Sunday, September 15, 2019

"එකෝමත් එක කාලෙක ටැරැන්ටිනෝ"


 "අපිට මරන්න ඉගැන්නුවේ ඔය චිත්‍රපටි කාරයෝම තමයි. අපි දැන් ගිහින් උංවම මරමු"
මේ ටැරැන්ටිනෝ ගෙ අලුත්ම චිත්‍රපටිය, Once upon a time in Hollywood එකේ එන එක දෙබසක දළ අදහසක්. ඩි කැප්රියෝ, බ්‍රැඩ් පිට් සහ ලස්සන මාර්ගොට් රොබී වගේ අයත් දාගෙන කරන මේ චිත්‍රපටය ටැරැන්ටිනෝගෙ Pulp Fiction වලට පස්සේ මම කැමතිම චිත්‍රපටය. Pulp Fiction සහ Once upon a time in Hollywood අතර අවුරුදු 25 ක් වගේ කාලයක් තිස්සේ ටැරැන්ටිනෝ චිත්‍රපටි හතක් විතර හදනවා. ඒත් ඒ එකකවත් නැති අමුතු සමානකම් ටිකක් Pulp Fiction සහ Once Upon a Time, අතරේ තියෙනවා. හරියට එයා Pulp Fiction වලින් පස්සෙ කෙලින්ම Once upon a time in Hollywood හැදුවා වගේ. 
Pulp Fiction කවදාවත් බලල එපාවෙන්නේ නැති චිත්‍රපටියක්. කාලෙන් කාලෙට මම ඒක ආයෙ ආයෙ බලන්න කැමතියි. චිත්‍රපටියක තියෙන්න ඕනේ විලාසිතාව, පිළිවෙල, පිරිසිදුකම, තරුණකම, කතාවක් කීමෙදි තියෙන ආතතිය සහ කුතුහලය මේ හැම දෙයකින්ම Pulp Fiction සමන්විතයි. 
Once upon a time in Hollywood එකත් එක්ක ටැරැන්ටිනෝ, ඒ කාරණා ආයෙමත් අරන් එනවා. තරුණ ජවයක් තියෙන මුහුකුරා ගිය සිනමාකරුවෙක් වගේ එයා මේ වැඩේ ලස්සනට කරලා. කැමරාව ස්ථානගත කරන හැම තැනකටම හේතුවක් තියෙනවා කියල හිතෙන තරමට හරිම සූක්ෂමයි. ඒ පරිපූර්ණ පිළිවෙළ සහ සිනමාත්මක පිරිසිදුකම හරිම සිත්ගන්නා සුළුයි. 
දෙබස් සහ කුඩා විස්තර මගින් චරිත ගොඩනංවන ටැරැන්ටිනෝ, අන්තිමට ඒ ඒ චරිත ඒ විදිහට ගොඩනැගුනේ ඇයි කියන එක තිතටම සාධාරණීකරණය කරනවා. සිනමා තරුවක් විදිහට රඟපාන ඩි කැප්රියෝ ට වඩා එයාගෙ සටන් ජවනිකා වල පෙනී සිටින (Stunt double) බ්‍රැඩ් පිට් ගෙ චරිතය (Cliff) හරිම පුරුෂ විදිහට නිරූපණය වෙනවා. කමිසෙ ගලවලදාල, අඬු මිටි සහ බියර් කෑන් එකකුත් අරන් ඇන්ටෙනාව හදන්න වහලෙට නගින Cliff ගෙ දර්ශනය හරිම පුරුෂනීයයි. එයා කාර් එක එළවන විදිහ, කිසිදෙයක් පස්සෙ ඔනෙවට වඩා පන්නනෙ නැතිතිකම (අඩුම ගානෙ කෙල්ලෙක් පස්සෙවත්), එයාගෙ බල්ලත් එක්ක තියෙන යාළුකම වගේ දේවල් නියමයි. 
ඒ වගේම තමයි, කිසිම නිරුවත් දර්ශනයක් නැතුව ටැරැන්ටිනෝ ශෘංගාරාත්මක දේවල් පෙන්වන විදිහ. ගැහැණිය සමග බැඳුනු සුන්දරත්වය කතාවෙන්, ඇවිදීමෙන්, හිනාවෙන් මතුකරන විදිහ ඉතාම කලාත්මකයි. ටැරැන්ටිනෝ එයාගෙ අනිත් හැම චිත්‍රපටියකම වගේ ගැහැණු යටිපතුල්වල ට නියම තැන මේ චිත්‍රපටියෙත් වෙන්කරනවා. හරිම සියුම් විදිහට දඩබ්බර ශෘංගාරයක් මතකරනවා. හුළඟ, කාර්වල යනකොට වීදුරු ඇරලා හුළඟට අපිව ගහගෙන යන්න ඉඩදීම, නිදහස, කාර් එකට එබෙන හිපි කෙල්ලගෙ කතාව; හිනාව; බය නැතිකම, කාර් එකට නැගලා එයා කකුල් ඩෑෂ් බෝඩ් එක උඩ තියන විදිහ, එහෙම තියාගෙන එයා කියන දේවල්!
සංගීතය සමග රෑප මුසු කිරීම! ඒ රෑප හරහා වෙන කිසිවකට නොකළහැකි ආකාරයේ හැඟීම් උද්දීපනය! ටැරැන්ටිනෝට වඩා ඒකට වෙන දක්ෂයෙක් නෑ. එයා දර්ශනයක් ලියන්න කලින් ඒ දර්ශනයට අදාල සංගීතය මුලින් හොයාගන්නවා කියන එක ඇත්ත. ඒක ඉතාම උසස් ප්‍රතිඵල ගේනවා කියන එක ඊටත් වඩා ඇත්ත. ඒ අව් අස්සේ මෙන්න, Chunking Express එකට වොං කරවැයි පාවිච්චි කරපු මගෙ ආසම සිංදුවක් වෙන California Dreaming එකේ වෙනස් ගැයුමක් (ඔරිජිනල් එක වෙන්න ඇති) ටැරැන්ටිනෝ මේකට පාවිච්චි කරලා. "මම බලන හැම චිත්‍රපටියකින්ම මම හොරකම් කරනවා" ටැරැන්ටිනෝ මේ කියන එක ඇත්ත. 
ඔය අතරේ, ටැරැන්ටිනෝ Once upon a time in Hollywood ඇතුලෙ, පොලන්ස්කි, බෘෘස් ලී වගේ දැවැන්ත චරිත ස්ථානගත කරන විදිහත් මරු.
"චිත්‍රපටියක් හදන්න ඔයාට ඕනෙ කෙල්ලෙකුයි, තුවක්කුවකුයි විතරයි" මේක කිව්වෙ ලෝකෙ ඉහළින්ම ඇගයීමට ලක්වුනු ප්‍රංස සිනමාකරුවා, ගොඩාඩ්. මම හිතන්නෙ ඒ කියල තියෙන්නෙ ශෘංගාරාය සහ ප්‍රචණ්ඩත්වය ගැන. ටැරැන්ටිනෝ තමන්ගේ හැම කෘතියකින් ම ඒක ආයෙ ආයෙ ඔප්පු කරනවා.
අපිට චිත්‍රපටි හදන්න පොළඹවනවා!
මේක මග නොඇර නැරඹිය යුතු චිත්‍රපටියක්. මම එහෙම කියන්නේ කලාතුරකින්. 
- සුමුදු අතුකෝරල

No comments:

Post a Comment