්නේ මහමුහුද ළඟින්. ඒක හරිම සන්සුන් නිවුණු පැහැදුණු ගමනක්. ඒ ගමන අවසානයේ හාමුදුරුවන්ට මුහුද හම්බවෙන බවක් ඒ හැඟීම් අස්සේ තිබුණා. හැබැයි ලස්සනම දේ හාමුදුරුවන්ට මුහුද හම්බවෙන්න එයා ඇවිදින්නේ අපිට පිටුපාලා, අපි හාමුදුරුවො පස්සෙන් යනවා. ඒ වගේම ජයවර්ධනපුර රෝහලේ පාළු කොරිඩෝවෙ අපිදිහාට ඇවිදන් එන දොස්තර ගොඩක් දුර ඔහේ අපි දිහාටම එනවා. අපි පස්සෙන් පස්සට යනවා. අඳුරුයි, මොකක් හරි විනාසයක් වෙන්න යනව වගේ. මේ දර්ශන දෙක එකිනෙකට විරුද්ධව ගමන් කරමින් ආධ්‍යාත්මය සහ ආසාව අතරෙ සීමාව වෙන්කරනවා.

දොස්තරගේ චරිතය නිර්මාණය කිරීම තුළ විමුක්ති සමහර දේවල් මග ඇරගෙන තියෙනව වගෙ දැනුනා. හරිම විනාසකාරී දොස්තරගෙ චරිතය ගොඩනැගෙන්නේ අදහගන්න බැරි තරමේ නරක ගතිත් එක්ක. ඒ පීඩාකාරී හිංසනමය ක්‍රියාවලිය ඇහැට පෙනෙන නොපෙනෙන කුඩාදේවල් වළින් හෙව්වනම් දොස්තර මීට වඩා තාත්වික වෙන්න තිබුණාවගේ හිතෙනවා. ඔව්! හැම දෙයක්ම තාත්වික වෙන්න ඕනෙත් නැහැ.

හැබැයි මේ හැමදෙයක්ම අස්සේ, ඉතාම අඩුවෙන් කතා කරන හෝ කතාකරන්නෙම නැති චරිත කිහිපය තමයි චිත්‍රපටිය තව සීමාවකට ගෙනියන්නේ. පොඩිහාමුදුරුවන්ගෙ ඔළුව උඩ නටන තණකොළපෙත්තා සහ පිළිස්සුණ දොස්තරගෙ අවතාරමය රූපයට කුතුහලයෙන් බුරන සහ විටෙක නැට්ට වනන බල්ලත් ඒ ගොඩට අයත්.

"හැම චිත්‍රපටියකටම මුලක් මැදක් අගක් තිබිය යුතුයි, හැබැයි ඒ පිළිවෙලටම තිබිය යුතු නැහැ." මට මතක විදිහට මෙහෙම කිව්වෙ ගොඩාඩ්. අන්න ඒ වගේ අග මුල මැද මාරුකරමින් චිත්‍රපටිය ඉදිරියට අරගෙන එන විමුක්ති තමන්ට සුපුරුදු විදිහටම කතාව ඉවරකරන්නේ අපේ හිතේ තිබුණ මේ ඔක්කොම අමුණගන්නේ කොහොමද කියන ප්‍රශ්නෙට හරිම සරළ උත්තරේකුත් එක්ක. ඒක අර ලස්සන රූපරාමුවක ඉඳගෙන කාඩ් සෙල්ලම් කරන තරුණයන් කිහිප දෙනාට ඇහුම්කන් දුන්නොත් තේරෙයි.

සුමුදු අතුකෝරල