Monday, May 30, 2016

ආදරය කරන්න දන්නෙ නැති අය යුද්දෙ කරනවා

"ආදරය කරන්න දන්නෙ නැති අය යුද්දෙ කරනවා"


මේ අදහස කියවුනේ ළඟදි නරඹපු  අතික් රහිමි (Atiq Rahimi) විසින් කරපු “Patience stone” චිත්රපටියේ ලස්සන ගොල්ශිෆෙ ෆර්හානි ගෙ දෙබසක

"ඇගේ ඇස අග" චිත්රපටිය නරඹලා ඇවිත් හිතට කරදර දීපු අදහස් එක්ක ඉද්දි තමයි “Patience stone”  චිත්රපටිය බලන්න ලැබුනෙත්. මේ සටහන ලියන්න හිතුනේ ඊට පස්සෙයි.

ආදරය හෝ ආශාව යන සංකල්ප මිනිස් ඉතිහාසයෙ ඉඳන් කවදාවත් වෙනස් නොවී පැවතගෙන ආපු මිනිස් හෝ සත්ව සංහතියෙම කොටසක්. මිනිස් සම්බන්ධතා විවිධාකාරී වෙන්න පුළුවන්. ඔයාගේ ආත්මයම සුණුවිසුණු කරන ආදරයේ හෝ ආශාවේ පරමාදර්ශය ඔබට දැනටමත් මුණගැහිලා ඇති නැත්නම් අනාගතයේදි මුණගැහෙන්නත් නොගැහෙන්නත් පුළුවන්. ඉතින් එහෙම තැනකදි ඔයාව සුළිසුළඟට අහුවෙන පුළුන් කැටියක් වගේ ගහගෙන ගිහින් ගිනිගන්න ඉඩ තියෙනවා. ඒ අකරතැබ්බය සාධාරණ හෝ අසාධාරණ ලෙස නම්කරන්න ඔබ කිසිම කෙනෙකුට සුදුසුකමක් නැහැ කියලයි මට හිතෙන්නේ. හරි හෝ වැරැද්ද තීරණය කරන්න පුළුවන් ඔබටම විතරයි. සමහර වෙලාවට ඔබට වුණත් බැරිවෙන්න පුළුවන්.

අපි සංස්කෘතියක් හෝ සදාචාරමත් පැවැත්මක් විදිහටම අගක් මුලක් හොයාගන්න බැරිව අතරමං වුණ රටක්. සදාචාරවත් සමාජයක් වශයෙන් ලොකු ලේබල් ගහගෙන අපි පරණ මඩගොහොරුවෙම එරෙනවා. ඉතින් අපි අර කව්දෝ කිව්ව වගේ අවුරුදු ශතවර්ශ ගානක ඉඳලම දියුණුවෙමින් පවතින රටක්. මම හඳගමගෙ සිනමාත්මක මැදිහත් වීමට කැමති එයා සිනමාකරුවෙක් විදිහට අපේ සමාජය තුවාලකරලා ඇතුළට එබිල බලන නිසයි. සියුම්ව සැතකින් කපා විවෘත නොකර හරියටම රෝගය අඳුරගන්න බැහැ. රෝගය අඳුර ගත්තත් නැතත් අඩුම ගානේ තුවාල කරපුවම රිදෙන එක වුණත් හොඳ දෙයක්. හැමදාම සිවිය අත ගගා ලස්සනයි හරි හොඳයි කිය කිය ඉඳලම දැන් ඇති නැද්ද?

චිත්‍රපටිය ඇතුළෙ හඳගම යෝජනා කරන්නේ යුද්ද නොකර ආදරය කරමු කියන අදහස කියලයි මට හිතෙනේ. ගහමරානොගෙන තවත් මිනිහෙක්ගෙ සිතුවිළි, සම්බන්ධතා, විවෘතව අවබෝධ කරගැනීමට හැමෝටම තමන්ගේ මමත්වය පැත්තකින් තියල ආදරණීය වෙන්න වෙයි. ගැහැණියෙක් මිනිහෙක් අතරෙ තියෙන ආදරයක් ගැන නෙමෙයි මම කියන්නේ, මනුස්සයෙක් තවත් මනුස්සයෙක් වෙත දක්වන ආදරය සහ මානුශික බව ගැන.

මේ අතරෙම මට හරි සතුටක් දැනුණා හඳගමගෙ සිනමා ප්‍රකාණ විදිය ගැන. නියොන් එළි, පාවෙලා යන කැමරා රූප, නවීන සමාජයේ අඩුම කුඩුම, අලුත් විදිහෙ (අපිට) සංගීත මුසුවත් එක්ක එයා චිත්‍රපටිය ඇතුළට ගේන නැවුම් අදහස් හඳගම සිනමාකරුවෙක් විදිහට අනාගතයට යන්න සැරසිලයි ඉන්නේ. රූප වලින් කියන්න බැරි දේවල් ටික චිත්‍රපටිය පුරාම අමුතු පැහැයක් විදිහට මුසු කරන සංගීතය ගැන චිත්‍රාල් ට සුබපතන්නම ඔනේ. චිත්‍රපටියෙ ලොකු චරිත එක්ක හැපෙමින් නොනවතින අරගලයක යෙදෙන සඳලිගෙ චරිතයෙ "ඇට්ටර" ගතියත්, රාදිකාගෙ චරිතය ඇතුළෙ හඳගම විසින් නිධන් කරන ලද හැමදෙයක්මත්  චිත්‍රපටිය තුළ ගලායාම ගැන ලොකු වගකීමක් දරන නේද කියල මට අවසානයෙදි හිතුනා. 

ඇගේ ඇස අග ලංකාවෙ, ලංකාව ගැන,  ලංකාවෙ මිනිස්සු ගැන කරපු චිත්‍රපටියක්. ඉතින් මට “Elegy” මෙතෙන්ට අදාළම නැහැ.


සුමුදු අතුකෝරල

Thursday, November 13, 2014

පිස්සු ජීවිතයකට චාල්ස් බුකොව්ස්කි ගෙන් අදහස් දහයක්

පිස්සු ජීවිතයකට චාල්ස් බුකොව්ස්කි ගෙන් අදහස් දහයක් 

1. නවතින්න එපා

"මට මුළු ලෝකයම ඕනේ. නැත්නම් කිසි දෙයක් එපා"
ඔබ සිහින දැකපු, ඔබ හිතන විදිහට ඔබට ඇත්තටම අයිති දෙය ලැබෙන තුරු කිසිම තැනක නතර නොවන්න. හොඳම දේ දිනාගන්න කටයුතු කරන්න. ඔබව සම්පූර්ණයෙන්ම සතුටු කරන දෙයක් ඇරෙන්න වෙන කිසිම දෙයක් බාර නොගෙන ඉන්න. ඔබේ සිහින සහ ඉලක්ක අතඇරල ලැබෙන දෙයක් බාර අරන් නවතින එක කිස්ම තෙරුමක් නැති දෙයක්. එහෙම කළොත්, ඒක ගැන ඔබට කවදා හරි දුක් වෙන්න වෙයි.

2. ඔබට ආදරය කරන්න

"මට කවදාවත් "මේ වගෙ වෙන්න ඔනේ" කියල හිතෙන  මිනිහෙක් හම්බ වෙල නැහැ. ඒක බොරු අදහසක් වුනත් වාසනාවන්ත අදහසක්"
කවුරුවත් සර්ව සම්පූර්ණ නැහැ. ඒක ගැන කිසිම සැකයක් නැහැ. එත් ඒක ගැන හිතමින් ඔබට බැට දී ගැනීමෙන් ඵලක් නැහැ. මට මෙහෙම කරන්න තිබුණා, අරහෙම කරන්න තිබුණා සිතමින් තමන්වම විචාරය කර ගනිමින් ඉන්න එක නවත්තන්න. තමන්ටම ටිකක් ආදරය කරන්න. ඒකෙන් අදහස් කරන්නෙ නැහැ ඔබේ වැරදි හදාගෙන ඉස්සරහට යන්න එපා කියල. මොනව වුනත්, ඔබ ගමන යන අතරේ ඔබේ ලොකුම රසිකයා ඔබවම කර ගන්න.

3. ජීවිතය උපරිමයෙන් විඳින්න

“නරක දෙය මරණය නෙමෙයි, මැරෙන කල් මිනිස්සු ගතකරන හෝ ගත නොකරන ජීවිතයයි.”
"සමහර මිනිස්සු කවදාවත් පිස්සු නටන්නෙ නැහැ. ඇත්තෙන් වගෙ අයගෙ ජීවිත මොනතරම් නම් අප්රසන්නද?"
ඔබට අහස් කිමිදුම් කරන්න ඔනෙ එත් කවදාවත් කරල නැද්ද? වැඩිය හිතන්න එපා පිම්මක් ගන්න. ඔබට කලා ඉතිහාසය ගැන උපාධියක් කරන්න ඔනේ එත් ඊට පස්සෙ මොකද කරන්නෙ කියල දන්නෙ නැද්ද? කමක් නැහැ ගිහින් ඒක ලියාපදින්චිවෙන්න. ඔයාට හම්බවෙන්නේ එකම එක ජීවිතයයි. ඒකෙ උපරිමය කරා යන්න. ගොඩක් පරක්කු වෙනකන් ඉන්න එපා දැන්මම පටන් ගන්න.

4. රිදෙන එකට බයවෙන්න එපා. රිද්දගන්නෙ නැතුව සතුට අත්විඳින්න අමාරුයි.

"ඔබට හරියටම ජීවත් වෙන්නනම් ඊට කළින් කීප පාරක් මැරෙන්නම වෙනවා"
වේදනාව, දුක, තරහ, පරාජිත හැඟීම්, පීඩාකාරී බව, වගේ පහත් හැඟීම් ගොඩක් අසතුටු දායකයි. වගේම වේදනාකාරීයි. ඒත් ඔබට වේදනාබර හැඟීම් ඔස්සේ ඇවිද නොගිහින් සුබවාදී හැඟීම් අගය කරන්න අමාරුයි. නිසා ඔබ අඝාද පතුළටම වැටී ඇති බවක් ඔබට දැනෙනවනම්, එතනින් තවත් පහළට වැටෙන්න දෙයක් නැහැ. ඔබ මේ මොහොතේ විඳින වෙදනාව ඉදිරියේදි ඔබ විඳින්න නියමිත සතුට ත්වත් රසවත් කරන බව දැනගන්න.


5. ඔබ ඔබම වෙන්න. හැම විදිහෙන්ම ඔබ ඔබේකම එළියට දාන්න.

"කිසිම කලාවක් නැතුව ත්රාසජනක දෙයක් කරනවට වඩා, කලාවක් ඇතුව කම්මැළි දෙයක් කරන එක හොඳයි"
ඔබ ඔබ වෙන්න බය වෙන්න එපා. බුකොව්ස්කි කවදාවත් තමන්ගෙ විදිහට ඉන්න බය වුනේ නැහැ. ඔයාගෙ ඇත්ත පාට පේන්න අරින්න. ඔබේ නියම පවෘර්ශය එළියට දාන්න. අනිත් මිනිස්සු ඔබව දකින්න කැමති විදිහට ඔබ, ඔබ නොවන කෙනෙක් විදිහට ඉන්නවට වඩා, ඔබ ඔබගේම විදිහට ඉන්න එක හොඳයි. කොහොමත් අනිත් මිනිස්සු මොන විදිහට හිතුවත් අපිට මොකද?

6. ඔබ හිතනවට වඩා ඔබ ශක්තිමත්

"සමහර වෙලාවට ඔබ උදේ අවදිවුන ගමන් ඔබට හිතෙනව ඇති මට මේකනම් කරගන්න බැරිවෙයි කියලා. ඒත් ඔබ ඇතුළෙන් හිනා වෙනවා....මතකද? ඔබට හැමදාම එහෙම හිතිල තියෙනවා"
ඔබ දන්නවා ජීවිතය කියන්නෙ අත්හදාබැලීම් ගොඩක්. මහන්සියෙන් වැඩ කරන්න වෙනවා. ඒත් ඔබ හැමදාමත් අමාරුකම් හරහා ගිහින් දිනනවා. ඔබ ඔබ හිතනවට වඩා ශක්තිමත් බව මතක තියා ගන්න. දරුණු දවසක් වුනත් ගත කරන්න ශක්තිය ප්රමාණවත්.

7. මැරෙන්න බයවෙන්න එපා.

"මම මාර දූතිය මගෙ වම් සාක්කුවෙ දාගෙන තමයි යන්නේ. මම ඉඳල හිටල එයාව සාක්කුවෙන් එළියට අරන් මෙහෙම අහනවා "ආහ් කෙල්ලේ ඔයාට කොහොමද? කවදද ඉතින් මාව ගෙනියන්න එන්නේ? මම ලෑස්තිවෙලා ඉන්නේ"
"මරණය ගැන දුක්වෙවී ඉන්න දෙයක් නැහැ. මලක් පිපෙනව වගේ දෙයක් ඇරෙන්න එක ගැන හිතන්න දෙයක් තවත් නැහැ"
මරණය වළක්වන්න බැරි දෙයක්. ඉතින් ඒක ගැන දුක් වෙලා වැඩක් නැහැ. ඔබ අන්තිමේදි යන තැන ගැන හිත හිත ඉන්නවට වඩා, ඔබට ලැබිල තියෙන අවස්තාව ගැන හිතන්න. මරණය ගැන දුක්වෙවී ඉන්නවට වඩා ජීවිතේ විඳින එක වටිනවා. අඩුම ගානේ කවද හරි ඔබට ගැන සතුටු වෙන්න පුළුවන්.

8. ඔබ ඔබව විශ්වාස කරන්න.

"මේ ලොකෙ තියෙන ප්රශ්ණෙ තමයි, යමක් කමක් තේරෙන අය තමන්වම විශ්වාස නැහැ"
ඔබ හිතනවට වඩා ඔබ වර්ණවත්. ඔබට කරන්න ඇති එකම දේ ඔබේ ඇත්තම දක්ශකම හොයාගෙන ඒක ඔප මට්ටම් කරන එකයි. ඔබ ගැන විශ්වාසය තියාගන්න. ඔබ දවසක් පුදුම වෙයි ඔබට කරන්න පුළුවන් තරම දැන ගත්තම.

9. හුදකලාව වඩා දරුණු දේවල් තව ගොඩක් තියෙනවා.

"හුදකලාව වඩා නරක දේවල් තව ගොඩක් තියෙනවා. හැබැයි ඒක තේරුම් ගන්න සෑහෙන කාලයක් යනවා. ඒවගේම තේරුම් ගන්න පුළුවන් වෙනකොට ප්රමාද වැඩියි. ප්රමාදය තමයි වෙන්න තියෙන නරක දේ"
"මම අනිත් මිනිස්සුන්ව නුරුස්සන කෙනෙක් නෙමෙයි. මම ගැහැණුන්ව නුරුස්සන කෙනෙකුත් නෙමෙයි. ඒත් මම තනියම ඉන්න කැමතියි. තනියම වාඩිවෙලා දුමක් ඇදලා අඩියක් ගහන එක ඉතාම සිත් ගන්නාසුළු දෙයක්. මම හැමතිස්සෙම මගේ හොඳම යාළුවා."
තනිවෙන්න බයහිතෙන්න පුළුවන්. පිරිසක් එක්ක ඉන්න එක ඉන්න එක ආරක්ශාකාරී හැඟීමක් ඇති කරන්න පුළුවන්. ඒත් ඊට වඩා නරක දේවල් තියෙනවා. තනිකම ගැන හිතමින් ඉන්නවට වඩා වෙලාව වෙන වදගත් සුන්දර දෙයක් වෙනුවෙන් යොදවන්න පුළුවන්. පිට අය නැතුව ඔබවම අගය කරගන්න ඉගෙන ගන්න. ඔබට තනියම ඉන්න තියෙන වෙලාවෙ වටිනාකම තේරුම් ගන්න.

10. ජීවිතය ගලනවා ඒක ගැන ගොඩක් කරදර වෙන්න එපා.

"සමහර වෙලාවට සින්ක් එකට චූ කරන්න වෙනවා"
නොහිතන වෙලාවලදි පිස්සු හැදෙන දේවල් වෙන්න පුළුවන්. ඒක ජීවිතේ හැටි. සුදුසුම දේ ගැන හිතමින් ඉන්න එපා. සමහරවෙලාවට ඒකෙන් එළියට ඇවිත් බලන්න වෙනවා. හැමදෙයක් ගැනම ඔනෙවට වඩා හිතන්න යන්න එපා. සමහරවෙලාවල් වල්දි ඔබට කරන්න තියෙන එකම දේ ඔහේ සතුටින් ඉන්න එක.

(Charles Bukowski’s Top 10 Tips for Living a Kick-Ass life by Mind openerz.)
 සුමුදු අතුකෝරල


Sunday, January 26, 2014

පරණ ගෙදරින් එළිය ට එන්න !

පරණ ගෙදරින් එළිය ට එන්න !

කෙනෙක් ගෙයක් හදන්නේ අවුරුදු කීයක් ජීවත් වෙන්නද? මුළු ජීවිත කාළෙම වුණත් අවුරුදු සීයක ට අඩුයි. ඉතින් අවුරුදු දෙසීයක් තුන්සීයක් පවතින්න ගෙයක් හැදී ම තුළ ලොකු ගැටළුවක් තියෙනවා.
පරම්පරාවෙන් පරම්පරාව ට ජීවන විලාසයන් වෙනස් වෙනවා. අපි ට කළින් පරම්පරාවෙ වුවමනා එපාකම් වලට, හැඩ වැඩ වලට අනුව නර්මාණය වුණා වගේ ගෙදරක් අපි දැන හදන්නේ නැහැ. එහෙම ගෙදරක් තියෙනවානම් බාධක ගොඩක් මැද්දේ ගෙදර පෙනු ම, ඇතුළත කොහොම හරි වෙනස් කර ගන්නවා. අපි ට පස්සෙ පරම්පරාවත් එෟක ම කරන බව අපි දන්නවා. ඒ හින්දා අවුරුදු පනහක ට එහා කාලයක් පවතින ගෙදරක් හැදී ම මුලාවක් වගේ දැනෙවා.


ගෙදර කියන සංකල්පය අපේ ඔළුව ට මුල් බැහැගෙන තියෙන්නෙ ම ඉතා ම ස්ථාවර, ශක්තිමත් බිත්ති, උළු වහලය, ලී දොර ජනෙල් වගේ දේවල් එක්ක. හැම දේක ම කල් පැවැත්මත්, ශක්තිමත් බවත් තමයි ඔළුවට දාගන්නේ. ඉතින් ගෙදරක් හදන්න යන වියදම, කරදර ගොඩ, කාලය, ශ්‍රමය ගව් ගානක් ඉහළ යනවා. 

ලෝකෙ බිහිවුණු හැම කලාවක් ම එක එක කාලවලදි පෙරළිකාර ලෙස වෙනස් වුණා. සාහිත්‍යය, චිත්‍රය, සංගීතය වගේ ම සිනමාව වුණත් එහෙමයි. පෙරළිකාරයන් විසින් කලාව වෙනස් ම පරාසයන් ඔස්සේ අරගෙන ගියා. ඒත් ගෘහ නිරමාණ ශිල්පය ආකල්පම ය වශයෙන් වෙනස් වෙන්නේ ඉතා ම සෙමෙන්. ලොකු වෙනසක් පේන්නෙ ම නැති තරම්.
අනිත් කලා මාධ්‍ය වගේ නෙමෙයි, වාස්තු විද්‍යා ව කියන්නේ ජීවිතයත් එක්ක මුහුණ ට මුහුණ මුණගැසෙන භාවිතාවක්. ඒ කලාව ඇතුළේ අපි ට ජීවත් වෙන්න සිද්ධ වෙනවා. එතකොට ඒක කලාව කියන සීමාවන් ඉක්මවලා පරිහරණය සහ ජීවත් වීම කියන පැත්ත ට බරවෙනවා. ඒත් ජීවත් වීම සදහා නිරමාණය කරනවා කියන්නේ කොන්ක්‍රීට්, ගඩොල් සහ සෟථාවරත්වය විතරක් ම නෙමෙයි. එතන හිර වුණොත් වාස්තු විද්‍යාව මේ තියන ආකල්ප වගුරෙන් ගොඩ ට ගන්න අමාරුයි.

ගෙදරක තිබිය යුතු මූලික ම දේවල් තමයි ඉඩ කඩ, ආරක්ෂාව, කාළගුණික තත්වයන් ට මුහුණ දීමේ හැකියාව, වාතාශ්‍රය, ආලොකය සහ සුව පහසුව. ඒ දේවල් වලට ගැළපෙන ලෙස ගෙදරක් නිර්මාණය කර ගැනීම ට සදාකාළික අමුද්‍රව්‍ය ම අවශ්‍ය නැහැ. නිර්මාණාත්මක සිතීම සහ කොටුකරගෙන ඉන්න ඉතිහාස බිත්තිවලින් එළිය ට ඒමයි කළයුත්තේ. කෙනෙක් ගෙදරක් නිර්මාණය කරගැනීම ට වාස්තුවිද්‍යාඥයෙක් හමුවෙන්න එන්නේ කොහොම ද අඩුවියදමෙන් ගෙයක් හදන්නේ සිතමින්. ඒත් බොහෝ වෙලාව ට එයාගෙ අවශ්‍යතාවයන් පොකුර “අඩුවියදම්“ කියන අදහස අමතක කරල හිතපු එකක්. ඇයි හැමතිස්සෙම චීස් වලින් කැපුව වගේ හැමදේ ම ඉතාම මෘදු, පියරු බබෙක් වගේ ගෙදරක් ගැන හිතන්නේ? අපේ ජීවිත, එදිනෙදා අත්දැකීම් ඒ තරම් ම සුන්දර ද? මෘදු ද? හැම ජීවිතේක ම කඩතොළු, පැල්ළම්, මළකඩ තියෙනවා. ඒවා හරිය ට කපරාරු නොකරපු ගඩොල් බිත්ති වගේ, රළු සිමෙන්ති පොළොව වගේ, සිල්පර කොට වගේ, ටකරං වහළ වගේ. රළු බවත් මෘදු බවත් අතර අපූරු හමුවීමක්.

පරණ කන්ටේනර් වලින් උනත් ගෙවල් හදන්න පුළුවන්. පරණ දැව සිල්පර කොට දැන් ගෙවල් වල ගෘහ භාණඩ, පොළොව සහ පඩිපෙල් වල පැළපදියම් වෙලා. නිර්මාණාත්මක විදිහ ට අමුද්‍රව්‍ය භාවිතා කිරී ම තමයි අභියෝගය. ටිකක් රාමුවෙන් එළිය ට ඇවිත් හිතන්න විතරයි තියෙන්නේ. හැමදා ම කරපු දේවල් නැවත නැවත කිරී ම ටිකක් අතෘප්තිකරයි නේද? පරම්පරා ගානක් තිස්සේ ඔළු වල තැන්පත් වෙච්ච සංකල්ප විසිකරල හිතන එක අමාරුයි තමයි. ගොඩක් අය එහෙම හිතන්න ඉඩ දෙන්නෙ නැහැ. කව්රු හරි හිතුවොත් ඒක ට පැනල “බැහ්“ කියනවා. හැබැයි කවුරුවත් කරළ බලලත් නැහැ. අනිත් දේ තමයි වෙළදපොළ සංස්කෘතිය තුළින් කෙරෙන බලකිරීම. හරිය ට ඒ ඒ අමු ද්‍රව්‍ය, වෙළද නාම සහිත දේවල් භාවිතා නොකළොත් ගෙවල් හදන්න බෑ වගේ.


විවිධ අමුද්‍රව්‍ය, ඉදිකිරීම් ක්‍රම වගේ දේවල් වල ට වාස්තු විද්‍යාව තුළ දොර විවර ව තිබිය යුතුයි. එතකොට සාම්ප්‍රදායිකත්වය ඉක්මවා ගිය නිර්මාණ බිහිකරන්න පුළුවන්. ගොඩක් වෙලාව ට නිර්මාණ ශිල්පියා එහෙම අභියොග වලට සූදානම් වුණත් ගෙදරක් නිර්මාණය කර ගැනීම ට පැමිණෙන අය ඒක ට සූදානම් නැහැ. ඇයි පරම්පරාවෙන් ආපු සිතුවිළි උරුමය හින්ද.
අනිත් දේ තමයි අවශ්‍යතාවයන් ගොමුව. නිදන කාමර හතරක්, කාර්යාල කාමරයක්, ආලින්දය, කෑම කාමරය, සුළු මුළුතැන් ගෙය, මුළුතැන්ගෙය, ගබඩා කාමර, රූපපෙට්ටි නරඹන කාමරය, අමුත්තන්ගේ කාමර ය මෙකී නොකී අවශ්‍යතාවයන් මහ ගොඩක්. නමුත් මොහොතක් නිදහසේ කල්පනා කළාම විසදගන්න පුළුවන් ඔය දේවල් වලින් කීයෙන් කීයද සාමාන්‍ය යෙකට අවශය කියලා. සාලය, කෑම කාමරය, රූපවාහිනිය නරඹන තැන් එක ස්ථානයක නිර්මාණය කරගන්න කාලය ඇවිත්. මුළුතැන් ගෙය ආලින්දයට සහ කෑම ගන්නා ස්ථානය ට විවෘත අවකාශයක් කරගන්න බැරි ඇයි? එහෙම වුණොත් මුළුතැන් ගෙය අපිරිසිදුවට තියාගන්න ම බැරිවෙනවා. ඒක ම කොච්චර දෙයක් ද? පවුළක ට ළමයි දෙන්නයි, කාමර හතරයි. ගණිතමය අවුළක් තියෙනවා නේද?

අවශ්‍යතාවය, දැරිය හැකි මුදල වගේ ම නිර්මාණාත්මක සහ වෘත්තීම ය දැනුම එකිනෙක මුණගස්වා සාම්ප්‍රදායික පරණ ගෙදරින් අලුත් සංකල්පමය ගෙදරකට ගෙවදෙන්න කාලය ඇවිත්.

සුමුදු අතුකෝරල 
[2014 ජනවාරිය]

Thursday, October 31, 2013

තේරුණේ නෑ තමයි, ඒත් සිත සතුටුයි

තේරුණේ නෑ තමයි, ඒත් සිත සතුටුයි


හොදට ම සීතල බව තවත් එත්තු ගන්වන මීදුම් වළාවක් ඒ සිතුවම සම්පූර්ණ කළා. පොඩි වැහි බීරම නොතිබුණානම් ඒක තවත් අඩුවක් වෙන්න තිබණා. නගරය ට ආසන්න ව වුණත් කදුගැටයක් උඩ තනි වී පිහිටා තිබී ම ඒ නdස්රත් දෙව් මැදුර ට ලැබුණු ඉහළ ම දායාදය වෙන්න පුළුවන්. කළුවර වැටෙන්න ආසන්නව තිබුණු එම මොහොතේ ඒ අත්දැකීම ඉතාම රෝමාන්තික බවකින් වෙලී තිබුණත්, දවසේ ඕනෑ ම වෙලාවක ඒ අත්දැකීමෙහි ලොකු වෙනසක් දැනෙන එකක් නැහැ.

 බණඩාරවෙළ නගරයට ඉතාම ආසන්නයේ හුදකළා කදුගැටයක් මත, නාස්රත් කන්‍යා රාමය ට යාබද ව පිහිටා ඇති මේ කුඩා දෙව් මැදුර මෑත ඉතිහාසයේ මා දුටු ඉතා ම අලංකාර ගොඩනැගිල්ලක්. දශක කිහිපයක ට පෙර නිරමාණය වුණත්, එම ගොඩනැගිල්ල කාලය අතික්‍රමණය කරන සුවිශේෂී නිර්මාණයක්.

පිටත ට දිස්වන්නේ කළුගල් බිත්තියක් මත රැදි සරළ වහලයක් සහ අල්තාරය යැයි සිතිය හැකි, ඉහළට නැගුණු කළු ගල් ස්ථම්භයක්. නමුත් ඒ කළු ගලින් සැදි හතරැස් කුළුණ මතින් දෙපස ට විහිදෙන විසල් වැහි පීලි කුරුසයක දළ රුවක් මවාපාන බව දකින්නට පුළුවන්. අපව ගොඩනැගිල්ල තුළට ඇදගන්නේ ඒ කළු ගල් වලින් සැදි පවුරුම ය පෙනුම මයි. ඔබේ ආත්මය දෙවියන් අභිමුව ට රැගෙන යාමට නම්, ඔබ ඒ කුඩා ලී දොරටුවෙන් ඇතුළු විය යුතුම යි.

රළු බව සහ දුහුල් බව අතරත්, ඝන බව සහ මුදු බව අතරත් ඒ මේ අත ලියවෙන කදිම සංවාදයක්! පිටත ට දිස්වන එම කළු ගල් බිත්තිය ට සමාන්තර ව අනෙක් පස නිර්මාණය වී ඇත්තේ විසල් වීදුරු ජනෙල් වලින්. ඔබේ සිත එළියට ඇද ඈතින් පෙනෙන හරිත නිම්නය ට විසිකිරීම ට ඔබ ට සිතෙණු ඇත. පය ට රළු ගල් පොළව, ඉහළින් ලී පටි වලින් සැදි කුහර සිවිලිම. පාවහන් පළදා සිටීමෙන්, ඔබ ඔබේ සංවේදී බවට සමු දෙන්නේ ඇයි? දේවත්වය අභිමුව ඔබ තවත් එක් කුඩා මිනිසෙකු බව කියාපෑම ට මහ පිළිම හෝ විශාල අලංකරණ විස්තර ඒ සරළ අවකාශයට අවශ්‍යවී නැත. නමුත් ඔබ තවත් සාමාන්‍ය මිනිසෙකු බව එහි ඇතුල් වන විට ම ඔබට දැනෙනු ඇත. නවීන පන්නයේ පන්සලක ට ගොස් ඔබ සොයන ධර්මය හෝ හිතේ සැහැල්ලු බව කිසිදාක ඔබ ට ලැබී ඇත්ද? විසල් පිළිම, අධි වර්ණ චිත්‍ර, කැටයම් කණු සහ මාළිගා පියසි වලින් හෙබි මහා විහාරයක ට වඩා මේ දෙව් මැදුර තුළදී දැනෙනනේ හද්දා පිටිසර ගමේ පන්සල ක වැළි මළුව ට වැටී ඇති දිරා ගිය බෝ පතක් දුටු විට දැනෙන ආකාරයේ පහන් හැගීම ක්.

වාස්තු ව්ද්‍යා ශිල්පය තුළින් මිනිසෙකු ට බලකරනවා ට වඩා දැනෙන් ට හැරිය හැකි බවට මෙය කදිම උදාහරණයක්. යාඤාකිරීම සදහා සැළසුම් කර ඇති අවකාශය හිතාමතා ම නිර්මාණකරුවා විසින් එක් පසෙක ට බර කොට ඇත්තේ, මෙතෙක් කල් දෙවියන් ඇදහූ සාම්ප්‍රදායිකත්වය ට සමුදීම ට මෙනි. නමුත් ඒ තුළින් බිහිවන කදිම අසමතුළිත සම්පිණඩනය නිර්භීත ප්‍රකාශනයක්. ලී බංකු කිහිපයෙහි සරළ නිමාව ඒවා එහි ඇති බව පවා අමතක කරන්නක්.

ආසනාගාරය අල්තාරය දෙසට විහිදෙන්නේ දැනෙන නොදැනෙන තරමේ බෑවුමක් සහිතව රළු කළුගල් බිම් ඇතිරුම මතින්. ඉහළින් සිවිළිම නිමවා ඇත්තේ හතරැස් හැඩැති කොණාකාර සරළ කුහර හතර ලී පටි වලින් මනාව ආවරණ ය කිරීමෙන්. පුදුමය නම් මෙයයි. ඔබ සෙමෙන් අල්තාරය අසළ ට පිය මනින විට ඔබ සහ සිවිළිම අතර ඇති අවකාශය ක්‍රමයෙන් විශාල වන බව ඔබට දැනේවි. ඒ පොලොවෙහි සකසා ඇති දළ බෑවුම නිසයි. එම කුඩා දෙව් මැදුර තුළ ඇති ඉතා ම සෞන්දර්‍යාත්මක විශ්මය එයයි. දේවත්වය පාමුල ඔබේ අගුටුමිටි බව ඔබ ම පසක් කර ගන්න.

පන්සලක හෝ පල්ලියක ප්‍රධාන දේව හෝ බුද්ධ පිළිමය එතරම් කුඩාවට සහ සරළව පිහිටුවා තිබීම ඇස් අදහාගත නොහැකිතරමේ සතුටක් ගෙනදෙන්නක්. පිළිමයකට කළ නොහැකි දෙයක් සංවේදීව සැළසුම් කළ අවකාශයකින් කළ හැකි බවට කෙරුණු ආශචර්යමත් අත්හදාබැලීමක් ලෙස එහිදී දැනුණු හැගීම තවමත් හිත තුළ දෝංකාර දේ. කුඩා දේව රූපය වටා සැදි රන් ආලේපිත සරළ වෘත්තය හරියට ම ඒ ඉදිරිපිට සිටගත් විට ඔබ සිත තුළ ඉපිළයන පහන් බවෙහි විශ්මය ම වැනිය. හතරැස් අල්තාරය ඉහළින් ඇති වීදුරු පියස්ස මතින් කඩා හැළෙන ආලෝක වර්ශාව ට තෙමෙන්න. දෙවියන් වෙත ළගා වීමට සංකීර්ණත්වය නමැති පාරෙහි වේගයෙන් දුවනවාට වඩා සරළ බව තුළ නතරවීමෙහි මාර්ගය ඉතා කෙටි බව එවිට ඔබට දැනේවි.

ආගම සහ ආගමික නායකයින් කළයුත්තේ ඉගැන්වීම හෝ පෙරළි කිරීම නොවෙයි ආදර්ශමත් වීම බව මෑතකදි කතා බහකදි කියවුණා. ආගමික ස්ථානයක ගොඩනැගිළි සහ අවකාශ වලිනුත් විය යුත්තේ එය ම බව මට මතක් වුණේ දැන්. දකින දකින හැම තැනම බුදු පිළිම බිහි වෙනවා, ටජ්මහළට වඩා අලංකාර කෑටයම් පිරුණු පන්සල් ඉදිවෙනවා. හැමදේකින්ම කරන්න හදන්නේ බල කිරීම් කරන්න. ආදර්ශදෙන්න (Inspire) කවුරුවත් නැහැ. ගමේ පන්සලේ වැළිමළුව අසළ බෝ පත් සෙවණ යට හිත වත් සන්සුණ් වෙන්න තිබුණා. ධර්ම ය දර්ශනයක් විදිහට තමන් අභිමුවට ගෙන එන පන්සලක ට මිස හිත සුණුවිසුණු කරන පෙරළිකාර ආගමික සාශ්තෘවරුන් අරක්ගත්ත මාළිගා ගැන දෙපාරක් හිතන්න වෙනවා.

මේ සිතුවිලි ඔස්සේ ටිකක් වැඩිපුර හිතන්න පෙළඹුවේ ඒ සරළ දෙව්මැදුර. එහිදී ලද අත්දැකීම මේ ජපන් හයිකුවට සමානයි වගේ දැනෙනවා.

//හන්දියේ ඇහුණා
බණ දෙශනාවක්.
තේරුණේ නෑ තමයි
ඒත් හිත සතුටුයි//

(බණ්ඩාරවෙළ නාසරත් දෙව් මැදුර නිර්මාණය වුණේ වාස්තු විද්‍යාඥ ජෙෆ්රි බාවා මහතා අතින්. වාස්තු විද්‍යාඥ උල්රික් ප්ලෙස්නර් මහතා ඒ සදහා විශාල නිර්මාණ දායකත්වයක් දැකවූ බවද කියවේ.)

සුමුදු අතුකෝරල
(2013 ඔක්තෝබරය)