Sunday, September 15, 2019

පරිමාණ

සාමාන්‍යයෙන් මිනිසුන්, වෙනත් සත්වයන් හෝ වස්තූන් තේරුම් ගන්නා ප‍්‍රධාන සාධකයක් ලෙස පරිමාණය හඳුනා ගැනීමට පුළුවනි. ඉංග‍්‍රීසි භාෂාවේ Scale හෝ Proportion යන වචන මගින් එම අදහස ඉතා හොඳින් ඕනෑම අයෙකුට වටහා ගත හැකි වුවත් සිංහලෙන් එම අදහසම ප‍්‍රකාශ කළ හැක්කේ පරිමාණය හෝ පරිමාව යන වචනවලින් විය යුතුය.

තමන්ගේ ශරීර ප‍්‍රමාණයට විශාල හෝ කුඩා ලෙස අප අනෙකුත් සත්වයන් හෝ වස්තූන් විනිශ්චය කරන්න හුරු වී ඇත්තේ නිතැතින්ම ය. මහ විශාල කඳු ශිඛරයක්, අනන්ත අප‍්‍රමාණ අහස් කුස, ගව් ගණන් ගැඹුරු මුහුද ලෙස අනෙකුත් වස්තූන් තේරුම් ගන්නෝ වෙත්. ඊට අනෙක් පසින්, ඉතා කුඩා වැලි කැටයක්, පුංචිම පුංචි මී මැස්සෙකු හෝ පෙනෙන නොපෙනෙන මල් රේණුවක් වශයෙන් ඉතා කුඩා දේ අබිමුව යෝධයන් සේ නැගී සිටිමු. ගලිවර්ගේ වීර චාරිකාව වැනි පැරණි කතාවකත්, හෝර්ටන් හියර්ස් අ හූ වැනි මෑතකාලීන ඇනිමේෂන් චිත‍්‍රපටයක වුවත් මේ පරිමාණික සංකල්පය අපට විවිධ ආකාරයෙන් අර්ථ ගන්වයි. 

චිත‍්‍ර කලාව, ඡුායාරූපය සහ සිනමාව වැනි රූපය මූලික කරගත් කලාවන් තුළ පරිමාණය යන සංකල්පය නිතැතින්ම වැදගත් ස්ථානයක් ගනී. ඕනෑම චිත‍්‍ර ශිල්පියෙකු තම චිත‍්‍ර සම්පිණ්ඩනය කිරීමේදී එක් එක් වස්තුවට සමස්ත වියමන මත නිසි පරිමාණයක් ලබාදෙන්නේ ඔහුට හෝ ඇයට ප‍්‍රකාශ කිරීමට ඇති හැඟීම පාදක කරගෙනය. 
සැල්වදෝර් දාලි ලෝ ප‍්‍රකට තාත්විකත්වය අබිබවා මායාමය ලොවකට අප රැුගෙන යන චිත‍්‍ර ශිල්පියෙකි. ඔහුගේ චිත‍්‍ර තුළ බහුබූත සත්වයන්, අහසේ පාවෙන ඇස් සහ දියවී වැක්කෙරන ඔරලෝසු අතර පරිමාණය කෙරෙහි ඔහු දක්වා ඇති කැමැත්ත අපූර්වය. යථාර්ථය තුළ ඇති කිසිවක් ඒ ආකාරයෙන්ම චිත‍්‍රයට නැඟීම ඉතා අලස කටයුත්තක් ලෙස සැලකූ දාලි, මායාකාරී ඇතුන් සිහින් සහ උස ලෙසත්, අද්භූත සත්වයන් පාමුල මිනිසුන් පරිමාණිකව කුඩාවටත් සිතුවම් කළේ සුවිශේෂ ප‍්‍රකාශනයක් කිරීම සඳහා විය යුතුය. 
ටාර්සෙම් සිං ඉන්දියානු සම්භවයක් ඇති ඇමරිකානු සිනමාකරුවෙකි. එතරම් කතාබහට ලක් නොවූ ඔයැ ක්‍ැකක සහ ඔයැ ත්‍්කක යන අතිශය සෞන්දර්යාත්මක චිත‍්‍රපට ද්විත්වයේ නිර්මාණකරුවා ඔහුය. ඒ ඒ රූප රාමුවලට අනුව සෞන්දර්යාත්මක බව සහ අර්ථ නිරූපණය සඳහා ඔහු පරිමාණය හෙවත් ඒක එක් චරිතයට හෝ වස්තූන්ට අනුරූපව අවකාශය රූපරාමුවට හසුකර ගැනීම අතින් සුවිශේෂ දක්ෂතාවක් සහ අවධානයක් ඔහු දක්වයි. විශාල අවකාශ තුළ කුඩා ලෙස චරිත පිහිටුවීම මගින් හුදකලා බවක් සහ පේ‍්‍රක්ෂක සිත් තුළ යම් කිසි කුහුලක්, විස්මයක් ඇති වන ලෙස රූපරාමු ගොඩනැගීමට ඔහු ප‍්‍රිය කරයි. 
සර්ජියෝ ලියෝන් ඉතාලි සම්භවයක් සහිතව ඇමරිකානු සිනමාවට ගොඩබැස, ලෝක සිනමාවට සුවිශේෂ චිත‍්‍රපට ජෝනරයක් හඳුන්වා දුන් සිනමාකරුවෙකි. The Good, The Bad and The Ugly සහ For a few dollars more වැනි ගොපලූ හෙවත් ක්‍දඅඉදහ ජෝනරය සිනමාවට හඳුන්වා දුන් පුරෝගාමියෙකි ඔහු. දැවැන්ත, නිමක් නොපෙනෙන මෙක්සිකානු වැලි කතර මැද චිත‍්‍රපටවල චරිත හුදෙකලා කර, විශාල අවකාශය මැද එම චරිත ඉතා කුඩා ලෙස ස්ථානගත කරමින් ඔහු සිනමා රූපය පරිමාණය යන සංකල්පය තුළින් වෙනත් මානයකට ගෙන ගියේය. 
එමෙන්ම 2013 දී අල්ෆොන්සෝ කූරන් විසින් හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් ඇකඩමි සම්මානය දිනාගත් Gravity චිත‍්‍රපටයද මිනිස් ඇසට සාපේක්ෂව පරිමාණය යන සංකල්පය තේරුම් ගැනීමට උදව් වන අලංකාර සිනමා රූපරාමු බොහොමයකින් සමන්විත විය. තම අභ්‍යවකාශ යානයෙන් මිදී, ඈත අඳුරු විශ්වයේ හුදෙකලාව පාවී යන සැන්ඩ‍්‍රා බුලොක් අපට කියා දෙන්නේ මුළු මහත් විශ්වයේම පරිමාණයට අනුව අපේ කුඩා ලිලිපුටු බව නොවේද? 
දැන් අපි සිනෙමායාවෙන් මිදී, වැළකී සිටිය නොහැකි කලාත්මක විද්‍යාව, ආර්කිටෙක්චර් දෙසට හැරෙමු. ආර්කිටෙක්චර්වලදී, ගොඩනැගිල්ලක් හෝ අභ්‍යන්තර අවකාශයක් මිනිසා විසින් වටහා ගන්නට හේතු සාධක වන මූලිකම ලක්ෂණයක් වන්නේ පරිමාණයයි. මිනිසාගේ ඇසට අනුව, ගොඩනැගිල්ලක බාහිර පෙනුමෙහි විශාලත්වය හෝ කුඩා බව ඔහු දුර සිටම අත්දකී. එම විනිශ්චය මත එම ගොඩනැගිල්ල යම්කිසි සංඥාවක් මිනිසා තුළ උපදවන අතර මිනිසා එම ගොඩනැගිල්ල සමග ඇති කරගන්නා පළමු ගනුදෙනුව එයයි. මිනිසා යටහත් පහත් තැනැත්තෙකු බවට පත්කරමින් විසල්, ගොළු යෝධයන් ලෙස සමහර ගොඩනැගිලි ඔරවාගෙන සිටින අතර, ඇතැම් නිහතමානී ගොඩනැගිලි මිනිසාගේ සිතට පහන් හැඟීම් දනවා ඔවුන් ආදරයෙන් පිළිගනියි. 

දැවැන්ත චෛත්‍ය, දෙව්මැදුරු හෝ රාජ්‍යත්වයේ ඔද තේජසින් පිම්බී සිටින පැරණි පූජනීය ගොඩනැගිලි සහ රජමාලිගා ඉදිරිපිටදී, ඔබ ඉතා සුහුඹුල් මිනිස් ප‍්‍රාණියෙකු බවට පත්කර, ඒ ගොඩනැගිලි තුළ ජීවත් වන්නේ සාමාන්‍ය මිනිසාට වඩා බල පරාක‍්‍රමයෙන් සපිරි සුවිශේෂී ජීවීන් පිරිසක් බව ඇස්පනාපිට හඬගා නොකියන්නේද? රුවන්වැලි සෑ මළුවේ ආලෝකමත් ශ්වේත වර්ණ මතුපිට ඉදිරියේදීත්, ජේතවන සෑයේ පාංශු පැහැ දැවැන්ත බව අබියසදීත්, ඔබට ඔබේ කුරාකුහුඹු මිනිසත් බව පසක් නොවේද? 

රාජ්‍යත්වය විසින් ආගම පළිහක් ලෙස යොදාගෙන යම්කිසි දේශපාලනික අරමුණු වෙනුවෙන් ගොඩනැගිලි භාවිත කළත්, සමහර විට ඒ දේශපාලනික අභිලාෂයේ එකම හොඳ, අනාගතය පවා පුදුම කරවන සුවිශේෂ මෙන්ම අලංකාර ගොඩනැගිලි රටකට දායාද වීම විය හැක. රෝමයේ විශාල බැසිලිකා දේවස්ථානයත්, ඊජිප්තු පිරමීඩත්, අග‍්‍රාවේ ටජ් මහලත් එසේ ගෘහනිර්මාණ ශිල්පයේ ප‍්‍රධාන සංකල්පයක් වන ‘පරිමාණයේ’ අපූර්වත්වයෙන් දේවත්වය සහ රාජ්‍යත්වය මූදුන්පත්කොට සෙසු මිනිස් සංහතියම ලිලිපුට්ටන් බවට පත්කළ ඓතිහාසික සංධිස්ථානයන්ය. 

ලංකාවේ පැරණි සහ අලූත් පාර්ලිමේන්තු ගොඩනැගිලි ආශ‍්‍රිතව එම අදහස ඔස්සේ කල්පනා කළහොත් ආර්කිටෙක්චර් තුළ පරිමාණය යන සංකල්පයට අදාලව දේශපාලනික අදහසක් ගොනුකර ගැනීමට ඔබට අපහසු නොවනු ඇත. 

ගාලූමුවදොර පිටිය අබිමුව ෂැන්ග‍්‍රිලා සහ සෙසු කොන්ක‍්‍රීට් යෝධයන් පතිත වන්නට පෙර එහි තේජාන්විතව නැගීසිටි විශාල රෝම කුලූනුවලින් තම සිරස ඉහළට ඔසවාගෙන සිටි පරණ පාර්ලිමේන්තු යෝධයා ඔබට මතකද? අමතක නම් අදටත් එහි ගොස් මහා හෝටල් සේනාව අස්සේ තමන්ට හිමි අභිමානය අහිමි වී යන බියෙන් වැළපෙන ඒ යෝධයාගේ දුකට ඇහුම්කන් දීමට ඔබට හැකි වනු ඇත. පරණ පාර්ලිමේන්තුව මෙන් රෝම කුලූනු හෝ සෙල්මුවා ගතියකින් ඔබ ඉදිරියේ පරිමාණිකව ඉහළ එසවී නොසිටියත්, අලූත් පාර්ලිමේන්තුව දියවන්නා දිය තලය මත සාමාන්‍ය ජන ජීවිතයෙන් එපිට ඉහත්තාවක ස්ථානගත කිරීමේ දී බාවා මහත්තයාට ආර්කිටෙක්චර්, පරිමාණය සහ ඒ පිටුපස දේශපාලනික මතිමතාන්තර බල නොපාන්නට ඇතැයි සිතීමට මම මැලිකමක් දක්වමි. තරමක විශාල ගොඩනැගිල්ලක් ජලය මත විශාල පරාවර්තිත සෙවණැලි පතිතවන පරිදි සාමාන්‍ය මිනිසාට තරමක් ඈත ¥පතක පිහිටුවීම ආර්කිටෙක්චර්හි පරිමාණය යන සංකල්පය, දුර සහ ළඟ යන අර්ථ ඔස්සේ තේරුම් ගැනීමට හොඳ උදාහරණයකි. 

ජපානයේ සෙන් පන්සලක්, ඈත පිටිසර ගමක ඉතා පැරණි කුඩා පන්සල් බණ මඩුවක් හෝ කරගහගෙදර අම්බලම වැනි නිහතමානී, සිත් පහන් කරවන සරල ගොඩනැගිල්ලක ආකෘතියක් ඔබ ඉදිරියේ සිටගෙන සිටින ආකාරය ඔබට දනවන මිත‍්‍රත්වය පිටුපස සිටින්නේත් ගොඩනැගිලි නිර්මාණ ශිල්පයේ අපූර්ව සංකල්පය, පරිමාණය වේ. 

භාවිතමය කලාවක් ලෙස ආර්කිටෙක්චර් තුළදී පරිමාණය යන අදහස වඩාත් බලාත්මක වන්නේ, අභ්‍යන්තර අවකාශ නිර්මාණය සහ පරිභෝජනය ආශ‍්‍රිතවය. 

ආර්කිටෙක්චර්හි ආත්මය පිහිටන්නේ ගොඩනැගිලි අභ්‍යන්තරය තුළය. ත්‍දරප දෙකකදඅි මෙබජඑසදබ යන කියමන ලොව පුරා වාස්තු විද්‍යාඥයන් බොහෝමයක් එකඟවන සහ තම නිර්මාණකරණයේ දී සැලකිලිමත් වන සංකල්පයකි. ගොඩනැගිල්ලක අභ්‍යන්තර අවකාශයන්හි භාවිතය ඒ ඒ ගොඩනැගිලිවල බාහිර ආකෘතිය තීරණය කරනවා යන්න එම පිළිගැනීමයි. ඕනෑම අභ්‍යන්තර අවකාශයක දිග, පළල සහ උස එකතුව ගොඩනැගෙන පරිමාව එම අවකාශය තුළ සිටින මිනිසාගේ ආර්කිටෙක්චර් අත්දැකීම සම්පූර්ණ කරයි. 

දැන් අපි විසල් දෙව්මැදුරක අභ්‍යන්තර අවකාශයක අත්දැකීම ගැන විමසා බලමු. ඔබ එහි අභ්‍යන්තරයට ඇතුළු වනවාත් සමගම ඔබ අත්විඳින අත්දැකීම කුමක්ද? මහල් හතරක් හෝ පහක් උසැති දැවැන්ත අවකාශයක ඔබේ කුඩා බව ඔබ පසක් කර නොගන්නේද? දෙවියන් වහන්සේගේ මහා ගුණ බල ඉදිරියේ ඔබට පිහිට සහ ආරක්ෂාවත්, ඔබේ පව් කමා කරගත හැකි බවටත් ආර්කිටෙක්චර් හරහා ඔබට ඒත්තු ගැන්වීමට ගත් උත්සාහයකි ඒ. 
කලාගාරයක හෝ කෞතුකාගාරයක එහි ඇති කලාකෘති හෝ ඓතිහාසිකව වටිනා කියන දෑ නිදහසේ අත්විඳීමට ඔබට නිදහස් බවත්, සුවපහසුවත් අත්කර දීම සඳහා එවැනි ගොඩනැගිල්ලක බොහෝ අවකාශ ඒවායේ නිර්මාතෘ වාස්තු විද්‍යාඥයන් විසින් නිතැතින්ම පරිමාණිකව විශාල ලෙස සැලසුම් කෙරේ. විශාල පිරිසක් එක්වර එම අවකාශවල ගැවසීම එයට ප‍්‍රායෝගික හේතු සාධකය ලෙස පෙනී යතත්, පෞරාණික පිළිම, නටබුන් සහ ශ්‍රේෂ්ඨ කලාකෘති, සිතුවම් සහ පිළිරූවලට සාමාන්‍ය මිනිසාට වඩා තේජාන්විත බවක් ලබාදීම සඳහා එම අවකාශවල පරිමාණය විශාල වෙන්න ඇතැයි ඔබ කිසි දිනක සිතුවාද? 
ඔයැ ්‍යදකදජ්මිඑ ලෙස හඳුන්වන ලෝක ඉතිහාසයේ මහා කළු පැල්ලම, දෙවන ලෝක යුද සමයේදී නාසි හමුදාව විසින් යුදෙව් ජාතිකයන් මිලියන හයක් ඝාතනය කිරීමයි. එහිදී ඝාතනය වූ යුදෙව් ජාතිකයන් සිහිවීම පිණිස, ජර්මනියේ බර්ලින් නුවර ඉදිවුණු යුදෙව් කෞතුකාගාරය ලෝකයට බිහිවුණු ඉතා සුවිශේෂ ස්මාරක ගොඩනැගිල්ලකි. ඩැනියෙල් ලිබෙස්කයින්ඞ් (ෘ්බසැක ඛසඉැිනසබා* අතින් නිර්මාණය වූ මෙම ගොඩනැගිල්ල තුළදී, 
හොලොකොස්ට්හි භයංකාර බවත්, වේදනාවත්, පීඩනයත් ඒ තුළ ඇවිදයන්නෙකුට අත්විඳින්න සලසා ඇත්තේ, බිත්තිවල එල්ලූ ඡුායාරූප හෝ පිළිමවලින් නොවේ. එහි අභ්‍යන්තර අවකාශවල පිහිටුවීම, පරිමාණය සීමා කරමින් පීඩාකාරී ආතතියක් නිර්මාණය කිරීම, ආලෝකය සහ අඳුර සූක්ෂ්මව පාලනය කිරීම වැනි නිර්මාණාත්මක ක‍්‍රමවේද මගිනි. 

ඉතා උස් නමුත් පරිමාණිකව පටු අඩ අඳුරු අවකාශයක විටෙක ඔබට තනිවීමට සලස්වා ඇති අතර, ඇතැම් තැනක පටු පඩිපෙළක් ඉහළින්, අපිළිවෙළට ඒ මේ අත යැවූ කොන්ක‍්‍රීට් කදම්බ ඔබ තුළ දරාගැනීමට අපහසු පීඩාකාරී බවක් ඇති කරයි. අභ්‍යන්තර අවකාශ නිර්මාණය තුළදී පරිමාණිකව අවකාශ, උස්, පහත්, පළල් සහ පටු කරමින් සංවේදී අත්දැකීමක් නිර්මාණය කිරීම සඳහා ඇති සුවිශේෂ ගොඩනැගිල්ලක් ලෙස මෙම බර්ලින් යුදෙව් කෞතුකාගාරය ආර්කිටෙක්චර් ඉතිහාසයේ නිසි තැන දිනාගෙන හමාරය. 
ලාංකීය පාරම්පරික ගොඩනැගිලි කලාව තුළ පරිමාණය යන අදහස බොහෝ විට භාවිත කර ඇත්තේ, අභ්‍යන්තර අවකාශ තුළ සුවපහසු සහ පහන්බවක් ආරෝපණය කිරීම සඳහා යැයි මගේ හැඟීමයි. දැනට සාක්ෂි ඉතිරිව පවතින, යාපහුව සහ නුවර යුගයන්හිදී ආගමික නොවන බොහෝ ගොඩනැගිලි ඇතුළත උස සහ දිග පළල ආසියාතික මිනිස් සිරුරේ ප‍්‍රමාණයට අනුරූපව ඉතා කුඩා හෝ අත්‍යවශ්‍ය ප‍්‍රමාණයකට සීමාවෙයි. අම්බලම් සහ නිවාසවල ඇතුළත උස මිනිස් හිස් මට්ටමට ආසන්න වීම එම ගොඩනැගිලි මිනිසාට මිත‍්‍රශීලී බවක් ලබා දෙයි. ස්වාභාවික සහ දේශගුණික කාරණා නිසා පියසිවල පිහිටීම තීරණය වුවත්, ඇතුළත උස සහ පරිමාණය පිළිබඳව සුවපහසු බව ඉස්මතු කරවන ඔවුන්ගේ ම පරිමාණික මිනුම් දඬු ඔවුනට තිබෙන්නට ඇතැයි අනුමාන කළ හැක. 

යටත්විජිත කාල සමයන් අතරින්, වාස්තු විද්‍යාත්මක අතින් ලාංකික ඝර්ම කලාපීය දේශගුණයට අනුව තම යුරෝපීය ආර්කිටෙක්චර් අදහස් අපූරුවට සංකලනය කර ගත් ලන්දේසීන්, ඇතුළත අවකාශ නිර්මාණය තුළදී පරිමාණ සංකල්පය තේරුම් ගත් ආකාරය අලංකාරය. ලාංකික පාරම්පරික අවකාශ, යුරෝපීය මානව උසට සරිලන ලෙසත් දේශගුණික සාධකයන්ට උචිත ලෙසත් නිර්මාණය කරගත් ඔවුහු, පසුකාලීනව ලාංකික ආර්කිටෙක්චර් ලකුණ සටහන් කළ ජෙෆ්රි බාවාට පවා අනුභූති සපයන ගොඩනැගිලි කලාවක් බිහි කළෝය. 

කෙසේ වෙතත් ආර්කිටෙක්චර් නිර්මාණයකදී එහි පරිමාණය එහි නිර්මාණකරුවා විසින් තීරණය කෙරෙන්නකි. ගොඩනැගිල්ලක භාවිතය සහ භාවිත කරන්නන්ගේ ගතිසොබා අනුව ඒ ඒ අවකාශවලට අනුකූලව සහ අවකාශ එකිනෙකට සම්බන්ධ කිරීම වැනි කරුණු මත ඒවායේ පරිමාණය තීරණය වේ. කුඩා වැරැුන්ඩාවකින් ඇතුළු වී ඊළඟට ද්විත්ව උසකින් සමන්විත අවකාශයකට ඇතුල්වීම මගින් මිනිසා තුළ සරල ආශ්චර්යයක් ඇතිකළ හැක. නිවසක නම් ආලින්දය හෝ කෑම කාමරය වැනි පොදු අවකාශයක් ද්විත්ව උසකින් යුතුව ඉහළ මහල පහළ අවකාශ සමග මුසුකිරීම, පරිමාණය යන සංකල්පය මත ගන්නා තීරණයකි. 

විවෘත සහ සංවෘත, ඕනෑම අවකාශයක් තුළ මිනිසා එම අවකාශය අත්විඳීමට කියවාගන්නා ප‍්‍රධාන සාධකයකි පරිමාණය. මුහුදු වෙරළක දැවැන්ත අහස් කුස අබියස දීත්, කුඩා කුටියක පටු පියස්සක් යටදීත් ඒ ඒ පරිමාණයට අනුව මිනිසාගේ හැඟීම් තීරණය වේ. ආර්කිටෙක්චර් තුළ ඇති මිනිසාගේ හැඟීම් අභිවෘද්ධිය, ඔවුන් කුඩා මට්ටමකින් හෝ වෙනස් මානයකින් සිතන්නට සැලැස්වීම සඳහා නම්, පරිමාණය යන සංකල්පය බැහැර කටයුතු නොහේ.

සුමුදු අතුකෝරල

කොටු

මේ ලොව තුළ යම්කිසි නිදහස් දෙයක් සීමා කිරීම හෝ තහනම් තහංචි දමා සිරකිරීමට භාවිත කරන්නේ කොටු ය. එළවළු කොටු, ඉස්සො කොටු, හරක් කොටු, සිර කොටු, බල කොටු යනාදි මෙකී නොකී සියලූම කොටුවලින් කෙරෙන්නේ යම්කිසි නිදහස් දෙයක්, සත්වයෙකු හෝ පිරිසක් කොටු කිරීමයි. ඇතුළත පවතින දෙයක් එයින් බාහිර පරිසරය සමඟ මුසුවීමට ඇති නිදහස අහුරමින් කොටු සංවෘත අවකාශයන් නිර්මාණය කරයි. විටෙක එය බාහිර ආපදා අනතුරු ඇතුළට නොපැමිණෙන ලෙස ආරක්ෂිත අවකාශයක් නිර්මාණය කරයි. කිසියම් කෙනෙකු කොටු අදහස්වලින් එපිට සිතන්නේ නම් ඒ ‘අවුට් ඔෆ් ද බොක්ස්’ සිතීමකි. තවත් කෙනෙකු තමන්ගේ කොටු සීමා පැන කටයුතු කරයි නම්, එය ‘කොටු පැනීම’කි. 

ක‍්‍රීඩාවේදී නම් තමන්ගේ සීමා කොටු ඉක්මවා ගොස් ක‍්‍රීඩා කිරීම තහනම් දෙයකි. දාං හෝ චෙස් ක‍්‍රීඩාවලදී තම ඉත්තන් එක එක කොටු හරහා ඉදිරියට ගෙනගොස් ඔබට තරගයක් ජයග‍්‍රහණය කළ හැක. 

ලොව සෑම රූප මූලික කලාවක්ම කොටුව හෝ රාමුව සමග තම සීමාවන් තීරණය කරගනී. චිත‍්‍රයක රාමුව ඒ තුළට දත්ත හෝ හැඟීම් ගලාඒම සීමා කරයි. චිත‍්‍ර ශිල්පියාට තම නිදහස් සිතුවිලි, අසීමිත සිහින චිත‍්‍රයට නැඟිය හැකි වෙතත් අවසන ඒ සමස්ත හැඟීම හෝ සිහින එක රාමුවක් තුළට ගොනුකළ යුතුය. දක්ෂ ඡුායාරූප ශිල්පියෙකු බාහිර පරිසරයේ ඇති දෑ ඉතා සූක්ෂ්ම ලෙස තම කැමරා කාචයට සම්පිණ්ඩනය කරමින් නියම මොහොතේ දී කැමරා බොත්තම ඔබා තමාට අවශ්‍ය රූපය කැමරා රාමුවකට ගොනුකර ගනී. සිනමාකරුවකුටද මෙහිදී වැඩි වෙනසක් නැත. තමන්ගේ කෘතියට අදාළ චරිත සහ වස්තූන් රූප රාමුව තුළ මනාව ස්ථානගත කර ඔහු එය චලන රූප ලෙස තම සිනමා කැමරාව තුළ සටහන් කර ගනී. 
තමන්ගේ ජීවිතයෙන් බොහෝ කාලයක් එකම කාමරයකට සහ සයනයකට කොටුව සිටි ෆ‍්‍රීඩා කාලෝ තම උකුල මත තබාගත් කුඩා කොටු රාමු තුළ, තම අසීමිත සිහින සහ තමන්ගේ කුඩා කොටුවෙන් එපිට ශෝකබරිත වුවත් විශ්වීය රූප චිත‍්‍රයට නැඟුවාය. සැල්වදෝර් දාලිට තම කොටු චිත‍්‍ර රාමු ඔහුගේ සිහින යථාර්ථයට පමුණුවන විශ්වයට විවරවුණු කවුළු මෙන් විය. 
පීටර් ජැක්සන්, ගුයිලෙර්මෝ ඩෙල් ටෝරෝ සහ දන්නා හඳුනන ස්ටීවන් ස්පිල්බර්ග් වැනි සිහින සිනමාකරුවෝ කුඩා කොටුවක් වැනි සිනමා රූප රාමුවට නිමක් නැති සිහින පාරාදීස ගොනු කළෝය. 

ඒ සෑම කලාකරුවෙකු ම කොටු වූයේ තමන්ගේ කලා මාධ්‍යයේ තාක්ෂණික සීමා මායිම්වලට මිස තමන්ගේ පරිකල්පනීය හැකියාවට නොවේ. 
මානව පරිණාමයේ එක් වැදගත් අවස්ථාවකදී ඒ ප‍්‍රාග් ඓතිහාසික මානවයන් මොනයම් හෝ සංවෘත අවකාශයක් තුළ තම විවේකී කාලය ගතකළ යුතුයැයි ගත් තීරණය ම නිදහස් සහ අසීමිත අවකාශයකින් කුඩා කුටුම්බයක් කොටුකර ගැනීමකි. එය තමන්ගේ සුවපහසුව, ආරක්ෂාව හෝ අනන්‍යතාව වෙනුවෙන් ගත් තීරණයක් විය හැක, එහෙත් එම තීරණය මුළු මහත් මානව ශිෂ්ටාචාරය ම පෙර නොවූ විරූ වෙනසක් කරා ගෙන ගියේය.
පළමුව ස්වභාවික ගල්ගුහාවලින් ඇරඹී පසුව කොළ අතු, රිටි, ලී, මැටි, ගල්, වැලි, සිමෙන්ති, ගඩොල්වලින් යකඩ, වීදුරු සහ මෙකී නොකී අමුද්‍රව්‍ය රාශියක් හරහා මිනිසා තම කොටු කරගත් අවකාශ ගලනයකට හසුව පාවී ගියේය. 
සංකල්පීයමය වශයෙන් ගත් කල, ඕනෑම ගොඩනැගිල්ලක සැලැස්මක් යනු අසීමිත ස්වාභාවික පරිසරයෙන් කිසියම් සීමිත අවකාශයක් කොටුකර ගැනීමකි. එවැනි කොටු කරගැනීමක් බොහෝ විට ජ්‍යාමිතික කොටුකර ගැනීමකි. අධිශීත දේශගුණ රටාවක් තුළ උෂ්ණත්වය ගොනු කරගැනීමට උපකාර වන පරිදි සැලසුම් කරගන්නා ඉග්ලූ නිවෙස් සහ සෑම ආගමක මෙන්ම පූජනීය ගොඩනැගිලි ඇරෙන්නට අනෙකුත් සෑම ගොඩනැගිල්ලක ම සැලැස්ම කොටු හැඩයක් ගනී. 

ආගමික ගොඩනැගිලිවල වෘත්තාකාර හෝ ගෝලාකාර ආකෘති පිහිටුවීම ඇරඹී ඇත්තේ අද ඊයේ නොවේ. අනන්තය, මුලක් මැදක් හෝ අගක් නොමැති බව අර්ථ ගැන්වීම සහ මුළු විශ්වයටම පොදු ධර්මතාව වැනි අදහසක් කැටිව ප‍්‍රසිද්ධ ආගම් සියල්ලටම අදාළ ගොඩනැගිලි තුළ වෘත්තාකාර සහ ගෝලාකාර අවකාශ නිර්මාණය වී ඇත. පුදුමයට කරුණ නම් ඒ සියලූම ගොඩනැගිලි ඒවායේ සැලැස්ම තුළ නැවත කොටු ඇතුළතට කොටුවී තිබීමයි. 

මිනිසා හැරුණු විට අනේකවිධ සත්වයෝ තමන්ගේ වාසස්ථාන ස්වාභාවික හැඩයන්වලින් නිර්මාණය කර ගනිති. කුරුලූ කූඩු, වේ තුඹස් හෝ දිමි කූඩු පවා විවිධ ස්වාභාවික හැඩවලින් යුතු වුවත්, කොටු ජ්‍යාමිතික හැඩ සහිතව වාසස්ථාන නිර්මාණය කරන්නේ මිනිසා පමණි.

පුරාණ ග‍්‍රීක, රෝම, ඊජිප්තු සහ හින්දු ගොඩනැගිලි සඳහා පවා විවිධ ගණිතමය ශිල්ප ක‍්‍රම භාවිත විය. විවිධ ආගමික අවශ්‍යතා සහ ගොඩනැගිලිවල විසිතුරු හැඩතල නිර්මාණය සඳහා එම ගණිත ක‍්‍රම බොහෝ සෙයින් උපකාරි වී ඇත. පසුකාලීනව, පුනරුද යුගයෙන් පසු ගොඩනැගිලිවල ජ්‍යාමිතිය සහ සමානුපාතික බව ඉතා වැදගත් අංගයක් ලෙස සලකන්නට විය. විවිධ තාක්ෂණික කරුණු නිසා ආර්කිටෙක්චර් යනු කලාවක් සහ විද්‍යාවක් ලෙස දෝලනය වෙමින් වර්ධනය විය. 
බොහෝ විට වාස්තු විද්‍යාඥයකු ඕනෑම සැලැස්මක් සඳහා පැන්සල කොළයක් මතට තබන්නේ ඉරකින් ඒ සැලැස්ම ආරම්භ කරමිනි. දෙවනුව එම කුරුටු සැලැස්ම කොටු බවට පත්වෙයි. එක කොටුවක් තවත් කොටුවකට හෝ කිහිපයකට සම්බන්ධ වෙමින් ගොඩනැගිල්ලක සැලැස්ම ක‍්‍රමානුකූලව නිමවෙයි. 
එය ගොඩනැගිල්ලක සැලැස්ම ලෙසත් පසුව එක් එක් මහල් ලෙසත් කොටු ලෙස සම්බන්ධ වී ගොඩනැගිල්ලක ආකෘතිය නිර්මාණය වෙයි. 
බොහොමයක් ගොඩනැගිලිවල ආකෘතිය කොටුය, හතරැුස් ය. අහස් කිට්ටුවටම නැගී එසවී සිටින කොන්ක‍්‍රීට් යෝධයන් දෙස බලන්න, ඒවා ඉතා උස පෙට්ටි කොටු නොවේද? ඒවායේ තට්ටු වෙන වෙනම ගත් කල කුඩා කොටු නොවේද? අවට සිදුවන සියලූම ඕපා¥ප ගැන ඇස ගසාගෙන සිටින ඔවුන්ගේ ඇස්, ජනේල, ඒවාත් හතරැුස් නොවේ ද? තනි මහලක හෝ දෙමහල් ගොඩනැගිල්ලක් වුවත් වැඩි වෙනසක් නැත, බෑවුම් වහල ඇරෙන්නට අනිත් සෑම සියලූ දෙයම කොටුය. 
ගොඩනැගිල්ලක බාහිර අලංකාරය, එහි පෙනුම මිනිස් ඇසට සෞම්‍ය ලෙස පැවතීමට මෙම කොටු හැඩ ඉතාම වැදගත්ය. එක කොටුවක් තවත් කොටුවකට දක්වන ප‍්‍රමාණික සමානකම හෝ අසමානකම එම ගොඩනැගිල්ලේ පරිමාණය සහ සම්පිණ්ඩනය වැනි සංකල්පවලට තීරණාත්මකව බලපෑම් කරයි. දක්ෂ වාස්තු විද්‍යාඥයෙකු ගොඩනැගිල්ලක උස, පළල සහ එහි මතුපිට මත පිහිටුවන සෑම දොරක්ම, ජනේලයක්ම ඉතා පරිස්සමින් නිර්මාණය කරන්නේ, ගොඩනැගිල්ලක විනයගරුක බව මේ සෑම දෙයක් නිසාම තීරණය වන බැවිනි. 
ආර්කිටෙක්චර් විෂයේ දී ීදකසා ්බා ඪදසා රුක්එසදබියසච හෙවත්, ‘විවෘත සහ සංවෘත බව අතර අනුපාතය’ ගොඩනැගිල්ලක සුන්දරත්වය කෙරෙහි දක්වන්නේ සුළුපටු දායකත්වයක් නොවේ. එමෙන්ම එයින් යම්කිසි ගොඩනැගිල්ලක් කුමන භාවිතාවක් සඳහා ගොඩනගන ලද්දේ ද යන්න ගැන එය දකින කෙනෙකුට දුර තියාම ඉඟි පළකරයි. ඒ ජනෙල් කොටුවල ප‍්‍රමාණය, පිහිටීම සහ පිළිවෙළ එය නේවාසික ගොඩනැගිල්ලක් ද, ව්‍යාපාරික ස්ථානයක්ද, කර්මාන්ත ශාලාවක් ද නැතිනම් ගබඩාවක් ද යන්න ගැන ආර්කිටෙක්චර් ගැන විෂයාත්මක හැදෑරීමක් නැති අයෙකුට වුවත් නිවැරදිව තක්සේරු කර ගැනීමට උපකාරී වේ. පැහැදිලි පිළිවෙළක් සහිතව එකකට එකක් නිවැරදිව පහළින් හෝ පසෙකින් ජනේල පිහිටුවන්නට වාස්තු විද්‍යාඥයකු උත්සාහ ගන්නේ එම ගොඩනැගිල්ලේ බාහිර පෙනුම සඳහා විනයානුකූල බවක් එක් කිරීම උදෙසාය. 
කොළඹ නගරයට අලූතෙන්ම එකතුවන කඩවසම් කොන්ක‍්‍රීට් ඉලන්දාරියා ඔබ දුටුවා ද? ‘අල්ටෙයා’ කුලූන! කුලූනු දෙකකින් යුත් එම ගොඩනැගිල්ලෙහි, එක් කුලූනක්, විවේකශීලීව අනිත් කුලූනට හේත්තුවක් දමාගෙන, ඇදවී සිටින්නේ එම ගොඩනැගිල්ල නිරූපික හෙවත් ෂජදබසජ ගොඩනැගිල්ලක් බවට පත්කරමිනි. එහෙත් එහි කොටු හැඩැති ජනෙල් සහ අනෙකුත් විස්තරයන් දෙස බලන්න, ඒවා ඉතා පරිස්සමින් එකිනෙකට සමාන ලෙස පෙළගස්වා ඇති බැවින් එම ගොඩනැගිල්ලට කොතරම් විනයක්, පිළිවෙළක් සහ ආර්කිටෙක්චරල් සෞන්දර්යයක් එක්කරනවාද?

ආර්කිටෙක්චර් ඉතිහාසය තුළ පළමු පශ්චාත් නූතනවාදී ගොඩනැගිල්ල ලෙස බොහෝ අය විශ්වාස කරන සහ තවත් සමහරුන් පළමු ප‍්‍රකාශනවාදී ගොඩනැගිල්ල සලකන ප‍්‍රංශයේ රොන් චැම්ප් දෙව් මැදුර1955* මෙම ජ්‍යාමිතික කොටු සංකල්පය මායිම් නොකර නිර්මාණය වූ කදිම ගොඩනැගිල්ලකි. එහි සැලැස්ම තුළට කොටු සංකල්පය අහකලටවත් ගාවා නොගත් වාස්තුවිද්‍යාඥ ලෙ කොබුසියර් නිදහස් කවාකාර හැඩවලින් එහි සැලැස්මට අපූර්වත්වයක් එක්කළේය. අපි ඉහත කතාකළ එකිනෙකට සමාන කොටු හැඩැති ජනෙල් පිළිවෙළක් සහිතව පෙළගැසීම යන සංකල්පය බැහැර කරමින් කොබුසියර් අපිළිවෙළ සහ විවිධ ප‍්‍රමාණවලින්, කුඩා කවුළුවලින් එම ගොඩනැගිල්ල සිදුරු කළේය. අවසාන ප‍්‍රතිඵලය වූයේ අපිළිවෙළ, අසංවර ගොඩනැගිල්ලක් නොවේ; නූතනවාදී ගුණාංගවලින් හෙබි අපූරු ගොඩනැගිල්ලකි. ඒ එහි සංකල්පීය ලක්ෂණවලට අනුකූලව, කොබුසියර් ඒ ඒ විස්තරයන්, අනුපාතයන් කදිම රිද්මයක් සහිතව සමස්ත නිර්මාණය තුළ පරිස්සමින් පිහිටුවූ නිසාවෙනි. 
ඊට සමකාලීනව නිව්යෝර්ක් නගරයේ ඉදිවූ ‘ගුගන්හයිම් කෞතුකාගාරය’ 1957* නිර්මාණය වූයේ ලෝ ප‍්‍රකට වාස්තුවිද්‍යාඥ ෆ‍්‍රෑන්ක් ලොයිඞ් රයිට් විසිනි. එයත් සංකල්පීය තලයේදීම කොටු හැඩය බැහැර කළ තවත් අපූරු මෙන්ම දුර්ලභ අවස්ථාවකි. එහෙත් ෆ‍්‍රෑන්ක් ලොයිඞ්ගේ නම නූතන ආර්කිටෙක්චර් ඉතිහාසයේ රනින් ලියවූ ‘ෆෝලින්ග් වෝටර්’ , 1935* ආර්කිටෙක්චර් තුළ කොටු සහ හතරැුස් හැඩයන්ට ඇති බැඳීම පසක් කරවන ලොව ජනප‍්‍රියම නිවසයි. 
එක උඩ එක රැුඳවූ දිගු කොන්ක‍්‍රීට් පෙට්ටි කිහිපයක් මෙන් දුරට දිස්වන ෆෝලින්ග් වෝටර් නිවස සැලැස්ම සහ බාහිර පෙනුම යන දෙයාකාරයෙන්ම කොටුව යන සංකල්පය තහවුරු කරන ගොඩනැගිල්ලකි. එමෙන්ම එය නූතන ආර්කිටෙක්චර් ගලනයක උල්පත ලෙස හැඳින්වීමේ වරදක් නොහේ. 
දැන් අපි ගොඩනැගිලි අභ්‍යන්තරයට පිවිසී බලමු. බොහෝ විට ගොඩනැගිල්ලක අභ්‍යන්තර අවකාශයක් යනු හතරැුස් පෙට්ටියකි. පහළින් කොටු හැඩැති බිමයි, එය සතර අතින් කොටුකර ගත් බිත්ති හතරකි. එහි එක් බිත්තියක හෝ බිත්ති කිහිපයක තවත් කොටු ජනෙල් සහ දොරවල් ය. ජනෙල් යනු අභ්‍යන්තර අවකාශ බාහිරට එකතුකරවන දෑය. පිටත ස්වාභාවික ආලෝකය, වාතාශ‍්‍රය ඇතුළතට රැුගෙන එන අතරම තවත් ප‍්‍රධාන කරුණක් වන්නේ, ජනෙල් තුළින් අප බාහිර පරිසරය දර්ශනයක් ලෙස අත්විඳීමයි. සරලව කිවහොත් ඉතා සූක්ෂ්ම ලෙස රාමුකරන ලද සජීවී චිත‍්‍රයක් හෝ ඡුායාරූපයක් ලෙස අපි බාහිර පරිසරය ජනෙල් හරහා අත්විඳින්නෙමු. 
නිවැරදි ජ්‍යාමිතියෙන් යුතුව පිළිවෙළක් සහිතව එම ජනෙල් ස්ථානගත කිරීම ඉතා වැදගත් වන්නේ එබැවිනි. එවැනි විවරයක් වසන ජනෙල් පියන්වල බෙදීම, වීදුරු, ලී හෝ භාවිත කරන අමුද්‍රව්‍යවල ප‍්‍රමාණය, පරිමාණය සහ සම්පිණ්ඩනය මෙහිදී ඉතා වැදගත් රාජකාරියක් ඉටුකරයි. ලොකු කොටු තුළ කුඩා කොටුවල පිහිටීම, එම අභ්‍යන්තර අවකාශයටත්, මුළු ගොඩනැගිල්ලටමත් පරිමාණිකව අනුකූල වීමත්, එම විස්තරයන් සමස්ත සංකල්පයට අදාළව නිර්මාණය වීමත් ඉතා වැදගත් වන්නේ එබැවිනි. 
කොටු හැඩතලවලින් යුතු ගොඩනැගිල්ලකට මල් රටා රූ විස්කම් සහිත බාස් දස්කම් නොගැළපෙන්නේ එබැවිනි. සරල ජ්‍යාමිතියකින් යුත් නිවසකට පල පහේ, හයේ හෝ දොළහේ පහළොවේ ඔටුනු වහල නොගැළපෙන්නේ ද එබැවිනි. කොටු රටාවල සරල ජ්‍යාමිතියත්, එය එකින් එකකට සම්බන්ධ වන රිද්මයත් මහා සංකල්පය එහි චූල සංකල්ප වෙත බලපවත්වන සීමාවත් වෙත සංවේදී වන වාස්තු විද්‍යාඥයකු හෝ වෙනත් ඕනෑම නිර්මාණාත්මක කලාවක නියැලෙන නිර්මාණ ශිල්පියෙකු ඉතා හොඳ නිර්මාණ බිහිකරනු ඇති බවට අප සැකසංකා තබාගත යුතු නොවේ.
සුමුදු අතුකෝරල

"එකෝමත් එක කාලෙක ටැරැන්ටිනෝ"


 "අපිට මරන්න ඉගැන්නුවේ ඔය චිත්‍රපටි කාරයෝම තමයි. අපි දැන් ගිහින් උංවම මරමු"
මේ ටැරැන්ටිනෝ ගෙ අලුත්ම චිත්‍රපටිය, Once upon a time in Hollywood එකේ එන එක දෙබසක දළ අදහසක්. ඩි කැප්රියෝ, බ්‍රැඩ් පිට් සහ ලස්සන මාර්ගොට් රොබී වගේ අයත් දාගෙන කරන මේ චිත්‍රපටය ටැරැන්ටිනෝගෙ Pulp Fiction වලට පස්සේ මම කැමතිම චිත්‍රපටය. Pulp Fiction සහ Once upon a time in Hollywood අතර අවුරුදු 25 ක් වගේ කාලයක් තිස්සේ ටැරැන්ටිනෝ චිත්‍රපටි හතක් විතර හදනවා. ඒත් ඒ එකකවත් නැති අමුතු සමානකම් ටිකක් Pulp Fiction සහ Once Upon a Time, අතරේ තියෙනවා. හරියට එයා Pulp Fiction වලින් පස්සෙ කෙලින්ම Once upon a time in Hollywood හැදුවා වගේ. 
Pulp Fiction කවදාවත් බලල එපාවෙන්නේ නැති චිත්‍රපටියක්. කාලෙන් කාලෙට මම ඒක ආයෙ ආයෙ බලන්න කැමතියි. චිත්‍රපටියක තියෙන්න ඕනේ විලාසිතාව, පිළිවෙල, පිරිසිදුකම, තරුණකම, කතාවක් කීමෙදි තියෙන ආතතිය සහ කුතුහලය මේ හැම දෙයකින්ම Pulp Fiction සමන්විතයි. 
Once upon a time in Hollywood එකත් එක්ක ටැරැන්ටිනෝ, ඒ කාරණා ආයෙමත් අරන් එනවා. තරුණ ජවයක් තියෙන මුහුකුරා ගිය සිනමාකරුවෙක් වගේ එයා මේ වැඩේ ලස්සනට කරලා. කැමරාව ස්ථානගත කරන හැම තැනකටම හේතුවක් තියෙනවා කියල හිතෙන තරමට හරිම සූක්ෂමයි. ඒ පරිපූර්ණ පිළිවෙළ සහ සිනමාත්මක පිරිසිදුකම හරිම සිත්ගන්නා සුළුයි. 
දෙබස් සහ කුඩා විස්තර මගින් චරිත ගොඩනංවන ටැරැන්ටිනෝ, අන්තිමට ඒ ඒ චරිත ඒ විදිහට ගොඩනැගුනේ ඇයි කියන එක තිතටම සාධාරණීකරණය කරනවා. සිනමා තරුවක් විදිහට රඟපාන ඩි කැප්රියෝ ට වඩා එයාගෙ සටන් ජවනිකා වල පෙනී සිටින (Stunt double) බ්‍රැඩ් පිට් ගෙ චරිතය (Cliff) හරිම පුරුෂ විදිහට නිරූපණය වෙනවා. කමිසෙ ගලවලදාල, අඬු මිටි සහ බියර් කෑන් එකකුත් අරන් ඇන්ටෙනාව හදන්න වහලෙට නගින Cliff ගෙ දර්ශනය හරිම පුරුෂනීයයි. එයා කාර් එක එළවන විදිහ, කිසිදෙයක් පස්සෙ ඔනෙවට වඩා පන්නනෙ නැතිතිකම (අඩුම ගානෙ කෙල්ලෙක් පස්සෙවත්), එයාගෙ බල්ලත් එක්ක තියෙන යාළුකම වගේ දේවල් නියමයි. 
ඒ වගේම තමයි, කිසිම නිරුවත් දර්ශනයක් නැතුව ටැරැන්ටිනෝ ශෘංගාරාත්මක දේවල් පෙන්වන විදිහ. ගැහැණිය සමග බැඳුනු සුන්දරත්වය කතාවෙන්, ඇවිදීමෙන්, හිනාවෙන් මතුකරන විදිහ ඉතාම කලාත්මකයි. ටැරැන්ටිනෝ එයාගෙ අනිත් හැම චිත්‍රපටියකම වගේ ගැහැණු යටිපතුල්වල ට නියම තැන මේ චිත්‍රපටියෙත් වෙන්කරනවා. හරිම සියුම් විදිහට දඩබ්බර ශෘංගාරයක් මතකරනවා. හුළඟ, කාර්වල යනකොට වීදුරු ඇරලා හුළඟට අපිව ගහගෙන යන්න ඉඩදීම, නිදහස, කාර් එකට එබෙන හිපි කෙල්ලගෙ කතාව; හිනාව; බය නැතිකම, කාර් එකට නැගලා එයා කකුල් ඩෑෂ් බෝඩ් එක උඩ තියන විදිහ, එහෙම තියාගෙන එයා කියන දේවල්!
සංගීතය සමග රෑප මුසු කිරීම! ඒ රෑප හරහා වෙන කිසිවකට නොකළහැකි ආකාරයේ හැඟීම් උද්දීපනය! ටැරැන්ටිනෝට වඩා ඒකට වෙන දක්ෂයෙක් නෑ. එයා දර්ශනයක් ලියන්න කලින් ඒ දර්ශනයට අදාල සංගීතය මුලින් හොයාගන්නවා කියන එක ඇත්ත. ඒක ඉතාම උසස් ප්‍රතිඵල ගේනවා කියන එක ඊටත් වඩා ඇත්ත. ඒ අව් අස්සේ මෙන්න, Chunking Express එකට වොං කරවැයි පාවිච්චි කරපු මගෙ ආසම සිංදුවක් වෙන California Dreaming එකේ වෙනස් ගැයුමක් (ඔරිජිනල් එක වෙන්න ඇති) ටැරැන්ටිනෝ මේකට පාවිච්චි කරලා. "මම බලන හැම චිත්‍රපටියකින්ම මම හොරකම් කරනවා" ටැරැන්ටිනෝ මේ කියන එක ඇත්ත. 
ඔය අතරේ, ටැරැන්ටිනෝ Once upon a time in Hollywood ඇතුලෙ, පොලන්ස්කි, බෘෘස් ලී වගේ දැවැන්ත චරිත ස්ථානගත කරන විදිහත් මරු.
"චිත්‍රපටියක් හදන්න ඔයාට ඕනෙ කෙල්ලෙකුයි, තුවක්කුවකුයි විතරයි" මේක කිව්වෙ ලෝකෙ ඉහළින්ම ඇගයීමට ලක්වුනු ප්‍රංස සිනමාකරුවා, ගොඩාඩ්. මම හිතන්නෙ ඒ කියල තියෙන්නෙ ශෘංගාරාය සහ ප්‍රචණ්ඩත්වය ගැන. ටැරැන්ටිනෝ තමන්ගේ හැම කෘතියකින් ම ඒක ආයෙ ආයෙ ඔප්පු කරනවා.
අපිට චිත්‍රපටි හදන්න පොළඹවනවා!
මේක මග නොඇර නැරඹිය යුතු චිත්‍රපටියක්. මම එහෙම කියන්නේ කලාතුරකින්. 
- සුමුදු අතුකෝරල

Saturday, November 10, 2018

"Rustic" හෙවත් "රස ටික"

"Rustic" හෙවත් "රස ටික"
ගෙදරක් ගොඩනැඟිල්ලක් කියපු සැනින් කාගෙත් හිත්වල මැවෙනව ඇත්තේ හරිම පිළිවෙලට චීස් වළින් කැපුව වගේ තියෙන වස්තුවක්. නූතන වාස්ථුවිද්‍යා මිනුම් දඬුවලින් බහුල ලෙස අර්ථගැන්විලා තියෙන්නෙ එහෙම අදහසක්. සමාජ තත්වය ප්‍රකාශකිරීම, ආරක්ෂාව, අධික ලෙස මුදල් යටකිරීමේ හැකියාව හෝ තමන්ගේ පුද්ගලික මතිමතාන්තර විතරක් නෙමෙයි එකිනෙකා අතර තියෙන නොනවතින තරඟය වුණත් මේකට බලපානවා. 
ඒත් හැම අතින්ම සර්ව සම්පූර්ණ ජීවිත අපි කාටවත් නැහැ. කඩතොළු, කැළැල්, තිත්ත වගේම හරිම රසවත්, ලස්සන, සෞම්‍ය අවස්ථා වළින් අපේ ජීවිත පිරෙනවා නැත්නම් පිපිරෙනවා. ඉතින් ඒ ජීවිත ස්ථාන ගතවෙන පසුබිමේ ප්‍රධාන කොටසක් වෙන ගොඩනැඟිළි හෝ නිවසක් ඒ වගේම වෙන එක තාමයි වඩාත් හොඳ. කොහොමත් ඇත්ත ජීවිතේදි සැබෑ නොවෙන පරමාදර්ශී සීමාවන් වාස්ථුවිද්‍යාව තුළින් ළඟා කරගෙන දිළිසෙන මාබල්, රන් රිදී හැඩ වැඩ, ග්‍රීක හෝ ඉතාලි මැදුරු හරිම හුදකලා සහ අලස බවින් යුතුයි කියන එකයි මගේ අදහස. 
ඒ ගැන අපි හැමෝම සෑහෙන්න කතාකරල තියෙන නිසා අමුතුවෙන් තේරුම් ගන්න දෙයක් නැහැ. මම මේ තව අඩියක් එහාට යන්නයි හදන්නේ. විශේෂයෙන් ගෙදරකට, ඒ කියන්නේ පුදගලික පරිහරණය සඳහා නිර්මාණයවෙන ගොඩනැඟිල්ලකට පූර්ව මතිමතාන්තර අදාළ නොවිය යුතුයි. අදාළ වියයුත්තේ, දේශගුණය, නිවැරදි වාතාශ්‍රය, හිරු එළිය, ආරක්ශිත බව, සුවපහසුව, ගොඩනැඟිල්ල ඉදිවන ප්‍රදේශය සහ ගොඩනැඟිල්ල තුල පැවතිය යුතු ගතිසොබාව වගේ අත්‍යාවශ්‍ය කරුණු විතරයි. ඒ ඇරෙන්න ඇනිට සියලුම දේවල් වෙනස ආකාරයේ පෙළඹවීම වියහැකියි. මම මෙතනදි වියදම ගැන සඳහන් නොකලේ වියදමෙහි අඩු වැඩි බව ගොඩනැඟිල්ලක මූල්‍යමය වටිනාකම වැඩිකිරීමට වඩා එහි ගතිසොබාව නැත්නම් මූඩ් එක තහවුරු කිරීම සඳහා බාවිතා කළයුතුයි කියන අදහසකින්.කොහොමත් අතේ තියෙන මුදල සීමිතනම් "ගෙයක්" කියන අදහස සම්පූර්ණයෙන්ම ඔළුවෙන් ඉවත්කරගෙන ඉතාම කුඩා ප්‍රමාණයේ වෙනස්ම වෙනස් අපූර්ව "ගෙයක්" නොවන දෙයක් නිර්මාණය කිරීම තමයි කළයුතු හොඳම දේ.
"තුට්ටු දෙකට ගන්නත් ඕනෙ, අස්සයා ඉස්තාලෙට උඩින් පන්නනත් ඕනෙ" වගේ එකක්නම් හරියන්නෙම නෑ. (මේක අපි වැඩකරන ඉන්ජිනේරුවෙක් නිතරම මතක් කරන කතාවක්). අස්සයෙක් ඉස්තාලෙට උඩින් පන්නන්න ඕනෙ නෑ, හොඳ වේගෙකින් දුවල කරල හිටියහම ඇති. ගොඩනඟිල්ලකටත් එහෙම තමයි. 
අමුතු විදිහේ අපූර්ව එහෙමත් නැත්නම් පිස්සුම පිස්සු ගොඩනැඟිල්ලක් නිර්මාණය කිරීමට මුල්වෙන්නේ ආකිටෙක්ට් කෙනෙක් නෙමෙයි, එම ගොඩනැඟිල්ලේ හිමිකරුයි. බොහෝවෙලාවට වෙන්නේ, ගොඩනැඟිල්ලක් හදන්න එන කෙනා සමාජය විසින් ආකෘතිගත කරන ලද අදහසක් හෝ අදහස් සමුදායක් සමග ආකිටෙක්ට් ළඟට යන එකයි. ඉතින් නිර්මාණකරුවා පැන්සල අතටගන්නෙම පිස්සුවක් කරන්න නෙමෙයි. තවත් සාමාන්‍ය නිවසක් සැළසුම් කරන්න. සාමාන්‍ය තැනකින් පටන් අරන් අතිසාමාන්‍ය නිර්මාණයක් කරනවට වඩා, පිස්සුම පිස්සු තැනකින් පටන් අරන් ටිකක් සාමාන්‍ය පැත්තට බරවෙන එක කොච්චරනම් හොඳයිද? 
මෙතනදි නිවසක හෝ ගොඩනැඟිල්ලක ආකෘතිය, අභ්‍යන්තර අවකාෂ වල පිහිටුවීම, ප්‍රමාණය, වර්ණ, හැඩතළ, නිවසෙහි භාවිතය ගැන පවා වෙනස් කෝණයකින් බැලීම ඉතාම වැදගත්. විශේෂයෙන් ගොඩනැඟිල්ල ඉදිකරන්න වෙන්නේ අවම මුදලකින් නම් ඉහත කරුණු ගැන වඩ වඩාත් සැළකිළිමත් වීමට වෙනවා. සෑම පිළිගත් ක්‍රමයකට හෝ මතයකට වඩා වෙනස් ක්‍රම සහ මත ඕනෑම දේකට තියෙන්න පුලුවන්. ඒ වෙනස හොයාගෙන නිවැරදිව භාවිතා කිරීම තමයි වැදගත්. 


මෙහිදී ඉතාම ආශ්වාදජනක සහ නිර්මාණාත්මකම කොටස තියෙන්නේ අමුද්‍රව්‍ය භාවිතය තුළ. කපරාරු කර පිළිවෙල කරන ලද බිත්ති වෙනුවට, මැටි ගඩොල් පෙනුම, දළඹ මදින ලද ස්ලැබ් මතුපිට වෙනුවට රළු කොන්ක්‍රීට් පෙනුම, ජනෙල් වෙනුවට යකඩ ග්‍රිල්, ටයිල් වෙනුවට සාමාන්‍ය සිමෙන්ති, වීදුරු වෙනුවට ලී පටි ලැටිස් වගේම, බිත්ති වෙනුවට බිත්ති නැති බව, ජනෙල් දොරවල් වෙනුවට ජනෙල් දොරවල් නැති බව, පාට වර්ණක වෙනුවට ඒ ඒ අමුද්‍රව්‍ය වල ස්වභාවික පෙනුම ඉතුරුකිරීම වගේ විවිධ අත් හදා බැලීම් කල හැකියි. සරලව කිව්වොත් තමන්ට නොමිලයේ හෝ ඉතා අඩු මුදළට සපයා ගත හැකි කන්ටේනර්, ලෑලි පෙට්ටි, තහඩු, සිල්පර කොට, විදුලි රැහැන් කණු, කළු ගල්, වැනි මෙකී නොකී ඕනෑම අමුද්‍රව්‍යයක් භාවිතා කර ගොඩනැගිල්ලක්, නිවසක් ඉදිකළ හැකියි. අවශ්‍ය එxඅම් දෙය, සම්මතය අභිබවා සිතීම, නිර්මානශීලී බව සහ නිර්භීත බවයි. 
මේ කරුණු ඔක්කොම එකතු වුණාම ඒක එක වචනෙකට ගත්තොත් එන්නේ "Rustic" වගේ අදහසක්. ඒක තමයි වාස්තුවිද්‍යා වචන ගොනුවෙන් හොයාගන්න පුලුවන් වචනය. නිකමට "Rustic" වචනයේ තේරුම ගූගල් ට්‍රාන්ස්ලේට් එකෙන් අහල බැලුවොත් ඒකට එන සුන්දර සිංහල වචනය ඔබටත් හොයාගන්න පුලුවන්.
සුමුදු අතුකෝරල/ ඔක්තොබර් 7/ අනිද්දා
(Photographs-Pinterest)

"නොගිය මගකින් ආපසු එනවිට මෙන්න බොලේ චෙරි මල්"

"නොගිය මගකින්
ආපසු එනවිට
මෙන්න බොලේ
චෙරි මල්" 
-බකුසුයි/ මිණි පැමිණි-(පරිවර්තනය-ආරියවංශ රණවීර)
මේ හයිකු කවිය කවදාවත් අමතක නොවෙන විදිහට හිතේ පැලපදියම් වුණු එකක්. ඒ වගේම මුළින් “ටොම් වේට්ස්” විසින් ගායනා කර පසුකාලීනව “නොරා ජෝන්ස්” විසින් අමන්දානන්දයට පත්කළ "Long way home" ගීතය දුරබැහැර පිටිසර ආදරණීය ගමන් බිමන් වලටම වෙන්
වුන ගීතයක් වගේම කොච්චර ඇහුවත් එපා නොවන විදිහේ ගීතයක්. 
මෙහෙම සටහනක් ලියන්න අදහසක් පහලවුණේ ඊයෙ යාපනේ ඉඳන් මන්නාරම හරහා, තන්තිරිමලේ පැත්තෙන් මහ වනාන්තර, පිටිසර ගම් බිම්, සරළ මිනිස්සු, කුඹුරු යායවල්, පුදුම හිතෙන අහස් පහුකරගෙන ලස්සනම ලස්සන හවස්වරුවක් හරහා නොච්චියාගම පැත්තට එන අතරෙයි. සාමාන්‍ය පාර වෙනුවට ටිකක් දුර වැඩි වාහන නැත්තටම නැති තරම්, හවස් වරුවක නොයා යුතුයැයි එකපාරටම හිතෙන පාරකින් ආපහු එන එක ටිකක් හිත කීරි ගස්සන කුතුහලය පිරුණු වැඩක්. අවදානම වැඩියි, පොඩි බයකුත් නැතුව නෙමෙයි. ඒත් හැමදාම අමතක නොවෙන පුදුම ලස්සන දේවල්, මොහොතවල්, සිදුවීම් වෙන්නෙ ඒ අවදානමත් කුතුහලයත් එක්කම තමයි. 
ඒ අත්දැකීම වචනයෙන් වත් ඉතාම දුර්වල පින්තූර වලින්වත් විස්තර කරන්න හදන එකම තේරුමක් නැති දෙයක්. ගමන ලස්සන වෙන්න පටන් ගත්තෙ පුනරීන් පාලම පහුවෙනකොටම අපිට දෙමළ කතාකරන්න බැරුවත්, ඒ පොඩි කොල්ලට සිංහල කතාකරන්න බැරුවත් තියෙද්දි මිළදී ගත්ත ‘මා දං” වලින් කට ම දම් පාට වෙලා, කදිම කහට ගතියකින් උගුර හිර වෙද්දිමයි. 


එතන ඉඳන් නමක් ගමක්, අගක් මුලක් නැති කුඹුරු, ගම් දනව්, තැනිතලා, වනාන්තර පහුකරගෙන හුදකලා මහපාරෙ පරණ සිංදු අහගෙන වාහනේ එලවන එක අපූරු අත්දැකීමක්. කාත්කවුරුවත් නැති පාලු තැනිතලාවක තනි කණුවක අඩමානෙට රඳවපු කුඩා දේව ප්‍රතිමාව, කෙලවරක් නැතිව ආපහු ගෙවල්වලට යන ගව රංචු, අවරට යන ඉර ලස්සනට පාට කරපු බටහිර අහස, කිසිම හැලහොල්මනක් නැති පාලු තැනිතලා ඔස්සේ ගලාගෙන යන කුඩා ඇළපාරවල් උඩින් වැටුණ නිශ්ශබ්ද පාලම්, පළඟැටි හඬ ගමන ගොඩක් පරක්කු කරන දෙවල්. ඒ වගේම ඒවම තමයි ඒ ගමන ලස්සන කරන්නෙ. මේ වගෙ තැනක වාහනේ ඇණහිටලා දවස් කීපෙකට ආපහු එන්න බැරි වුණොත් ඒකත් මරු කියල හිතෙන තරම් ඒ දේවල් පුදුමාකාරයි. ඒ වගේ ගමන් වලදි, පාලු තැනක පාර අයිනේ තියෙන පොඩි පොල් අතු කඩේක ආච්චි කෙනෙක් අතින් හැදෙන ප්ලේන් ටී එකක රසයටත් වැඩිය රසවත් දේවල් එයාලත් එක්ක පොඩ්ඩක් හිතවත් වෙලා කතා කළොත් දැනගන්න පුලුවන් වෙයි. 
ඔව්! ඕනෙවට වඩා ටිකක් රොමාන්තික බවක් මේ වචන අස්සෙ තියෙන්න පුලුවන් ඒත් ඒ බොරු අතිෂොක්ති නෙමෙයි. ඇත්තටම සිදුවෙන දේවල්. 

 මේ අත්දැකීම් ඔස්සේ ජීවිතේ ආපස්සට හැරිල බැලුවොත් ඇත්තටම ලස්සනම සහ පුදුමාකාරම දෙවල් වෙලා තියෙන්නෙ, ඔය වගේ වැරදි පාරවල් වලින් යද්දියි, හරිම වෙලාවෙ වැරදි තැන් වල ඉද්දියි, කවදාවත් ළං වෙයි කියල නොහිතන අය ළං වෙද්දියි තමයි.
කොහොමත් කිසිම දෙයක් ගැන ඕනෙවට වඩා හිතන්න හොඳ නැහැ. නිවැරදි ලේසි පාර වෙනුවට, ටිකක් අමාරු දුර පාර හොඳ වෙන්න පුලුවන්, කොහොමත් චෙරි මල් හම්බවෙනවා. සමහර වෙලාවට සිදුවෙන්න හොඳටම නියමිත දෙවල් සිදු නොවීම අරුම පුදුම වාසනාවක් වෙන්න පුලුවන්. 
සාද්ගුරු එක තැනකදි මෙහෙම කියනවා, 
" ඔයාගෙ ජීවිතේ ගොඩාක් වැදගත් කියල හිතන්න එපා, ඔයා මේ මහා විශ්වයේ කුඩා අංශු මාත්‍රයක් විතරයි. විශ්වය "වූහ්" කියල පිම්බොත් එතනින් පස්සෙ ඔයා කියල කෙනෙක් නැහැ. ඒත් අනිත් හැමදේම සුපුරුදු විදිහට සිද්දවෙයි. ඒ නිසා ජීවිතේ ගොඩක් සීරියස් විදිහට ගන්න එපා".
ඒ නිසා වැඩිය හිතන්නෙ නැතුව වැරදි, දුර පාර ගන්න.
-සුමුදු අතුකෝරල

Friday, September 15, 2017

ගුරු පඬුරු

කේට් සහ මැකෙන්සි කියන්නෙ තමන්ගෙ මූලික වාස්තු විද්‍යා අධ්‍යාපනයෙන් පස්සෙ ලංකාවෙ වසරක පුහුණු කාලයක් සඳහා පැමිණි ඕස්ට්‍රේලියානු තරුණ සිසුන් දෙදෙනෙක්. ලෝක දේශපාලන ඉතිහාසය, කලාව, දර්ශනය වගේ හැම දෙයක් ගැනම ඔවුන් තුළ තිබුණු දනුම සහ අවබෝධය මාව පුදුමයට පවා පත් කළා. මම හිතන්නේ නැහැ ලංකාවෙ බහුතරයක් වාස්තු විද්‍යාව ඉගෙන ගන්න හෝ උගන්නන අය පවා, ප්‍රංශ සිනමා නව රැල්ල, ඉතාලියානු යථාර්තවාදය, වගේ දේවල් ගැන ලොකු අවබෝධයක් ඇති කියල.කලාව සම්බන්ධයෙන්, නූතන වාදය, පශ්චාත් නූතන වාදය වගේ සංකල්ප ගැන වුණත් එච්චර උනන්දුවක් මෙහෙ අයට නෑ. සුලභව කියවෙන මාක්ස් වාදය, සමාජවාදය වගේ දේශපාලනික අදහස් පිළිබඳව උනත් කතා කෙරෙන්නේ ඉතාම අඩුවෙන්. සිනමාව ගැන තියෙන උනන්දුව හින්ද මම නිතරම මේ ඕස්ට්‍රේලියානුවො දෙන්න එක්ක විවිධ දේවල් කතා කරන්න කැමතියි. බර්ග්මාන්, තර්කොව්ස්කි ඉඳන් කියරොට්සාමි හරහා ගැස්පර් නො ඒ හෝ ඩැරන් ඇරනොෆ්ස්කි දක්වාම එයාල සිනමාව ගැන දැනගෙන සිටීම මාව පුදුම කළා. සමහරවෙලාවට කේට් කියුබාවෙ ඉගෙනගෙන ආපු සුමේධ එක්ක කතාකරන දේශ්පාලනික අදහස් අස්සෙ මම අතරමං වෙලා මොකද වෙන්නේ කියලවත් හිතා ගන්න බැරි තත්වයකට පත්වෙනවා. මට වෙලාවකට හිතෙනවා ඔවුන්ට වාස්තු විද්‍යාව අරෙන්න අනිත් හම දෙයක්ම ඉගෙනගන්න පෙළඹීමක් තියෙන බවක්. එයාල කියන්නේ එයාලට ගොඩනැඟිල්ලක් හදන විදිහට වඩා ගොඩනැඟිල්ලක් හිතන විදිහ එහෙදි උගන්නවා කියලයි.
ලංකාවෙ බොහෝ වෙලාවට කෙරෙන්නේ ගොඩනැඟිල්ලක් හදන විදිහ උගන්නන එකයි.

මේ අදහස් හදිස්සියෙම ලියන්න හිතුවෙ ඒ කිසිම දෙයක් ගැන කියන්න නෙමෙයි. මොරටුව විශ්ව විද්‍යාලයේ මා ඇතුළු තවත් බහුතරයක් වාස්තු විද්‍යා වාස්තු විද්‍යාව ඉගෙන ගන්න කාලයේ වාස්තු විද්‍යාව ගැන අපි දැනගෙන හිටපු සියල්ලක්ම වෙනස් විදිහකින් නැවත අත්දකින්න පොළඹවපු විදුර ශ්‍රී නම්මුනි ගුරුතුමා ගැන පොඩි හරි සටහනක් ලියන්න ඕනෙ කියල හිතපු නිසයි. නම්මුනි සර් ජීවතුන් අතර ඉද්දි මේක ලිව්වනම් හොඳයි කියල ගොඩක් අය කියයි. ඒත් සර් ට සර් ගැන කියල දෙන්න තරම් කෙනෙක්ද මම?

වාස්තු විද්‍යාව උගන්නන පන්තියකට මහගම සේකරගෙ කවි පොත් අරන් ආපු වෙන ගුරුතුමෙක් ගැන මම නම් අහල නෑ. පැවරුමකට ලකුණු දීමේදී එක්කො 100% නැත්නම් බිංදුවටත් වඩා අඩුවෙන් ලකුණුදීපු ගුරුවරයෙක්වද මට කිසිදිනක මුණගැසී නැත. එකම ඉරක්වත් බෝඩ් එකේ අඳින්නෙ නැතුව සංවාදය තුළින්ම දේවල් අවබොධකිරීමට ඔඋට තිබුණේ පුදුම හැකියාවක්. වාස්තු විද්‍යාව හෝ අනෙක් ඔනෑම කලාවක් මිනිසා ආනන්දයට පත්කර එතනින් ප්‍රඥාව කරා ගෙනයා යුතු බව ඔහුගේ ජීවන කියමනයි. ගොඩනැඟිල්ලක් තුළ ආත්මයක් හෝ ජීවයක් නිර්මාණය කිරීම ගැන ඔහු දැඩිව විශ්වාස කළ කෙනෙක්. ගොඩනැඟිල්ලක්  සැළසුම් කිරීම හෝ නිර්මාණය කිරීම හුදෙක් එම ගොඩනැඟිල්ල හදන ආකාරය නොව එම නිර්මාණ ක්‍රමවේදය සහ ගොඩනැඟිල්ල ඇතුළත අත්දැකීම වචනයෙන් හෝ රූපයෙන් විස්තර කරන්නේ කෙසේද යන්න තමයි ඔහුගේ ඉගැන්වීම. ඇබ්ස්ට්‍රැක්ට් රූපයක් හෝ සිතෙහි යම්කිසි නිර්මාණයක් සඳහා මවෙන නිමිත්තක සිට එය ගොඩනැඟිල්ලක් බවට පත්වීම දක්වා කෙරෙන නිර්මාණ ක්‍රමවේදය ගැන ඔහු කියාදුන් එදා විකාර මෙන් දනුණු දර්ශනය එදා ට වඩා  අද අවබෝධ වීම පුදුම සහගත දෙයක්.

ගොඩනැඟිල්ලක් පිටතින් නොව පළමුව ඇතුළතින් නිර්මාණය විය යුතු බවට ඔහු කළ ඉගැන්වීම වර්ථමානයේ ඉදිවෙන ජැන්ඩියට ඇඳ පැළඳ ගත්තත් ඇතුළතින් ආතමයක් සොයා ගැනීමට අපහසු ගොඩනැඟිළි මහතුන්ට හොඳ පාඩමකි.  වාස්තුවිද්‍යාව තුළ දාර්ශනික පසුබිම වෙනුවෙන් ඔහු තරම් සටන් කළ වෙනත් ගුරුවරයෙකු මාහට තවමනම් හමුවී නැත.

ඔහු විශ්වාස කළ දර්ශනය සහ අනෙකුත් දැනුම ඔහු කොහේ හෝ ලියා ඇතිදැයි නොදනිමි. එසේ තිබේ නම් ඒවා වහා පිටතට ගෙන සියළු වාස්තුවිද්‍යාඥයන් අතුළු හුදී ජනයා වෙත පොදු වස්තුවක් ලෙස දායාද කල යුතුය. එසේ නොමැති නම් ඔහුගේ හොඳම ගෝලයකු විසින් ඒවා ඔහුට උපහාරයක් ලෙස ග්‍රන්ථාරූඩ කල යුතුය.

මෑතකදී මගේ හොඳ යහළුවෙක් තමන්ට මේ ජීවිත්යේදි හමුවුණු ගුරුවරුන් හතරදෙනෙක් ගැන මට කිව්වා. එක්කෙනෙක් ආධ්‍යාත්මික මඟ පෙන්වන්නෙක්, අනිත් කෙනා යෝගා ගුරුවරයෙක්, අනිත් එක්කෙනා ගැන එයා මට කිව්වෙ නෑ. එයාගෙ ගුරුවරයන්ගෙ ලයිස්තුවේ මුලින්ම හිටියේ නම්මුනි සර්. එයාගෙ හේතු පාඨය මේකයි.

"නම්මුනි සර් තමයි මට හිතන්න ඉගැන්නුවේ"

මම හිතන්නෙ නැහැ අපි නම්මුනි සර් ට සුබ ගමන් කියලා කිව යුතුයි කියලා. එයාගෙ ගමන ගැන එයා දන්නවා. එයා යන තැනත් එයා දන්නවා.


කොහොමත් විදුර ශ්‍රී නම්මුනි ගුරුවරයාවත්, ඔහු විසින් ඉගැන්වූ දහමත් මයිකල් ජැක්සන් ගේ "උහ්ක්!" එක මෙන් අපි හැමෝවම, හැමදාමත් හිතන්නට පොළඹවනු ඇත.

-සුමුදු අතුකෝරල

Wednesday, August 16, 2017

සුජිත්! ජීවිතය දැන් කොහොමත් පහසු නෑ

අඳුර තුළ ගමන් කරන්නෝ තමන් අඳුර තුළ ගමන් කරන බව දැනගන්නා තෙක් ආලෝකය නොසොයනු ඇත- බෘස් ලී

 මට මුල ඉඳන්ම එයාව දැක්කම මතක් වෙන්නෙම බෘස් ලී ව. පින්සලක වගේ කොන්ඩෙ ඉස්සරහදාගෙන, ඉතාම කෙට්ටුවට, තියුණු මුහුණක් සහ හරිම අහිංසක හිනාවක් එක්ක ඉන්න සුජිත් ව දකින එකම ඉතාම සතුටු හිතෙන කාරණාවක්. ඔය හේතුව හින්ද තමයි ඔය උඩින් තියෙන කියමන මගෙ ඔළුවට ආවේ. මට හිතෙනවා බාහිර පෙනුම වගේ ම ඇතුළතිනුත් සුජිත් බෘස් ලී එක්ක එතනදි හම්බ වෙනව කියල.


එඩ්වර්ඩ් මුන්ච් ගෙ "විලාපය" කියන චිත්‍රය ගැන අහල දැකල තිබුණත් ඒක එහි මුල් අර්ථයෙන් ම අත්විඳින්න මට පුළුවන් වෙලා තිබ්බෙ නෑ. සුජිත් ගෙ "මනෝභ්‍රාති" ප්‍රදර්ශණය බැලුවම මට එඩ්වර්ඩ් මුන්ච් ගෙ චිත්‍රයෙ මුල් අර්ථයට සමීප වෙන්න පුළුවන් වුණා. එහෙම වුණේ සුජිත් දේශීය පසුබිමක් තුළ මුන්ච් ගෙ "විලාපය" ප්‍රතිනිර්මාණය කරල තියෙන හින්ද කියලයි මට හිතෙන්නේ. එහෙම කිව්වට මුන්ච් සහ සුජිත් ඉන්නෙ තැන් දෙකක. සංකල්පීමය වශයෙන් සහ ප්‍රකාශනමය පසුබිම මත දෙදෙනාම එක තැනකදි හමු වුනාට මට සුජිත් ගෙ චිත්‍ර දැනෙන ගතිය වැඩියි. සුජිත් ගෙ චිත්‍ර විලාසයත් ගැඹුරු අත්දැකීමට එක්කගෙන යනවා. ඒකට හේතුව මේ දේශපාලනික, සමාජ සංස්කෘතික මඩ ගොහොරුව මටත් සුජිත් ටත් අපි හැමෝටමත් එක විදිහට දැනෙන නිසා වෙන්න ඇති.

ප්‍රදර්ශනය ආරම්බයෙන් පස්සෙ පොඩ්ඩක් සුජිත් එක්ක කතා කරන්න ලැබුණා. ඇත්තටම සුජිත්ම ඇවිත් කතා කලා. එයා ඒ වගේ නිහතමානී කෙනෙක්. "බය කියන්නෙ හරි පුදුම දෙයක්. චූ යනව වගේ දෙයක් නේ. ඉතින් මේ චිත්‍රත් ඒ වගේ තමයි. බය ඇතුළෙ ම ටික කාලයක් ඉන්නකොට චිත්‍ර විදිහට ඒවා එළියට එනවා. ඒත් දිගටම ඒ බය අස්සෙ ඉන්න බැහැ. එපා වෙනවා. ඊට පස්සෙ අත ඇරල දානවා." සුජිත් කිව්වෙ ඔන්න ඔය වගේ අදහසක්. ඔය කතාව ඇහුවට පස්සේ මගෙ හිතට මහ බර ගතියක් දැනෙන්න ගත්තා. ඒක නිකන් කඳුළු එන්නෙ නැතිව අඬනව වගේ හැඟීමක්. දැන් ඉතින් ඒ හැඟීම සුජිත් ටවත් මගෙ හිතෙන් අයින් කරන්න බැරි වෙයි. හිතේ පටලයක් බැඳිලා වගේ. එදිනෙදා ජීවිතය, සතුට, බලාපොරොත්තු, ආර්ථිකය, සංස්කෘතිය, දේශපාලනික වටපිටාව, මේ හැමදෙයක්ම විහිළුවක් වගේ ගොඩක් වෙලාවට. ඒත් ඒ විහිළු ගතිය අස්සෙ කොච්චරනම් භ්‍රාන්තියක් සැඟවිලා තියෙනවද? හැමෝම මේ මනෝභ්‍රාන්තිය එක්ක හිරවෙලා නෙමෙයිද ඉන්නේ?

සුජිත් ගෙ චිත්‍ර අතරින් ලොකු ඇස්දෙකක් විවර වෙලා, ඒ ඇස් වලින් දකින දෙවල් නිසා කඳුළු ගඟක් ගලන චිත්‍රෙ මගෙ දිහා ගොඩක් වෙලා බලාගෙන හිටියා. එක එක දුරවල් වලින්. වෙලාවකට ළඟින්, තව වෙලාවක ඈතින්. මට ඒ චිත්‍ර ය සහ සුජිත්ගෙ මුහුණ වෙන්කර ගන්න සෑහෙන අමාරුයි. ඊට පස්සෙ ඒ චිත්‍රය තුළ මාවම පේන්න ගත්තා. මහා ලොකු දර්ශනයකට වඩා ඉතාම සරල මානුශීය තැනකදි තමයි මට ඒ චිත්‍රය කතාකරන්න ගත්තේ. හැබැයි ඒ කතාව, කියාගන්න බැරි බරපතල තැනකට මාව අරගෙන යනවා.


බොහෝ වෙලාවට කලාව විසින් කරන්නේ පවතින සම්මතයන්ට එරෙහිව නැගීසිටීම. විප්ලවය තුළින් සටන්කිරීම. ඒත් මනොභ්‍රාන්ති මේ මඩගොහොරුව තුළ යළි මල් මෙන් පිබිදීමට පවා ඇති නොහැකියාව බාරගන්නවා. සුජිත් චාකෝල් වලින් ඇඳල තියෙන එක තේමාවක අවස්ථා කිහිපයක් ලෙස පෙනුණු කළු සුදු චිත්‍ර ත්‍රිත්වය සුජිත්ගෙ තාත්වික චිත්‍ර දක්ෂතාවය ගැන ප්‍රභල සාක්ෂියක් වුණත් ඒ චිත්‍ර කිහිපය තුළ සැඟවී තිබෙන කම්පනය, සංවේදනය, දුක සහ බියට ඔබවත් මුසපත් කරන්න ඉඩ දෙන්න.

බලාපොරොත්තු, සිහින එක්ක නැගිටිමු කියනවා වෙනුවට කුණාටුව තුළ සුණුවිසුණු වීම ඇර වෙන කළයුත්තක් නැති බවක් නැහැ. එහෙම හිතනකොටම මනෝභ්‍රාන්තිය දෙගුණ තෙගුණවෙලා දැනෙනවා. ඒත් ගලායාම සමඟ මුසුවීම ට එහි කිසිම බාධාවක් නැහැ. අනවශ්‍ය දෙවල් ගැන නොසිතා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නවනම් කිසිදේකට බයවෙන්න දෙයක් නැහැ. සමහර අයට එහෙම පුළුවන්. ඒත් ගලායාම සමඟ එකඟ විය නොහැකිනම් කුමක් කලයුතුද? මම හිතන්නේ සුජිත් ඒ කලහැකිදේ කරනවා. තමන්ගෙ ප්‍රදර්ශණය බුර්ෂුවා ගැලරියක් වෙනුවට සුජිත් යන්තම් හෝ එදිනෙදා ජනතාවට පය තැබිය හැකි ලයනල් වෙන්ඩ්ට් එකට අරන් ඇවිත් තියෙන්නෙ ඒ හින්ද වෙන්න ඕනේ.
තමන්ගෙ ප්‍රකාශනයත් එක්ක සිහිනයක අතරමං වෙනවට වඩා සුජිත් තවමත් එය ජනතාව අතරට ගෙනගිය යුතුයි කියන මතයේ සිටීම ගැන මට ඇතිවුණේ ගෞරවයක්. ඒත් මේ නිර්මාණ කොහෙ හරි ලොකු කලාගාරයක හෝ පුද්ගලික එකතුවක් තුළ ඉතිහාසයට එකතුවෙන එක ගැන මම විරුද්ධ නැහැ. ඉතිහාසය තුළ ලෝකය වෙනස් විය යුතුයැයි විශ්වාස කළ කුඩා මිනිසුන්ගේ දර්ශනය කොහේ හෝ ඉතුරුවේවි.
සුජිත්! ජීවිතය දැන් කොහොමත් පහසු නෑ. තමන්ගෙ ජීවිතය චිත්‍ර අස්සෙ හොයාගෙන යන එක දිගටම කරන්න. ඔයා මෙහෙ ඇවිල්ල ඉන්නෙ එකට.
සුමුදු අතුකෝරල