Sunday, September 15, 2019

ඉරි

‘සිතුවමක් යනු රේඛාවක් චාරිකාවක් යාමයි’ ඉරි නැත්නම් රේඛාව යන්නට පෝල් ක්ලී නම් චිත‍්‍රශිල්පියෙකු විසින් ලබාදුන් අදහසක් තමයි ඒ. මෑතකදී සුජිත් රත්නායක විසින් පැවැත්වූ ‘තනි අඛණ්ඩ රේඛාව’ චිත‍්‍ර ප‍්‍රදර්ශනයේ අපූරු චිත‍්‍ර එම අදහස ඒත්තු ගන්වන්නක් ලෙස මෙවෙලේ මතකයට නැගේ. සුජිත් තනි රේඛාවක් අලංකාර මෙන්ම ත‍්‍රාසජනක චාරිකාවක් අඛණ්ඩව රැුගෙන ගොස් අවසන අපූරු රේඛා සිතුවම් ගොඩනගයි. පෑනක් හෝ පැන්සලක් කඩදාසියක් හමුවන සෑම විටකම ප‍්‍රතිඵලය ඉරකි. අකුරු, ඉලක්කම් හෝ චිත‍්‍ර, මේ සෑම දෙයකම ඇරඹුම ඉරකි. චිත‍්‍ර කලාව තුළ රේඛාවට තහංචි නැත. කලාකරුවා කැමති ලෙසකට කැමති හැඩයකට රේඛා ඇඳ තම නිදහස් සිතුවිලි රේඛා දිගේ ගලායාමට සලස්වා සම්පූර්ණ සිතුවම නිමවෙයි. 

මොන්ඩි‍්‍රයෑන්ගේ වර්ණ සංයෝජන කොටු චිත‍්‍රවලත්, ඇන්ඩි වෝහොල්ගේ ග‍්‍රැෆිටි ඌරුවක් ගත් චිත‍්‍රවලත් ජ්‍යාමිතික රේඛාවට සහ රේඛාමය සම්පිණ්ඩනයට වැදගත් ස්ථානයක් හිමි වූ බවක් පෙනෙයි. ඉතාමත් ආවේණික සිනමා ශෛලියකින් නිර්මාණකරණයේ යෙදෙන වෙස් ඇන්ඩර්සන් තම සියලූම නිර්මාණවල, රූප රචනය තුළ රේඛාව සහ ජ්‍යාමිතියට දැඩි අවධානයක් දක්වයි. ලොව බිහිවූ අපූර්වතම සිනමාකරුවකු වන අන්ද්‍රෙ තර්කොව්ස්කිගේ අතිශය අලංකාර රූපවලින් යුතු සිනමා කෘති තුළ රේඛීය සම්පිණ්ඩනයට ඔහු ලබාදී ඇති වැදගත්කම සෞන්දර්යාත්මක රූපරාමු ගොඩනැගීමට විශාල දායකත්වයක් දක්වා ඇති බව පෙනේ.
ජ්‍යාමිතික හැඩ තල සමග ගනුදෙනු කරන ආකිටෙක්චර්, ග‍්‍රැෆික් නිර්මාණ හෝ සිනමා සහ ඡුායාරූප කලාවන් තුළදී එම නිදහස් රේඛාවට හිමි නිදහස් බවට යම් සීමා පැනවෙයි. ඒ එම කලා ද්විත්වයම කිසියම් නිශ්චිත අරමුණක් වෙනුවෙන්, ප‍්‍රායෝගික මෙන්ම භාවිතමය තලයක් තුළ නිශ්චිත පිරිසක් අතරට යායුතු නිසාවෙනි. එයිනුත් ග‍්‍රැෆික් නිර්මාණ කලාව තුළ රේඛාව යම් නිදහසක් අත්විඳින්නේ එය කඩදාසියකින් හෝ ඩිජිටල් තිරයකින් එපිටට යන්නේ ඉතාමත් කලාතුරකින් බැවිනි. නමුත් විශ්වීය අනුපාතය නැත්නම් ඨදකාැබ චරදචදරඑසදබ යන සියලූ කලාවන්ට පොදු ධර්මතාව තුළ ජ්‍යාමිතික රේඛාවට ලැබෙන්නේ සුවිශේෂත්වයකි. 
ආකිටෙක්චර් යනු සම්පූර්ණයෙන්ම භාවිතමය කලාවකි, විද්‍යාවකි. රේඛාවට ආකිටෙක්චර් තුළ ඉතාම වැදගත් ස්ථානයක් හිමිවුවත් ඒ එහි නිදහස් බවට වැට බැඳෙන තහංචි සමුදායක් සමගිනි. ආකිටෙක්චර් තුළ දී රේඛා බොහෝ විට ජ්‍යාමිතික වේ. සැලසුමක සිට අවසන් ත‍්‍රිමාන ඵලය දක්වා ආකිටෙක්චර් තුළදී රේඛා බොහෝ විට හතරැුස් ය, නැත්නම් වෘත්තාකාර ය. ආකෘතිමය වශයෙන් රේඛාවල ජ්‍යාමිතික බවට අභියෝග කළ නිර්මාණකරුවන් නැතුවා නොවේ. ලි කබුසියර් ප‍්‍රංශයේ සිට ලෝක ආකිටෙක්චර් සංස්කෘතියට ජ්‍යාමිතික රේඛාව අබිබවා ගිය රොන්චැම්ප් දෙව් මැදුර වැනි අපූරු සිහිවටන දායාද කළේය. සහා හඩිඞ් යනු තම හිතුමතේට ගොඩනැගිලිවල ආකෘතිය ඒ මේ අත ඇඹරූ දක්ෂ වාස්තු විද්‍යාඥවරියකි. ලෝක ආකිටෙක්චර් කලාව තුළ තම නිදහස් රටාවන් කඩදාසිවලින් පිටතට ගෙන ගොඩනැගිලි ලෙස සැබෑවටම නිමවන්නට තරම් ඇය නිර්භීත විය. 
බොහෝ විට තත්කාලීන හෝ පාරම්පරික ආකිටෙක්චර් සම්ප‍්‍රදාය තුළ සියලූම නිර්මාණ ජ්‍යාමිතික වේ. භාවිතමය කලාවක් ලෙස එහි භාවිතාකරන්නන්ට භාවමය අත්දැකීමක් ලබාදීමට මෙන්ම, ඒ අත්දැකීම කඨෝර එකක් නොවීමට රේඛාවන්හි පිහිටවීම ආකිටෙක්චර් තුළදී ඉතා ම වැදගත්කමක් උසුලයි. ආකිටෙක්චර් සම්බන්ධව රේඛාවන්හි පිහිටීම සහ එහි වැදගත්කම සරල සංකල්ප ලෙස වටහාගන්න උත්සාහ කරමු. 
ආකිටෙක්චරල් නිර්මාණයක සැලැස්ම සරල ජ්‍යාමිතික බෙදා වෙන්කිරීම් වලින් සකස්වීම එම සැලැස්ම තුළ අවකාශයන්වල සම්බන්ධතාවන් සහ ගලායෑම පහසුකරයි. සුවිශේෂී භාවිතාවක් හෝ අත්දැකීමක් වෙනුවෙන් කෙරෙන, කෞතුකාගාර වැනි ගොඩනැගිලි ඇරෙන්න වෙනත් නේවාසික හෝ සරල භාවිතයන් උදෙසා නිර්මාණය වන ගොඩනැගිලිවල සැලසුම් තුල තිබිය යුතු සරල ජ්‍යාමිතික බෙදීම ජීවිතය පහසු කරයි. එසේම එකිනෙකට මුහුණලා පවතින ජනෙල් සහ දොරවල් සමාන්තරව පිහිටුවීම, ඒකීය රේඛාවක පිහිටුවීම සහ ඇදකුදවලින් තොරව භෞතිකව නොපෙනෙතත්, එකිනෙකට පරස්පර නොවන මනස් රේඛාවක ස්ථානගත කිරීම වැදගත් වේ. ජනෙල් දොරවල් පමණක් නොව, බිත්ති, ගෘහ භාණ්ඩ, ගොඩනැගිල්ල සරසන මූර්ති, චිත‍්‍ර පවා එකිනෙකට සමපාතව ස්ථානගත කිරීම එම ගොඩනැගිල්ල භාවිත කරන අයෙකුගේ මනසට සහනයක්, සංවරබවක් ලබාදෙනු ඇත. විටෙක බිත්තියක් හරහා ස්ථානගත කරන ජනේලයක් හෝ ද්වාරයක් එම බිත්තියෙහි හරි මැදින් හෝ තුනෙන් එකක සම්පිණ්ඩන රීතිය මත පිහිටුවීම එම අවකාශයට විනයක් ලබා දෙන අතර, එම ජනෙල් හෝ ද්වාරයන්හි උස මට්ටම ඒකීය රේඛාවක පිහිටුවීම මිනිස් ඇසට ප‍්‍රියමනාප වේ.

සැලසුම පමණක් නොව, ගොඩනැගිල්ලක ආකෘතිය, අභ්‍යන්තර සහ බාහිර පෙනුම නිර්මාණය කිරීමේ දී පවා දක්ෂ වාස්තු විද්‍යාඥයකු රේඛාවල පෙළගැස්ම කෙරෙහි වැඩි සංවේදීබවක් දක්වයි. එහිදීත් ජනෙල් දොරවල් හෝ වෙනත් අංගවල සමපාත බව, උස මට්ටම්වල සමානබව, තට්ටු කිහිපයක ගොඩනැගිල්ලක් නම් ජනෙල් එක සමාන පළලින් යුතුව එක රේඛාවක පිහිටුවීම, පිටත සිට එය දකින මිනිස් ඇසට සන්සුන් බවක් ගෙනදෙයි. එමෙන්ම එම ගුණය ගොඩනැගිලිවලට යම්කිසි පිළිවෙළක් ගොනුකරයි. 
ලොව ඕනෑම කලාපයකට අයත්වන පාරම්පරික ගොඩනැගිලි ආශ‍්‍රිතව මෙම ජ්‍යාමිතික රේඛා පිහිටීම අධ්‍යයනය කළ හැකි අතර විශේෂයෙන් ආගමික ගොඩනැගිලි තුළ දේවත්වය සහ ශ්‍රේෂ්ඨත්වය හෝ දේශපාලනික ගොඩනැගිලි තුළ මිනිසාට වටා ඉහළ බව සහ බල පරාක‍්‍රමය විදහාපෑමට මෙම ගුණාංගය භාවිත කළ බව පෙනේ. ලාංකීය ගොඩනැගිලි නිර්මාණ කලාව තුළ සුවිශේෂ ස්ථානයක් සටහන් කරන ජෙෆ්රි බාවා විසින් නිර්මාණය කෙරුණු බොහෝ ගොඩනැගිලිවල රේඛාවල සංවර සහ සමපාත පිහිටුවීම ප‍්‍රබල ලක්ෂණයක් ලෙස කැපී පෙනේ. ඔහුගේ ගොඩනැගිලි සියල්ලක්ම පාහේ සැලැස්මේ ඇති සරල ජ්‍යාමිතික බව එම ගොඩනැගිලි තුළ නිවා සනසන පහන් බවක් නිර්මාණය කරයි. ඒ ආභාසය ඔහු ලබන්නේ ලාංකික පැරණි ගොඩනැගිලි සහ පැරණි යුරෝපීය ගොඩනැගිලිවලින් බව හඳුනාගත හැක. 
ගොඩනැගිලි නිර්මාණය තුළ රේඛාව තීරණාත්මක සාධකයක් ලෙස පිළිගන්නා තවත් විශිෂ්ට නිර්මාණකරුවෙකු ලෙස ජපානයේ ටඩාඔ අන්ඩෝ හඳුනාගැනීමට පුළුවනි. ඔහු ගොඩනැගිලි අංග සහ ස්වාභාවික ආලෝකය යන කරුණු සම්බන්ධව ජ්‍යාමිතික රේඛාවට ලබා දෙන ඉඩකඩ පිළිබඳ, ඔහුගේ අලංකාර ගොඩනැගිලි දෙස අවධානය යොමුකරන අයෙකුට මනාව පැහැදිලි වනු ඇත. 
‘මම විශ්වාස කරනවා ආර්කිටෙක්චර් හරහා මිනිසුන් ජීවත්වන විදිහ තරමකින් හෝ වෙනස් කළ හැකි බව’
අන්ඩෝ මෙම ප‍්‍රකාශය කරන්නේ ජ්‍යාමිතිය සහ රේඛාව සම්බන්ධ ඉහත සංකල්ප පෙරදැරි කරගෙන බව මගේ හැඟීමයි.
ආකිටෙක්චර් විෂයක් ලෙස හැදෑරූ නිර්මාණකරුවන් පමණක් නොව, සිනමාකරුවන්, දක්ෂ ඡුායාරූප ශිල්පීන් පවා රේඛාව, සමපාත බව, රේඛාවක අඛණ්ඩ පිරිසිදු බව කෙරෙහි දැඩි අවධානයක් දක්වයි. රේඛාවන්හි එම සරල ගුණය පවත්වා ගැනීමට නොහැකි වන විට ඔවුහු නොසන්සුන් වෙති. නමුත් ලොව සියලූ ශාස්ත‍්‍රීය රීති ඇත්තේ ඒවා කඩා නව රීති බිහිකර ගැනීමටයි. ඒ ඒ ක්ෂේත‍්‍ර තුළ අභිවෘද්ධිය සඳහා නම් රීති කැඞී නව සංකල්ප බිහිවිය යුතුය. නමුත් ආර්කිටෙක්චර් වැනි භාවිතමය කලාවක ඉහළම ඵලය විය යුත්තේ මිනිසාගේ සුව පහසුව, ඔවුනට වඩා උසස් ජීවිතයක් ලබාදීම සහ ආධ්‍යාත්මික වර්ධනයයි. 
ඉතින් ජ්‍යාමිතික රේඛා සංකල්පය අබිබවා ඒ අරමුණු ඊට වඩා ඉහළින් සාක්ෂාත් කරගත හැකි නම් එයට ඉඩකඩ ඇහිරී නැත. 
සුමුදු අතුකෝරල

පරිමාණ

සාමාන්‍යයෙන් මිනිසුන්, වෙනත් සත්වයන් හෝ වස්තූන් තේරුම් ගන්නා ප‍්‍රධාන සාධකයක් ලෙස පරිමාණය හඳුනා ගැනීමට පුළුවනි. ඉංග‍්‍රීසි භාෂාවේ Scale හෝ Proportion යන වචන මගින් එම අදහස ඉතා හොඳින් ඕනෑම අයෙකුට වටහා ගත හැකි වුවත් සිංහලෙන් එම අදහසම ප‍්‍රකාශ කළ හැක්කේ පරිමාණය හෝ පරිමාව යන වචනවලින් විය යුතුය.

තමන්ගේ ශරීර ප‍්‍රමාණයට විශාල හෝ කුඩා ලෙස අප අනෙකුත් සත්වයන් හෝ වස්තූන් විනිශ්චය කරන්න හුරු වී ඇත්තේ නිතැතින්ම ය. මහ විශාල කඳු ශිඛරයක්, අනන්ත අප‍්‍රමාණ අහස් කුස, ගව් ගණන් ගැඹුරු මුහුද ලෙස අනෙකුත් වස්තූන් තේරුම් ගන්නෝ වෙත්. ඊට අනෙක් පසින්, ඉතා කුඩා වැලි කැටයක්, පුංචිම පුංචි මී මැස්සෙකු හෝ පෙනෙන නොපෙනෙන මල් රේණුවක් වශයෙන් ඉතා කුඩා දේ අබිමුව යෝධයන් සේ නැගී සිටිමු. ගලිවර්ගේ වීර චාරිකාව වැනි පැරණි කතාවකත්, හෝර්ටන් හියර්ස් අ හූ වැනි මෑතකාලීන ඇනිමේෂන් චිත‍්‍රපටයක වුවත් මේ පරිමාණික සංකල්පය අපට විවිධ ආකාරයෙන් අර්ථ ගන්වයි. 

චිත‍්‍ර කලාව, ඡුායාරූපය සහ සිනමාව වැනි රූපය මූලික කරගත් කලාවන් තුළ පරිමාණය යන සංකල්පය නිතැතින්ම වැදගත් ස්ථානයක් ගනී. ඕනෑම චිත‍්‍ර ශිල්පියෙකු තම චිත‍්‍ර සම්පිණ්ඩනය කිරීමේදී එක් එක් වස්තුවට සමස්ත වියමන මත නිසි පරිමාණයක් ලබාදෙන්නේ ඔහුට හෝ ඇයට ප‍්‍රකාශ කිරීමට ඇති හැඟීම පාදක කරගෙනය. 
සැල්වදෝර් දාලි ලෝ ප‍්‍රකට තාත්විකත්වය අබිබවා මායාමය ලොවකට අප රැුගෙන යන චිත‍්‍ර ශිල්පියෙකි. ඔහුගේ චිත‍්‍ර තුළ බහුබූත සත්වයන්, අහසේ පාවෙන ඇස් සහ දියවී වැක්කෙරන ඔරලෝසු අතර පරිමාණය කෙරෙහි ඔහු දක්වා ඇති කැමැත්ත අපූර්වය. යථාර්ථය තුළ ඇති කිසිවක් ඒ ආකාරයෙන්ම චිත‍්‍රයට නැඟීම ඉතා අලස කටයුත්තක් ලෙස සැලකූ දාලි, මායාකාරී ඇතුන් සිහින් සහ උස ලෙසත්, අද්භූත සත්වයන් පාමුල මිනිසුන් පරිමාණිකව කුඩාවටත් සිතුවම් කළේ සුවිශේෂ ප‍්‍රකාශනයක් කිරීම සඳහා විය යුතුය. 
ටාර්සෙම් සිං ඉන්දියානු සම්භවයක් ඇති ඇමරිකානු සිනමාකරුවෙකි. එතරම් කතාබහට ලක් නොවූ ඔයැ ක්‍ැකක සහ ඔයැ ත්‍්කක යන අතිශය සෞන්දර්යාත්මක චිත‍්‍රපට ද්විත්වයේ නිර්මාණකරුවා ඔහුය. ඒ ඒ රූප රාමුවලට අනුව සෞන්දර්යාත්මක බව සහ අර්ථ නිරූපණය සඳහා ඔහු පරිමාණය හෙවත් ඒක එක් චරිතයට හෝ වස්තූන්ට අනුරූපව අවකාශය රූපරාමුවට හසුකර ගැනීම අතින් සුවිශේෂ දක්ෂතාවක් සහ අවධානයක් ඔහු දක්වයි. විශාල අවකාශ තුළ කුඩා ලෙස චරිත පිහිටුවීම මගින් හුදකලා බවක් සහ පේ‍්‍රක්ෂක සිත් තුළ යම් කිසි කුහුලක්, විස්මයක් ඇති වන ලෙස රූපරාමු ගොඩනැගීමට ඔහු ප‍්‍රිය කරයි. 
සර්ජියෝ ලියෝන් ඉතාලි සම්භවයක් සහිතව ඇමරිකානු සිනමාවට ගොඩබැස, ලෝක සිනමාවට සුවිශේෂ චිත‍්‍රපට ජෝනරයක් හඳුන්වා දුන් සිනමාකරුවෙකි. The Good, The Bad and The Ugly සහ For a few dollars more වැනි ගොපලූ හෙවත් ක්‍දඅඉදහ ජෝනරය සිනමාවට හඳුන්වා දුන් පුරෝගාමියෙකි ඔහු. දැවැන්ත, නිමක් නොපෙනෙන මෙක්සිකානු වැලි කතර මැද චිත‍්‍රපටවල චරිත හුදෙකලා කර, විශාල අවකාශය මැද එම චරිත ඉතා කුඩා ලෙස ස්ථානගත කරමින් ඔහු සිනමා රූපය පරිමාණය යන සංකල්පය තුළින් වෙනත් මානයකට ගෙන ගියේය. 
එමෙන්ම 2013 දී අල්ෆොන්සෝ කූරන් විසින් හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් ඇකඩමි සම්මානය දිනාගත් Gravity චිත‍්‍රපටයද මිනිස් ඇසට සාපේක්ෂව පරිමාණය යන සංකල්පය තේරුම් ගැනීමට උදව් වන අලංකාර සිනමා රූපරාමු බොහොමයකින් සමන්විත විය. තම අභ්‍යවකාශ යානයෙන් මිදී, ඈත අඳුරු විශ්වයේ හුදෙකලාව පාවී යන සැන්ඩ‍්‍රා බුලොක් අපට කියා දෙන්නේ මුළු මහත් විශ්වයේම පරිමාණයට අනුව අපේ කුඩා ලිලිපුටු බව නොවේද? 
දැන් අපි සිනෙමායාවෙන් මිදී, වැළකී සිටිය නොහැකි කලාත්මක විද්‍යාව, ආර්කිටෙක්චර් දෙසට හැරෙමු. ආර්කිටෙක්චර්වලදී, ගොඩනැගිල්ලක් හෝ අභ්‍යන්තර අවකාශයක් මිනිසා විසින් වටහා ගන්නට හේතු සාධක වන මූලිකම ලක්ෂණයක් වන්නේ පරිමාණයයි. මිනිසාගේ ඇසට අනුව, ගොඩනැගිල්ලක බාහිර පෙනුමෙහි විශාලත්වය හෝ කුඩා බව ඔහු දුර සිටම අත්දකී. එම විනිශ්චය මත එම ගොඩනැගිල්ල යම්කිසි සංඥාවක් මිනිසා තුළ උපදවන අතර මිනිසා එම ගොඩනැගිල්ල සමග ඇති කරගන්නා පළමු ගනුදෙනුව එයයි. මිනිසා යටහත් පහත් තැනැත්තෙකු බවට පත්කරමින් විසල්, ගොළු යෝධයන් ලෙස සමහර ගොඩනැගිලි ඔරවාගෙන සිටින අතර, ඇතැම් නිහතමානී ගොඩනැගිලි මිනිසාගේ සිතට පහන් හැඟීම් දනවා ඔවුන් ආදරයෙන් පිළිගනියි. 

දැවැන්ත චෛත්‍ය, දෙව්මැදුරු හෝ රාජ්‍යත්වයේ ඔද තේජසින් පිම්බී සිටින පැරණි පූජනීය ගොඩනැගිලි සහ රජමාලිගා ඉදිරිපිටදී, ඔබ ඉතා සුහුඹුල් මිනිස් ප‍්‍රාණියෙකු බවට පත්කර, ඒ ගොඩනැගිලි තුළ ජීවත් වන්නේ සාමාන්‍ය මිනිසාට වඩා බල පරාක‍්‍රමයෙන් සපිරි සුවිශේෂී ජීවීන් පිරිසක් බව ඇස්පනාපිට හඬගා නොකියන්නේද? රුවන්වැලි සෑ මළුවේ ආලෝකමත් ශ්වේත වර්ණ මතුපිට ඉදිරියේදීත්, ජේතවන සෑයේ පාංශු පැහැ දැවැන්ත බව අබියසදීත්, ඔබට ඔබේ කුරාකුහුඹු මිනිසත් බව පසක් නොවේද? 

රාජ්‍යත්වය විසින් ආගම පළිහක් ලෙස යොදාගෙන යම්කිසි දේශපාලනික අරමුණු වෙනුවෙන් ගොඩනැගිලි භාවිත කළත්, සමහර විට ඒ දේශපාලනික අභිලාෂයේ එකම හොඳ, අනාගතය පවා පුදුම කරවන සුවිශේෂ මෙන්ම අලංකාර ගොඩනැගිලි රටකට දායාද වීම විය හැක. රෝමයේ විශාල බැසිලිකා දේවස්ථානයත්, ඊජිප්තු පිරමීඩත්, අග‍්‍රාවේ ටජ් මහලත් එසේ ගෘහනිර්මාණ ශිල්පයේ ප‍්‍රධාන සංකල්පයක් වන ‘පරිමාණයේ’ අපූර්වත්වයෙන් දේවත්වය සහ රාජ්‍යත්වය මූදුන්පත්කොට සෙසු මිනිස් සංහතියම ලිලිපුට්ටන් බවට පත්කළ ඓතිහාසික සංධිස්ථානයන්ය. 

ලංකාවේ පැරණි සහ අලූත් පාර්ලිමේන්තු ගොඩනැගිලි ආශ‍්‍රිතව එම අදහස ඔස්සේ කල්පනා කළහොත් ආර්කිටෙක්චර් තුළ පරිමාණය යන සංකල්පයට අදාලව දේශපාලනික අදහසක් ගොනුකර ගැනීමට ඔබට අපහසු නොවනු ඇත. 

ගාලූමුවදොර පිටිය අබිමුව ෂැන්ග‍්‍රිලා සහ සෙසු කොන්ක‍්‍රීට් යෝධයන් පතිත වන්නට පෙර එහි තේජාන්විතව නැගීසිටි විශාල රෝම කුලූනුවලින් තම සිරස ඉහළට ඔසවාගෙන සිටි පරණ පාර්ලිමේන්තු යෝධයා ඔබට මතකද? අමතක නම් අදටත් එහි ගොස් මහා හෝටල් සේනාව අස්සේ තමන්ට හිමි අභිමානය අහිමි වී යන බියෙන් වැළපෙන ඒ යෝධයාගේ දුකට ඇහුම්කන් දීමට ඔබට හැකි වනු ඇත. පරණ පාර්ලිමේන්තුව මෙන් රෝම කුලූනු හෝ සෙල්මුවා ගතියකින් ඔබ ඉදිරියේ පරිමාණිකව ඉහළ එසවී නොසිටියත්, අලූත් පාර්ලිමේන්තුව දියවන්නා දිය තලය මත සාමාන්‍ය ජන ජීවිතයෙන් එපිට ඉහත්තාවක ස්ථානගත කිරීමේ දී බාවා මහත්තයාට ආර්කිටෙක්චර්, පරිමාණය සහ ඒ පිටුපස දේශපාලනික මතිමතාන්තර බල නොපාන්නට ඇතැයි සිතීමට මම මැලිකමක් දක්වමි. තරමක විශාල ගොඩනැගිල්ලක් ජලය මත විශාල පරාවර්තිත සෙවණැලි පතිතවන පරිදි සාමාන්‍ය මිනිසාට තරමක් ඈත ¥පතක පිහිටුවීම ආර්කිටෙක්චර්හි පරිමාණය යන සංකල්පය, දුර සහ ළඟ යන අර්ථ ඔස්සේ තේරුම් ගැනීමට හොඳ උදාහරණයකි. 

ජපානයේ සෙන් පන්සලක්, ඈත පිටිසර ගමක ඉතා පැරණි කුඩා පන්සල් බණ මඩුවක් හෝ කරගහගෙදර අම්බලම වැනි නිහතමානී, සිත් පහන් කරවන සරල ගොඩනැගිල්ලක ආකෘතියක් ඔබ ඉදිරියේ සිටගෙන සිටින ආකාරය ඔබට දනවන මිත‍්‍රත්වය පිටුපස සිටින්නේත් ගොඩනැගිලි නිර්මාණ ශිල්පයේ අපූර්ව සංකල්පය, පරිමාණය වේ. 

භාවිතමය කලාවක් ලෙස ආර්කිටෙක්චර් තුළදී පරිමාණය යන අදහස වඩාත් බලාත්මක වන්නේ, අභ්‍යන්තර අවකාශ නිර්මාණය සහ පරිභෝජනය ආශ‍්‍රිතවය. 

ආර්කිටෙක්චර්හි ආත්මය පිහිටන්නේ ගොඩනැගිලි අභ්‍යන්තරය තුළය. ත්‍දරප දෙකකදඅි මෙබජඑසදබ යන කියමන ලොව පුරා වාස්තු විද්‍යාඥයන් බොහෝමයක් එකඟවන සහ තම නිර්මාණකරණයේ දී සැලකිලිමත් වන සංකල්පයකි. ගොඩනැගිල්ලක අභ්‍යන්තර අවකාශයන්හි භාවිතය ඒ ඒ ගොඩනැගිලිවල බාහිර ආකෘතිය තීරණය කරනවා යන්න එම පිළිගැනීමයි. ඕනෑම අභ්‍යන්තර අවකාශයක දිග, පළල සහ උස එකතුව ගොඩනැගෙන පරිමාව එම අවකාශය තුළ සිටින මිනිසාගේ ආර්කිටෙක්චර් අත්දැකීම සම්පූර්ණ කරයි. 

දැන් අපි විසල් දෙව්මැදුරක අභ්‍යන්තර අවකාශයක අත්දැකීම ගැන විමසා බලමු. ඔබ එහි අභ්‍යන්තරයට ඇතුළු වනවාත් සමගම ඔබ අත්විඳින අත්දැකීම කුමක්ද? මහල් හතරක් හෝ පහක් උසැති දැවැන්ත අවකාශයක ඔබේ කුඩා බව ඔබ පසක් කර නොගන්නේද? දෙවියන් වහන්සේගේ මහා ගුණ බල ඉදිරියේ ඔබට පිහිට සහ ආරක්ෂාවත්, ඔබේ පව් කමා කරගත හැකි බවටත් ආර්කිටෙක්චර් හරහා ඔබට ඒත්තු ගැන්වීමට ගත් උත්සාහයකි ඒ. 
කලාගාරයක හෝ කෞතුකාගාරයක එහි ඇති කලාකෘති හෝ ඓතිහාසිකව වටිනා කියන දෑ නිදහසේ අත්විඳීමට ඔබට නිදහස් බවත්, සුවපහසුවත් අත්කර දීම සඳහා එවැනි ගොඩනැගිල්ලක බොහෝ අවකාශ ඒවායේ නිර්මාතෘ වාස්තු විද්‍යාඥයන් විසින් නිතැතින්ම පරිමාණිකව විශාල ලෙස සැලසුම් කෙරේ. විශාල පිරිසක් එක්වර එම අවකාශවල ගැවසීම එයට ප‍්‍රායෝගික හේතු සාධකය ලෙස පෙනී යතත්, පෞරාණික පිළිම, නටබුන් සහ ශ්‍රේෂ්ඨ කලාකෘති, සිතුවම් සහ පිළිරූවලට සාමාන්‍ය මිනිසාට වඩා තේජාන්විත බවක් ලබාදීම සඳහා එම අවකාශවල පරිමාණය විශාල වෙන්න ඇතැයි ඔබ කිසි දිනක සිතුවාද? 
ඔයැ ්‍යදකදජ්මිඑ ලෙස හඳුන්වන ලෝක ඉතිහාසයේ මහා කළු පැල්ලම, දෙවන ලෝක යුද සමයේදී නාසි හමුදාව විසින් යුදෙව් ජාතිකයන් මිලියන හයක් ඝාතනය කිරීමයි. එහිදී ඝාතනය වූ යුදෙව් ජාතිකයන් සිහිවීම පිණිස, ජර්මනියේ බර්ලින් නුවර ඉදිවුණු යුදෙව් කෞතුකාගාරය ලෝකයට බිහිවුණු ඉතා සුවිශේෂ ස්මාරක ගොඩනැගිල්ලකි. ඩැනියෙල් ලිබෙස්කයින්ඞ් (ෘ්බසැක ඛසඉැිනසබා* අතින් නිර්මාණය වූ මෙම ගොඩනැගිල්ල තුළදී, 
හොලොකොස්ට්හි භයංකාර බවත්, වේදනාවත්, පීඩනයත් ඒ තුළ ඇවිදයන්නෙකුට අත්විඳින්න සලසා ඇත්තේ, බිත්තිවල එල්ලූ ඡුායාරූප හෝ පිළිමවලින් නොවේ. එහි අභ්‍යන්තර අවකාශවල පිහිටුවීම, පරිමාණය සීමා කරමින් පීඩාකාරී ආතතියක් නිර්මාණය කිරීම, ආලෝකය සහ අඳුර සූක්ෂ්මව පාලනය කිරීම වැනි නිර්මාණාත්මක ක‍්‍රමවේද මගිනි. 

ඉතා උස් නමුත් පරිමාණිකව පටු අඩ අඳුරු අවකාශයක විටෙක ඔබට තනිවීමට සලස්වා ඇති අතර, ඇතැම් තැනක පටු පඩිපෙළක් ඉහළින්, අපිළිවෙළට ඒ මේ අත යැවූ කොන්ක‍්‍රීට් කදම්බ ඔබ තුළ දරාගැනීමට අපහසු පීඩාකාරී බවක් ඇති කරයි. අභ්‍යන්තර අවකාශ නිර්මාණය තුළදී පරිමාණිකව අවකාශ, උස්, පහත්, පළල් සහ පටු කරමින් සංවේදී අත්දැකීමක් නිර්මාණය කිරීම සඳහා ඇති සුවිශේෂ ගොඩනැගිල්ලක් ලෙස මෙම බර්ලින් යුදෙව් කෞතුකාගාරය ආර්කිටෙක්චර් ඉතිහාසයේ නිසි තැන දිනාගෙන හමාරය. 
ලාංකීය පාරම්පරික ගොඩනැගිලි කලාව තුළ පරිමාණය යන අදහස බොහෝ විට භාවිත කර ඇත්තේ, අභ්‍යන්තර අවකාශ තුළ සුවපහසු සහ පහන්බවක් ආරෝපණය කිරීම සඳහා යැයි මගේ හැඟීමයි. දැනට සාක්ෂි ඉතිරිව පවතින, යාපහුව සහ නුවර යුගයන්හිදී ආගමික නොවන බොහෝ ගොඩනැගිලි ඇතුළත උස සහ දිග පළල ආසියාතික මිනිස් සිරුරේ ප‍්‍රමාණයට අනුරූපව ඉතා කුඩා හෝ අත්‍යවශ්‍ය ප‍්‍රමාණයකට සීමාවෙයි. අම්බලම් සහ නිවාසවල ඇතුළත උස මිනිස් හිස් මට්ටමට ආසන්න වීම එම ගොඩනැගිලි මිනිසාට මිත‍්‍රශීලී බවක් ලබා දෙයි. ස්වාභාවික සහ දේශගුණික කාරණා නිසා පියසිවල පිහිටීම තීරණය වුවත්, ඇතුළත උස සහ පරිමාණය පිළිබඳව සුවපහසු බව ඉස්මතු කරවන ඔවුන්ගේ ම පරිමාණික මිනුම් දඬු ඔවුනට තිබෙන්නට ඇතැයි අනුමාන කළ හැක. 

යටත්විජිත කාල සමයන් අතරින්, වාස්තු විද්‍යාත්මක අතින් ලාංකික ඝර්ම කලාපීය දේශගුණයට අනුව තම යුරෝපීය ආර්කිටෙක්චර් අදහස් අපූරුවට සංකලනය කර ගත් ලන්දේසීන්, ඇතුළත අවකාශ නිර්මාණය තුළදී පරිමාණ සංකල්පය තේරුම් ගත් ආකාරය අලංකාරය. ලාංකික පාරම්පරික අවකාශ, යුරෝපීය මානව උසට සරිලන ලෙසත් දේශගුණික සාධකයන්ට උචිත ලෙසත් නිර්මාණය කරගත් ඔවුහු, පසුකාලීනව ලාංකික ආර්කිටෙක්චර් ලකුණ සටහන් කළ ජෙෆ්රි බාවාට පවා අනුභූති සපයන ගොඩනැගිලි කලාවක් බිහි කළෝය. 

කෙසේ වෙතත් ආර්කිටෙක්චර් නිර්මාණයකදී එහි පරිමාණය එහි නිර්මාණකරුවා විසින් තීරණය කෙරෙන්නකි. ගොඩනැගිල්ලක භාවිතය සහ භාවිත කරන්නන්ගේ ගතිසොබා අනුව ඒ ඒ අවකාශවලට අනුකූලව සහ අවකාශ එකිනෙකට සම්බන්ධ කිරීම වැනි කරුණු මත ඒවායේ පරිමාණය තීරණය වේ. කුඩා වැරැුන්ඩාවකින් ඇතුළු වී ඊළඟට ද්විත්ව උසකින් සමන්විත අවකාශයකට ඇතුල්වීම මගින් මිනිසා තුළ සරල ආශ්චර්යයක් ඇතිකළ හැක. නිවසක නම් ආලින්දය හෝ කෑම කාමරය වැනි පොදු අවකාශයක් ද්විත්ව උසකින් යුතුව ඉහළ මහල පහළ අවකාශ සමග මුසුකිරීම, පරිමාණය යන සංකල්පය මත ගන්නා තීරණයකි. 

විවෘත සහ සංවෘත, ඕනෑම අවකාශයක් තුළ මිනිසා එම අවකාශය අත්විඳීමට කියවාගන්නා ප‍්‍රධාන සාධකයකි පරිමාණය. මුහුදු වෙරළක දැවැන්ත අහස් කුස අබියස දීත්, කුඩා කුටියක පටු පියස්සක් යටදීත් ඒ ඒ පරිමාණයට අනුව මිනිසාගේ හැඟීම් තීරණය වේ. ආර්කිටෙක්චර් තුළ ඇති මිනිසාගේ හැඟීම් අභිවෘද්ධිය, ඔවුන් කුඩා මට්ටමකින් හෝ වෙනස් මානයකින් සිතන්නට සැලැස්වීම සඳහා නම්, පරිමාණය යන සංකල්පය බැහැර කටයුතු නොහේ.

සුමුදු අතුකෝරල

කොටු

මේ ලොව තුළ යම්කිසි නිදහස් දෙයක් සීමා කිරීම හෝ තහනම් තහංචි දමා සිරකිරීමට භාවිත කරන්නේ කොටු ය. එළවළු කොටු, ඉස්සො කොටු, හරක් කොටු, සිර කොටු, බල කොටු යනාදි මෙකී නොකී සියලූම කොටුවලින් කෙරෙන්නේ යම්කිසි නිදහස් දෙයක්, සත්වයෙකු හෝ පිරිසක් කොටු කිරීමයි. ඇතුළත පවතින දෙයක් එයින් බාහිර පරිසරය සමඟ මුසුවීමට ඇති නිදහස අහුරමින් කොටු සංවෘත අවකාශයන් නිර්මාණය කරයි. විටෙක එය බාහිර ආපදා අනතුරු ඇතුළට නොපැමිණෙන ලෙස ආරක්ෂිත අවකාශයක් නිර්මාණය කරයි. කිසියම් කෙනෙකු කොටු අදහස්වලින් එපිට සිතන්නේ නම් ඒ ‘අවුට් ඔෆ් ද බොක්ස්’ සිතීමකි. තවත් කෙනෙකු තමන්ගේ කොටු සීමා පැන කටයුතු කරයි නම්, එය ‘කොටු පැනීම’කි. 

ක‍්‍රීඩාවේදී නම් තමන්ගේ සීමා කොටු ඉක්මවා ගොස් ක‍්‍රීඩා කිරීම තහනම් දෙයකි. දාං හෝ චෙස් ක‍්‍රීඩාවලදී තම ඉත්තන් එක එක කොටු හරහා ඉදිරියට ගෙනගොස් ඔබට තරගයක් ජයග‍්‍රහණය කළ හැක. 

ලොව සෑම රූප මූලික කලාවක්ම කොටුව හෝ රාමුව සමග තම සීමාවන් තීරණය කරගනී. චිත‍්‍රයක රාමුව ඒ තුළට දත්ත හෝ හැඟීම් ගලාඒම සීමා කරයි. චිත‍්‍ර ශිල්පියාට තම නිදහස් සිතුවිලි, අසීමිත සිහින චිත‍්‍රයට නැඟිය හැකි වෙතත් අවසන ඒ සමස්ත හැඟීම හෝ සිහින එක රාමුවක් තුළට ගොනුකළ යුතුය. දක්ෂ ඡුායාරූප ශිල්පියෙකු බාහිර පරිසරයේ ඇති දෑ ඉතා සූක්ෂ්ම ලෙස තම කැමරා කාචයට සම්පිණ්ඩනය කරමින් නියම මොහොතේ දී කැමරා බොත්තම ඔබා තමාට අවශ්‍ය රූපය කැමරා රාමුවකට ගොනුකර ගනී. සිනමාකරුවකුටද මෙහිදී වැඩි වෙනසක් නැත. තමන්ගේ කෘතියට අදාළ චරිත සහ වස්තූන් රූප රාමුව තුළ මනාව ස්ථානගත කර ඔහු එය චලන රූප ලෙස තම සිනමා කැමරාව තුළ සටහන් කර ගනී. 
තමන්ගේ ජීවිතයෙන් බොහෝ කාලයක් එකම කාමරයකට සහ සයනයකට කොටුව සිටි ෆ‍්‍රීඩා කාලෝ තම උකුල මත තබාගත් කුඩා කොටු රාමු තුළ, තම අසීමිත සිහින සහ තමන්ගේ කුඩා කොටුවෙන් එපිට ශෝකබරිත වුවත් විශ්වීය රූප චිත‍්‍රයට නැඟුවාය. සැල්වදෝර් දාලිට තම කොටු චිත‍්‍ර රාමු ඔහුගේ සිහින යථාර්ථයට පමුණුවන විශ්වයට විවරවුණු කවුළු මෙන් විය. 
පීටර් ජැක්සන්, ගුයිලෙර්මෝ ඩෙල් ටෝරෝ සහ දන්නා හඳුනන ස්ටීවන් ස්පිල්බර්ග් වැනි සිහින සිනමාකරුවෝ කුඩා කොටුවක් වැනි සිනමා රූප රාමුවට නිමක් නැති සිහින පාරාදීස ගොනු කළෝය. 

ඒ සෑම කලාකරුවෙකු ම කොටු වූයේ තමන්ගේ කලා මාධ්‍යයේ තාක්ෂණික සීමා මායිම්වලට මිස තමන්ගේ පරිකල්පනීය හැකියාවට නොවේ. 
මානව පරිණාමයේ එක් වැදගත් අවස්ථාවකදී ඒ ප‍්‍රාග් ඓතිහාසික මානවයන් මොනයම් හෝ සංවෘත අවකාශයක් තුළ තම විවේකී කාලය ගතකළ යුතුයැයි ගත් තීරණය ම නිදහස් සහ අසීමිත අවකාශයකින් කුඩා කුටුම්බයක් කොටුකර ගැනීමකි. එය තමන්ගේ සුවපහසුව, ආරක්ෂාව හෝ අනන්‍යතාව වෙනුවෙන් ගත් තීරණයක් විය හැක, එහෙත් එම තීරණය මුළු මහත් මානව ශිෂ්ටාචාරය ම පෙර නොවූ විරූ වෙනසක් කරා ගෙන ගියේය.
පළමුව ස්වභාවික ගල්ගුහාවලින් ඇරඹී පසුව කොළ අතු, රිටි, ලී, මැටි, ගල්, වැලි, සිමෙන්ති, ගඩොල්වලින් යකඩ, වීදුරු සහ මෙකී නොකී අමුද්‍රව්‍ය රාශියක් හරහා මිනිසා තම කොටු කරගත් අවකාශ ගලනයකට හසුව පාවී ගියේය. 
සංකල්පීයමය වශයෙන් ගත් කල, ඕනෑම ගොඩනැගිල්ලක සැලැස්මක් යනු අසීමිත ස්වාභාවික පරිසරයෙන් කිසියම් සීමිත අවකාශයක් කොටුකර ගැනීමකි. එවැනි කොටු කරගැනීමක් බොහෝ විට ජ්‍යාමිතික කොටුකර ගැනීමකි. අධිශීත දේශගුණ රටාවක් තුළ උෂ්ණත්වය ගොනු කරගැනීමට උපකාර වන පරිදි සැලසුම් කරගන්නා ඉග්ලූ නිවෙස් සහ සෑම ආගමක මෙන්ම පූජනීය ගොඩනැගිලි ඇරෙන්නට අනෙකුත් සෑම ගොඩනැගිල්ලක ම සැලැස්ම කොටු හැඩයක් ගනී. 

ආගමික ගොඩනැගිලිවල වෘත්තාකාර හෝ ගෝලාකාර ආකෘති පිහිටුවීම ඇරඹී ඇත්තේ අද ඊයේ නොවේ. අනන්තය, මුලක් මැදක් හෝ අගක් නොමැති බව අර්ථ ගැන්වීම සහ මුළු විශ්වයටම පොදු ධර්මතාව වැනි අදහසක් කැටිව ප‍්‍රසිද්ධ ආගම් සියල්ලටම අදාළ ගොඩනැගිලි තුළ වෘත්තාකාර සහ ගෝලාකාර අවකාශ නිර්මාණය වී ඇත. පුදුමයට කරුණ නම් ඒ සියලූම ගොඩනැගිලි ඒවායේ සැලැස්ම තුළ නැවත කොටු ඇතුළතට කොටුවී තිබීමයි. 

මිනිසා හැරුණු විට අනේකවිධ සත්වයෝ තමන්ගේ වාසස්ථාන ස්වාභාවික හැඩයන්වලින් නිර්මාණය කර ගනිති. කුරුලූ කූඩු, වේ තුඹස් හෝ දිමි කූඩු පවා විවිධ ස්වාභාවික හැඩවලින් යුතු වුවත්, කොටු ජ්‍යාමිතික හැඩ සහිතව වාසස්ථාන නිර්මාණය කරන්නේ මිනිසා පමණි.

පුරාණ ග‍්‍රීක, රෝම, ඊජිප්තු සහ හින්දු ගොඩනැගිලි සඳහා පවා විවිධ ගණිතමය ශිල්ප ක‍්‍රම භාවිත විය. විවිධ ආගමික අවශ්‍යතා සහ ගොඩනැගිලිවල විසිතුරු හැඩතල නිර්මාණය සඳහා එම ගණිත ක‍්‍රම බොහෝ සෙයින් උපකාරි වී ඇත. පසුකාලීනව, පුනරුද යුගයෙන් පසු ගොඩනැගිලිවල ජ්‍යාමිතිය සහ සමානුපාතික බව ඉතා වැදගත් අංගයක් ලෙස සලකන්නට විය. විවිධ තාක්ෂණික කරුණු නිසා ආර්කිටෙක්චර් යනු කලාවක් සහ විද්‍යාවක් ලෙස දෝලනය වෙමින් වර්ධනය විය. 
බොහෝ විට වාස්තු විද්‍යාඥයකු ඕනෑම සැලැස්මක් සඳහා පැන්සල කොළයක් මතට තබන්නේ ඉරකින් ඒ සැලැස්ම ආරම්භ කරමිනි. දෙවනුව එම කුරුටු සැලැස්ම කොටු බවට පත්වෙයි. එක කොටුවක් තවත් කොටුවකට හෝ කිහිපයකට සම්බන්ධ වෙමින් ගොඩනැගිල්ලක සැලැස්ම ක‍්‍රමානුකූලව නිමවෙයි. 
එය ගොඩනැගිල්ලක සැලැස්ම ලෙසත් පසුව එක් එක් මහල් ලෙසත් කොටු ලෙස සම්බන්ධ වී ගොඩනැගිල්ලක ආකෘතිය නිර්මාණය වෙයි. 
බොහොමයක් ගොඩනැගිලිවල ආකෘතිය කොටුය, හතරැුස් ය. අහස් කිට්ටුවටම නැගී එසවී සිටින කොන්ක‍්‍රීට් යෝධයන් දෙස බලන්න, ඒවා ඉතා උස පෙට්ටි කොටු නොවේද? ඒවායේ තට්ටු වෙන වෙනම ගත් කල කුඩා කොටු නොවේද? අවට සිදුවන සියලූම ඕපා¥ප ගැන ඇස ගසාගෙන සිටින ඔවුන්ගේ ඇස්, ජනේල, ඒවාත් හතරැුස් නොවේ ද? තනි මහලක හෝ දෙමහල් ගොඩනැගිල්ලක් වුවත් වැඩි වෙනසක් නැත, බෑවුම් වහල ඇරෙන්නට අනිත් සෑම සියලූ දෙයම කොටුය. 
ගොඩනැගිල්ලක බාහිර අලංකාරය, එහි පෙනුම මිනිස් ඇසට සෞම්‍ය ලෙස පැවතීමට මෙම කොටු හැඩ ඉතාම වැදගත්ය. එක කොටුවක් තවත් කොටුවකට දක්වන ප‍්‍රමාණික සමානකම හෝ අසමානකම එම ගොඩනැගිල්ලේ පරිමාණය සහ සම්පිණ්ඩනය වැනි සංකල්පවලට තීරණාත්මකව බලපෑම් කරයි. දක්ෂ වාස්තු විද්‍යාඥයෙකු ගොඩනැගිල්ලක උස, පළල සහ එහි මතුපිට මත පිහිටුවන සෑම දොරක්ම, ජනේලයක්ම ඉතා පරිස්සමින් නිර්මාණය කරන්නේ, ගොඩනැගිල්ලක විනයගරුක බව මේ සෑම දෙයක් නිසාම තීරණය වන බැවිනි. 
ආර්කිටෙක්චර් විෂයේ දී ීදකසා ්බා ඪදසා රුක්එසදබියසච හෙවත්, ‘විවෘත සහ සංවෘත බව අතර අනුපාතය’ ගොඩනැගිල්ලක සුන්දරත්වය කෙරෙහි දක්වන්නේ සුළුපටු දායකත්වයක් නොවේ. එමෙන්ම එයින් යම්කිසි ගොඩනැගිල්ලක් කුමන භාවිතාවක් සඳහා ගොඩනගන ලද්දේ ද යන්න ගැන එය දකින කෙනෙකුට දුර තියාම ඉඟි පළකරයි. ඒ ජනෙල් කොටුවල ප‍්‍රමාණය, පිහිටීම සහ පිළිවෙළ එය නේවාසික ගොඩනැගිල්ලක් ද, ව්‍යාපාරික ස්ථානයක්ද, කර්මාන්ත ශාලාවක් ද නැතිනම් ගබඩාවක් ද යන්න ගැන ආර්කිටෙක්චර් ගැන විෂයාත්මක හැදෑරීමක් නැති අයෙකුට වුවත් නිවැරදිව තක්සේරු කර ගැනීමට උපකාරී වේ. පැහැදිලි පිළිවෙළක් සහිතව එකකට එකක් නිවැරදිව පහළින් හෝ පසෙකින් ජනේල පිහිටුවන්නට වාස්තු විද්‍යාඥයකු උත්සාහ ගන්නේ එම ගොඩනැගිල්ලේ බාහිර පෙනුම සඳහා විනයානුකූල බවක් එක් කිරීම උදෙසාය. 
කොළඹ නගරයට අලූතෙන්ම එකතුවන කඩවසම් කොන්ක‍්‍රීට් ඉලන්දාරියා ඔබ දුටුවා ද? ‘අල්ටෙයා’ කුලූන! කුලූනු දෙකකින් යුත් එම ගොඩනැගිල්ලෙහි, එක් කුලූනක්, විවේකශීලීව අනිත් කුලූනට හේත්තුවක් දමාගෙන, ඇදවී සිටින්නේ එම ගොඩනැගිල්ල නිරූපික හෙවත් ෂජදබසජ ගොඩනැගිල්ලක් බවට පත්කරමිනි. එහෙත් එහි කොටු හැඩැති ජනෙල් සහ අනෙකුත් විස්තරයන් දෙස බලන්න, ඒවා ඉතා පරිස්සමින් එකිනෙකට සමාන ලෙස පෙළගස්වා ඇති බැවින් එම ගොඩනැගිල්ලට කොතරම් විනයක්, පිළිවෙළක් සහ ආර්කිටෙක්චරල් සෞන්දර්යයක් එක්කරනවාද?

ආර්කිටෙක්චර් ඉතිහාසය තුළ පළමු පශ්චාත් නූතනවාදී ගොඩනැගිල්ල ලෙස බොහෝ අය විශ්වාස කරන සහ තවත් සමහරුන් පළමු ප‍්‍රකාශනවාදී ගොඩනැගිල්ල සලකන ප‍්‍රංශයේ රොන් චැම්ප් දෙව් මැදුර1955* මෙම ජ්‍යාමිතික කොටු සංකල්පය මායිම් නොකර නිර්මාණය වූ කදිම ගොඩනැගිල්ලකි. එහි සැලැස්ම තුළට කොටු සංකල්පය අහකලටවත් ගාවා නොගත් වාස්තුවිද්‍යාඥ ලෙ කොබුසියර් නිදහස් කවාකාර හැඩවලින් එහි සැලැස්මට අපූර්වත්වයක් එක්කළේය. අපි ඉහත කතාකළ එකිනෙකට සමාන කොටු හැඩැති ජනෙල් පිළිවෙළක් සහිතව පෙළගැසීම යන සංකල්පය බැහැර කරමින් කොබුසියර් අපිළිවෙළ සහ විවිධ ප‍්‍රමාණවලින්, කුඩා කවුළුවලින් එම ගොඩනැගිල්ල සිදුරු කළේය. අවසාන ප‍්‍රතිඵලය වූයේ අපිළිවෙළ, අසංවර ගොඩනැගිල්ලක් නොවේ; නූතනවාදී ගුණාංගවලින් හෙබි අපූරු ගොඩනැගිල්ලකි. ඒ එහි සංකල්පීය ලක්ෂණවලට අනුකූලව, කොබුසියර් ඒ ඒ විස්තරයන්, අනුපාතයන් කදිම රිද්මයක් සහිතව සමස්ත නිර්මාණය තුළ පරිස්සමින් පිහිටුවූ නිසාවෙනි. 
ඊට සමකාලීනව නිව්යෝර්ක් නගරයේ ඉදිවූ ‘ගුගන්හයිම් කෞතුකාගාරය’ 1957* නිර්මාණය වූයේ ලෝ ප‍්‍රකට වාස්තුවිද්‍යාඥ ෆ‍්‍රෑන්ක් ලොයිඞ් රයිට් විසිනි. එයත් සංකල්පීය තලයේදීම කොටු හැඩය බැහැර කළ තවත් අපූරු මෙන්ම දුර්ලභ අවස්ථාවකි. එහෙත් ෆ‍්‍රෑන්ක් ලොයිඞ්ගේ නම නූතන ආර්කිටෙක්චර් ඉතිහාසයේ රනින් ලියවූ ‘ෆෝලින්ග් වෝටර්’ , 1935* ආර්කිටෙක්චර් තුළ කොටු සහ හතරැුස් හැඩයන්ට ඇති බැඳීම පසක් කරවන ලොව ජනප‍්‍රියම නිවසයි. 
එක උඩ එක රැුඳවූ දිගු කොන්ක‍්‍රීට් පෙට්ටි කිහිපයක් මෙන් දුරට දිස්වන ෆෝලින්ග් වෝටර් නිවස සැලැස්ම සහ බාහිර පෙනුම යන දෙයාකාරයෙන්ම කොටුව යන සංකල්පය තහවුරු කරන ගොඩනැගිල්ලකි. එමෙන්ම එය නූතන ආර්කිටෙක්චර් ගලනයක උල්පත ලෙස හැඳින්වීමේ වරදක් නොහේ. 
දැන් අපි ගොඩනැගිලි අභ්‍යන්තරයට පිවිසී බලමු. බොහෝ විට ගොඩනැගිල්ලක අභ්‍යන්තර අවකාශයක් යනු හතරැුස් පෙට්ටියකි. පහළින් කොටු හැඩැති බිමයි, එය සතර අතින් කොටුකර ගත් බිත්ති හතරකි. එහි එක් බිත්තියක හෝ බිත්ති කිහිපයක තවත් කොටු ජනෙල් සහ දොරවල් ය. ජනෙල් යනු අභ්‍යන්තර අවකාශ බාහිරට එකතුකරවන දෑය. පිටත ස්වාභාවික ආලෝකය, වාතාශ‍්‍රය ඇතුළතට රැුගෙන එන අතරම තවත් ප‍්‍රධාන කරුණක් වන්නේ, ජනෙල් තුළින් අප බාහිර පරිසරය දර්ශනයක් ලෙස අත්විඳීමයි. සරලව කිවහොත් ඉතා සූක්ෂ්ම ලෙස රාමුකරන ලද සජීවී චිත‍්‍රයක් හෝ ඡුායාරූපයක් ලෙස අපි බාහිර පරිසරය ජනෙල් හරහා අත්විඳින්නෙමු. 
නිවැරදි ජ්‍යාමිතියෙන් යුතුව පිළිවෙළක් සහිතව එම ජනෙල් ස්ථානගත කිරීම ඉතා වැදගත් වන්නේ එබැවිනි. එවැනි විවරයක් වසන ජනෙල් පියන්වල බෙදීම, වීදුරු, ලී හෝ භාවිත කරන අමුද්‍රව්‍යවල ප‍්‍රමාණය, පරිමාණය සහ සම්පිණ්ඩනය මෙහිදී ඉතා වැදගත් රාජකාරියක් ඉටුකරයි. ලොකු කොටු තුළ කුඩා කොටුවල පිහිටීම, එම අභ්‍යන්තර අවකාශයටත්, මුළු ගොඩනැගිල්ලටමත් පරිමාණිකව අනුකූල වීමත්, එම විස්තරයන් සමස්ත සංකල්පයට අදාළව නිර්මාණය වීමත් ඉතා වැදගත් වන්නේ එබැවිනි. 
කොටු හැඩතලවලින් යුතු ගොඩනැගිල්ලකට මල් රටා රූ විස්කම් සහිත බාස් දස්කම් නොගැළපෙන්නේ එබැවිනි. සරල ජ්‍යාමිතියකින් යුත් නිවසකට පල පහේ, හයේ හෝ දොළහේ පහළොවේ ඔටුනු වහල නොගැළපෙන්නේ ද එබැවිනි. කොටු රටාවල සරල ජ්‍යාමිතියත්, එය එකින් එකකට සම්බන්ධ වන රිද්මයත් මහා සංකල්පය එහි චූල සංකල්ප වෙත බලපවත්වන සීමාවත් වෙත සංවේදී වන වාස්තු විද්‍යාඥයකු හෝ වෙනත් ඕනෑම නිර්මාණාත්මක කලාවක නියැලෙන නිර්මාණ ශිල්පියෙකු ඉතා හොඳ නිර්මාණ බිහිකරනු ඇති බවට අප සැකසංකා තබාගත යුතු නොවේ.
සුමුදු අතුකෝරල

"එකෝමත් එක කාලෙක ටැරැන්ටිනෝ"


 "අපිට මරන්න ඉගැන්නුවේ ඔය චිත්‍රපටි කාරයෝම තමයි. අපි දැන් ගිහින් උංවම මරමු"
මේ ටැරැන්ටිනෝ ගෙ අලුත්ම චිත්‍රපටිය, Once upon a time in Hollywood එකේ එන එක දෙබසක දළ අදහසක්. ඩි කැප්රියෝ, බ්‍රැඩ් පිට් සහ ලස්සන මාර්ගොට් රොබී වගේ අයත් දාගෙන කරන මේ චිත්‍රපටය ටැරැන්ටිනෝගෙ Pulp Fiction වලට පස්සේ මම කැමතිම චිත්‍රපටය. Pulp Fiction සහ Once upon a time in Hollywood අතර අවුරුදු 25 ක් වගේ කාලයක් තිස්සේ ටැරැන්ටිනෝ චිත්‍රපටි හතක් විතර හදනවා. ඒත් ඒ එකකවත් නැති අමුතු සමානකම් ටිකක් Pulp Fiction සහ Once Upon a Time, අතරේ තියෙනවා. හරියට එයා Pulp Fiction වලින් පස්සෙ කෙලින්ම Once upon a time in Hollywood හැදුවා වගේ. 
Pulp Fiction කවදාවත් බලල එපාවෙන්නේ නැති චිත්‍රපටියක්. කාලෙන් කාලෙට මම ඒක ආයෙ ආයෙ බලන්න කැමතියි. චිත්‍රපටියක තියෙන්න ඕනේ විලාසිතාව, පිළිවෙල, පිරිසිදුකම, තරුණකම, කතාවක් කීමෙදි තියෙන ආතතිය සහ කුතුහලය මේ හැම දෙයකින්ම Pulp Fiction සමන්විතයි. 
Once upon a time in Hollywood එකත් එක්ක ටැරැන්ටිනෝ, ඒ කාරණා ආයෙමත් අරන් එනවා. තරුණ ජවයක් තියෙන මුහුකුරා ගිය සිනමාකරුවෙක් වගේ එයා මේ වැඩේ ලස්සනට කරලා. කැමරාව ස්ථානගත කරන හැම තැනකටම හේතුවක් තියෙනවා කියල හිතෙන තරමට හරිම සූක්ෂමයි. ඒ පරිපූර්ණ පිළිවෙළ සහ සිනමාත්මක පිරිසිදුකම හරිම සිත්ගන්නා සුළුයි. 
දෙබස් සහ කුඩා විස්තර මගින් චරිත ගොඩනංවන ටැරැන්ටිනෝ, අන්තිමට ඒ ඒ චරිත ඒ විදිහට ගොඩනැගුනේ ඇයි කියන එක තිතටම සාධාරණීකරණය කරනවා. සිනමා තරුවක් විදිහට රඟපාන ඩි කැප්රියෝ ට වඩා එයාගෙ සටන් ජවනිකා වල පෙනී සිටින (Stunt double) බ්‍රැඩ් පිට් ගෙ චරිතය (Cliff) හරිම පුරුෂ විදිහට නිරූපණය වෙනවා. කමිසෙ ගලවලදාල, අඬු මිටි සහ බියර් කෑන් එකකුත් අරන් ඇන්ටෙනාව හදන්න වහලෙට නගින Cliff ගෙ දර්ශනය හරිම පුරුෂනීයයි. එයා කාර් එක එළවන විදිහ, කිසිදෙයක් පස්සෙ ඔනෙවට වඩා පන්නනෙ නැතිතිකම (අඩුම ගානෙ කෙල්ලෙක් පස්සෙවත්), එයාගෙ බල්ලත් එක්ක තියෙන යාළුකම වගේ දේවල් නියමයි. 
ඒ වගේම තමයි, කිසිම නිරුවත් දර්ශනයක් නැතුව ටැරැන්ටිනෝ ශෘංගාරාත්මක දේවල් පෙන්වන විදිහ. ගැහැණිය සමග බැඳුනු සුන්දරත්වය කතාවෙන්, ඇවිදීමෙන්, හිනාවෙන් මතුකරන විදිහ ඉතාම කලාත්මකයි. ටැරැන්ටිනෝ එයාගෙ අනිත් හැම චිත්‍රපටියකම වගේ ගැහැණු යටිපතුල්වල ට නියම තැන මේ චිත්‍රපටියෙත් වෙන්කරනවා. හරිම සියුම් විදිහට දඩබ්බර ශෘංගාරයක් මතකරනවා. හුළඟ, කාර්වල යනකොට වීදුරු ඇරලා හුළඟට අපිව ගහගෙන යන්න ඉඩදීම, නිදහස, කාර් එකට එබෙන හිපි කෙල්ලගෙ කතාව; හිනාව; බය නැතිකම, කාර් එකට නැගලා එයා කකුල් ඩෑෂ් බෝඩ් එක උඩ තියන විදිහ, එහෙම තියාගෙන එයා කියන දේවල්!
සංගීතය සමග රෑප මුසු කිරීම! ඒ රෑප හරහා වෙන කිසිවකට නොකළහැකි ආකාරයේ හැඟීම් උද්දීපනය! ටැරැන්ටිනෝට වඩා ඒකට වෙන දක්ෂයෙක් නෑ. එයා දර්ශනයක් ලියන්න කලින් ඒ දර්ශනයට අදාල සංගීතය මුලින් හොයාගන්නවා කියන එක ඇත්ත. ඒක ඉතාම උසස් ප්‍රතිඵල ගේනවා කියන එක ඊටත් වඩා ඇත්ත. ඒ අව් අස්සේ මෙන්න, Chunking Express එකට වොං කරවැයි පාවිච්චි කරපු මගෙ ආසම සිංදුවක් වෙන California Dreaming එකේ වෙනස් ගැයුමක් (ඔරිජිනල් එක වෙන්න ඇති) ටැරැන්ටිනෝ මේකට පාවිච්චි කරලා. "මම බලන හැම චිත්‍රපටියකින්ම මම හොරකම් කරනවා" ටැරැන්ටිනෝ මේ කියන එක ඇත්ත. 
ඔය අතරේ, ටැරැන්ටිනෝ Once upon a time in Hollywood ඇතුලෙ, පොලන්ස්කි, බෘෘස් ලී වගේ දැවැන්ත චරිත ස්ථානගත කරන විදිහත් මරු.
"චිත්‍රපටියක් හදන්න ඔයාට ඕනෙ කෙල්ලෙකුයි, තුවක්කුවකුයි විතරයි" මේක කිව්වෙ ලෝකෙ ඉහළින්ම ඇගයීමට ලක්වුනු ප්‍රංස සිනමාකරුවා, ගොඩාඩ්. මම හිතන්නෙ ඒ කියල තියෙන්නෙ ශෘංගාරාය සහ ප්‍රචණ්ඩත්වය ගැන. ටැරැන්ටිනෝ තමන්ගේ හැම කෘතියකින් ම ඒක ආයෙ ආයෙ ඔප්පු කරනවා.
අපිට චිත්‍රපටි හදන්න පොළඹවනවා!
මේක මග නොඇර නැරඹිය යුතු චිත්‍රපටියක්. මම එහෙම කියන්නේ කලාතුරකින්. 
- සුමුදු අතුකෝරල