Thursday, October 31, 2013

තේරුණේ නෑ තමයි, ඒත් සිත සතුටුයි

තේරුණේ නෑ තමයි, ඒත් සිත සතුටුයි


හොදට ම සීතල බව තවත් එත්තු ගන්වන මීදුම් වළාවක් ඒ සිතුවම සම්පූර්ණ කළා. පොඩි වැහි බීරම නොතිබුණානම් ඒක තවත් අඩුවක් වෙන්න තිබණා. නගරය ට ආසන්න ව වුණත් කදුගැටයක් උඩ තනි වී පිහිටා තිබී ම ඒ නdස්රත් දෙව් මැදුර ට ලැබුණු ඉහළ ම දායාදය වෙන්න පුළුවන්. කළුවර වැටෙන්න ආසන්නව තිබුණු එම මොහොතේ ඒ අත්දැකීම ඉතාම රෝමාන්තික බවකින් වෙලී තිබුණත්, දවසේ ඕනෑ ම වෙලාවක ඒ අත්දැකීමෙහි ලොකු වෙනසක් දැනෙන එකක් නැහැ.

 බණඩාරවෙළ නගරයට ඉතාම ආසන්නයේ හුදකළා කදුගැටයක් මත, නාස්රත් කන්‍යා රාමය ට යාබද ව පිහිටා ඇති මේ කුඩා දෙව් මැදුර මෑත ඉතිහාසයේ මා දුටු ඉතා ම අලංකාර ගොඩනැගිල්ලක්. දශක කිහිපයක ට පෙර නිරමාණය වුණත්, එම ගොඩනැගිල්ල කාලය අතික්‍රමණය කරන සුවිශේෂී නිර්මාණයක්.

පිටත ට දිස්වන්නේ කළුගල් බිත්තියක් මත රැදි සරළ වහලයක් සහ අල්තාරය යැයි සිතිය හැකි, ඉහළට නැගුණු කළු ගල් ස්ථම්භයක්. නමුත් ඒ කළු ගලින් සැදි හතරැස් කුළුණ මතින් දෙපස ට විහිදෙන විසල් වැහි පීලි කුරුසයක දළ රුවක් මවාපාන බව දකින්නට පුළුවන්. අපව ගොඩනැගිල්ල තුළට ඇදගන්නේ ඒ කළු ගල් වලින් සැදි පවුරුම ය පෙනුම මයි. ඔබේ ආත්මය දෙවියන් අභිමුව ට රැගෙන යාමට නම්, ඔබ ඒ කුඩා ලී දොරටුවෙන් ඇතුළු විය යුතුම යි.

රළු බව සහ දුහුල් බව අතරත්, ඝන බව සහ මුදු බව අතරත් ඒ මේ අත ලියවෙන කදිම සංවාදයක්! පිටත ට දිස්වන එම කළු ගල් බිත්තිය ට සමාන්තර ව අනෙක් පස නිර්මාණය වී ඇත්තේ විසල් වීදුරු ජනෙල් වලින්. ඔබේ සිත එළියට ඇද ඈතින් පෙනෙන හරිත නිම්නය ට විසිකිරීම ට ඔබ ට සිතෙණු ඇත. පය ට රළු ගල් පොළව, ඉහළින් ලී පටි වලින් සැදි කුහර සිවිලිම. පාවහන් පළදා සිටීමෙන්, ඔබ ඔබේ සංවේදී බවට සමු දෙන්නේ ඇයි? දේවත්වය අභිමුව ඔබ තවත් එක් කුඩා මිනිසෙකු බව කියාපෑම ට මහ පිළිම හෝ විශාල අලංකරණ විස්තර ඒ සරළ අවකාශයට අවශ්‍යවී නැත. නමුත් ඔබ තවත් සාමාන්‍ය මිනිසෙකු බව එහි ඇතුල් වන විට ම ඔබට දැනෙනු ඇත. නවීන පන්නයේ පන්සලක ට ගොස් ඔබ සොයන ධර්මය හෝ හිතේ සැහැල්ලු බව කිසිදාක ඔබ ට ලැබී ඇත්ද? විසල් පිළිම, අධි වර්ණ චිත්‍ර, කැටයම් කණු සහ මාළිගා පියසි වලින් හෙබි මහා විහාරයක ට වඩා මේ දෙව් මැදුර තුළදී දැනෙනනේ හද්දා පිටිසර ගමේ පන්සල ක වැළි මළුව ට වැටී ඇති දිරා ගිය බෝ පතක් දුටු විට දැනෙන ආකාරයේ පහන් හැගීම ක්.

වාස්තු ව්ද්‍යා ශිල්පය තුළින් මිනිසෙකු ට බලකරනවා ට වඩා දැනෙන් ට හැරිය හැකි බවට මෙය කදිම උදාහරණයක්. යාඤාකිරීම සදහා සැළසුම් කර ඇති අවකාශය හිතාමතා ම නිර්මාණකරුවා විසින් එක් පසෙක ට බර කොට ඇත්තේ, මෙතෙක් කල් දෙවියන් ඇදහූ සාම්ප්‍රදායිකත්වය ට සමුදීම ට මෙනි. නමුත් ඒ තුළින් බිහිවන කදිම අසමතුළිත සම්පිණඩනය නිර්භීත ප්‍රකාශනයක්. ලී බංකු කිහිපයෙහි සරළ නිමාව ඒවා එහි ඇති බව පවා අමතක කරන්නක්.

ආසනාගාරය අල්තාරය දෙසට විහිදෙන්නේ දැනෙන නොදැනෙන තරමේ බෑවුමක් සහිතව රළු කළුගල් බිම් ඇතිරුම මතින්. ඉහළින් සිවිළිම නිමවා ඇත්තේ හතරැස් හැඩැති කොණාකාර සරළ කුහර හතර ලී පටි වලින් මනාව ආවරණ ය කිරීමෙන්. පුදුමය නම් මෙයයි. ඔබ සෙමෙන් අල්තාරය අසළ ට පිය මනින විට ඔබ සහ සිවිළිම අතර ඇති අවකාශය ක්‍රමයෙන් විශාල වන බව ඔබට දැනේවි. ඒ පොලොවෙහි සකසා ඇති දළ බෑවුම නිසයි. එම කුඩා දෙව් මැදුර තුළ ඇති ඉතා ම සෞන්දර්‍යාත්මක විශ්මය එයයි. දේවත්වය පාමුල ඔබේ අගුටුමිටි බව ඔබ ම පසක් කර ගන්න.

පන්සලක හෝ පල්ලියක ප්‍රධාන දේව හෝ බුද්ධ පිළිමය එතරම් කුඩාවට සහ සරළව පිහිටුවා තිබීම ඇස් අදහාගත නොහැකිතරමේ සතුටක් ගෙනදෙන්නක්. පිළිමයකට කළ නොහැකි දෙයක් සංවේදීව සැළසුම් කළ අවකාශයකින් කළ හැකි බවට කෙරුණු ආශචර්යමත් අත්හදාබැලීමක් ලෙස එහිදී දැනුණු හැගීම තවමත් හිත තුළ දෝංකාර දේ. කුඩා දේව රූපය වටා සැදි රන් ආලේපිත සරළ වෘත්තය හරියට ම ඒ ඉදිරිපිට සිටගත් විට ඔබ සිත තුළ ඉපිළයන පහන් බවෙහි විශ්මය ම වැනිය. හතරැස් අල්තාරය ඉහළින් ඇති වීදුරු පියස්ස මතින් කඩා හැළෙන ආලෝක වර්ශාව ට තෙමෙන්න. දෙවියන් වෙත ළගා වීමට සංකීර්ණත්වය නමැති පාරෙහි වේගයෙන් දුවනවාට වඩා සරළ බව තුළ නතරවීමෙහි මාර්ගය ඉතා කෙටි බව එවිට ඔබට දැනේවි.

ආගම සහ ආගමික නායකයින් කළයුත්තේ ඉගැන්වීම හෝ පෙරළි කිරීම නොවෙයි ආදර්ශමත් වීම බව මෑතකදි කතා බහකදි කියවුණා. ආගමික ස්ථානයක ගොඩනැගිළි සහ අවකාශ වලිනුත් විය යුත්තේ එය ම බව මට මතක් වුණේ දැන්. දකින දකින හැම තැනම බුදු පිළිම බිහි වෙනවා, ටජ්මහළට වඩා අලංකාර කෑටයම් පිරුණු පන්සල් ඉදිවෙනවා. හැමදේකින්ම කරන්න හදන්නේ බල කිරීම් කරන්න. ආදර්ශදෙන්න (Inspire) කවුරුවත් නැහැ. ගමේ පන්සලේ වැළිමළුව අසළ බෝ පත් සෙවණ යට හිත වත් සන්සුණ් වෙන්න තිබුණා. ධර්ම ය දර්ශනයක් විදිහට තමන් අභිමුවට ගෙන එන පන්සලක ට මිස හිත සුණුවිසුණු කරන පෙරළිකාර ආගමික සාශ්තෘවරුන් අරක්ගත්ත මාළිගා ගැන දෙපාරක් හිතන්න වෙනවා.

මේ සිතුවිලි ඔස්සේ ටිකක් වැඩිපුර හිතන්න පෙළඹුවේ ඒ සරළ දෙව්මැදුර. එහිදී ලද අත්දැකීම මේ ජපන් හයිකුවට සමානයි වගේ දැනෙනවා.

//හන්දියේ ඇහුණා
බණ දෙශනාවක්.
තේරුණේ නෑ තමයි
ඒත් හිත සතුටුයි//

(බණ්ඩාරවෙළ නාසරත් දෙව් මැදුර නිර්මාණය වුණේ වාස්තු විද්‍යාඥ ජෙෆ්රි බාවා මහතා අතින්. වාස්තු විද්‍යාඥ උල්රික් ප්ලෙස්නර් මහතා ඒ සදහා විශාල නිර්මාණ දායකත්වයක් දැකවූ බවද කියවේ.)

සුමුදු අතුකෝරල
(2013 ඔක්තෝබරය)

5 comments:

  1. I think It's the other way round...This is Pleasner's work and Bawa only was on his side...many of Bawa's work...the philosophy was Pleasner's......Bawa was only the artistic end...the many original ideas were Plesners's and he was not such a good artist like Bawa and he would not meet the artistic end that Bawa was capable of.....great writing Sumudu...I am still to see this great work

    ReplyDelete
  2. මේ නිර්මාණයට දැන් බොහොම වයස උනත් මට නම් තාම අලුත්ම අලුත් .. ඒ අලුත් නිර්මාණ අංග අතර අතරමං වෙලා තිබුණු අදහස් වලට වචන වලින් හැඩයක් දුන්නට බොහොම ස්තුති. මේ අග්‍රගන්‍ය වචන පෙළහරින් දැන් ඒ සුන්දරත්වය බොහොම තීව්‍රයයි..

    ReplyDelete
  3. I'm happy at least few people spent time to read this. And I appreciate your comments. I thought of continue writing in Sinhala because we always complain that society is unaware of what architects do and nobody is willing to express via a language they can read and understand. So I hope these will be read by non architects and those who read these will share it among public.
    to Jana- Why don't you start writing? I know you also have so much to say.

    ReplyDelete
  4. වාස්තු විද්‍යාත්මකව ගොඩනැගිල්ලක් ගැන අගයන්න මට දැනුමක් නැතත් පරිසරය එක්ක ගොඩනැගිලිවලට බද්ධ වෙලා අපේ හිතට කතා කරන්න පුලුවන් බව විස්වාස කරන කෙනෙක් විදියට මේ රචනය මට දැනෙන්නෙ මෙන්න මෙහෙමයි.
    ලංකාවෙ බහුතරයක් දෙනා තාමත් ගොඩනැගිලි ගැන හිතන්නෙ ජනෙල් දොරවල් ලීවලින්, වහලෙ උලුවලින්, බිත්ති ගඩොලින් කියන තැන ඉඳලම තමයි.. හිස් අවකාශය රඳවාගැනීමෙන් ගෘහ අභ්‍යන්තරයට එන අලංකරණය ගැන නාඳුනන මිනිස්සු හැම තිස්සෙම උත්සහ කරන්නෙ අල්ලපු ගෙදර තියෙන තඩි පුටුවට නොදෙවෙනි එකක් තමන්ගෙ ගෙදරටත් ගෙනල්ල සාලෙ මැද්දෙ තියන්න‍. පන්සල්වලට හරියන කැටයම් දාපු තාප්පවලින් ගෙවල් වට කරන්න. පිහිටි පොළව සමතල කරල ඒ මත පුලුවන් තරම් තට්ටු උඩට නග්ගන්න.

    එ හන්ද වෙන්න ඇති ඔය වගේ පරිසරය එක්ක බද්ධ වෙලා, වෙනමම අපේ හිත ඇතුලෙ තියෙන හැඟීම් එක්ක කතා බහ කරන, අපිව බිත්ති, ජනෙල් වහළ ගෘහ භාණ්ඩවලින් එහා මානයකට අරන් යන ‍ගොඩනැගිලි මම ලංකාවෙ නම් දැකල තියෙන්නෙ හරිම අඩුවෙන්..

    මට දැනෙන විදියට ආගම් අතර පමණක් නෙවෙයි, එකම ආගමක නායකයින් අතර පවා ඇති තරඟය වඩා පිලිබිඹුවෙන්නෙ දැන් හැදෙන ආගමික ගොඩනැගිලිවලින්.
    ඒ හැම තැනකම තියෙන්නෙ ගොඩ ලොකු කරගැනීමේ සටනක්!!
    ඒක ඒ වටා රොක්වෙන මිනිස්සුන්ගෙ තරගකාරී ජීවන රටාව එක්ක බද්ධ වෙනව ඇති.. ඒත් පහන් සුවය හොයන මනුස්සයෙක්ට ඒක මහා වදයක්... බන්ධනයක්..
    නාසරත් දෙවුමැදුරෙදි සුමුදුට ඇති වුණ ගමේ පන්සලක දිරාපත් ‍බෝපතක් දුටුවා වගේ යැයි විස්තර කළ පහන් හැඟීමම මට තුරු හෙවනින් වහන් වෙච්ච සුදු වැලි බිම කෙළවර පොඩි පඩිපෙලක් මත්තෙ මැටි පිරියම් කරපු අපේ ගමේ දේවාලෙදි ඇති වෙන්නෙ මහා වාස්තු විද්‍යාත්මක අගයක් නැති ඒ ගොඩනැගිල්ලටයි, නාසරත් දෙවුමැදුරටයි දෙකටම පොදු වුණු සරලබව නිසා වෙන්න ඇති.
    දෙවියන්ට වැඳුම් පිදුම් කරන, යමක් ඉල්ලන අභිප්‍රායක් නැතුව පහන් හැඟීම හොයාගෙන එතෙන්ට යන හන්ද වෙන්න ඇති..

    ගොඩනැගිලි පරිසරය හා බද්ධ වීම අපිව හිතන්න පොළඹවනව.. අපිට අපි මේ මහා විශ්වයේ අංශුමාත්‍රයක් පමණක් බව සිහිපත් කරවනව..
    මට මේ ලිපිය දැනෙන්නෙ අන්න එතනින්.. මේ වගේ තැනකදි අපේ හිතේ ඇති වෙන හැඟීම් විස්තර කරන්න හරි අමාරුයි.. ඒව පුද්ගලබද්ධ විඳීම්.. ඊටත් වඩා ඒ හැඟීම් වාස්තු විද්‍යාව එක්ක ගලපල ලියන එක අසීරු වැඩක්!!
    ස්තූතියි සුමුදු
    නැවත නැවතත් ලියන්න..

    ReplyDelete
  5. හිතවත් ජනනි
    ඔබේ ඇගයීම පවා වෙනම ලිපියක් වගේ. බොහොම ස්තුතියි කියෙව්වට. ඊටත් වඩා ඒක ගැන තමන්ගේ අදහස් දැක්වීම ට. ලියන්න ආස හිතෙන්නේ කියවන්න පිරිසක් ඉන්න බව දැනෙනකොට.

    ReplyDelete