Wednesday, March 31, 2021

Archi චැට් (තුන) - Elevation

Archi චැට් (තුන)
Elevation
Architecture විෂයෙදි Elevation එකක් කියන්නේ කිසියම් ගොඩනැගිල්ලක පිටත පිහිටීම පැතලි ජ්යාමිතික රූප සටහනක් ලෙස පෙන්නුම් කිරීමයි. වෙනත් ආකාරයකින් කියනවා නම් විවිධ දිශාවල සිට ගොඩනැගිල්ලක මුහුණත ඇඳ දැක්වීමයි. ගොඩනැගිලි නිර්මාණයක සැළසුමට අනුරූපව ඉදිරි පෙනුම (Front elevation), පිටුපස පෙනුම (Rear elevation), පැති පෙනුම (Side elevation) ආදී වශයෙන් ගොඩනැගිල්ලක් තේරුම් ගැනීමට වගේම එය ඉදිකිරීමට අවශ්යකරන විස්තර සහිතව Elevation රූපසටහන් උපයෝගී කරගන්නවා.
Plan එකට අනුරූපව කණු පිහිටන ආකාරය, ජනෙල් දොරවල් වල පිහිටීම, ගොඩනැගිල්ලක උස, වහලය පිහිටන ආකාරය වැනි විවිධ අංග Elevation එකක් තුළින් පෙන්වන්න පුළුවන්. තට්ටු කිහිපයක ගොඩනැගිල්ලක් නම්, එක් එක් මහල් වල ජනෙල් හෝ විවිධ හැඩතල වල රේඛීය පිහිටීම, එකකට එක්ක සමාන්තර ලෙස පිහිටුවීම එම ගොඩනැගිල්ලේ සෞම්ය බව ඇතිකිරීමට හේතුවන බව Elevation එකක් හරහා අවබෝධකරගත හැකියි.
Elevation එකක් බොහෝ විට ද්විමාන (2D) රූප සටහනක්. ඒ නිසා Section එකක් හෝ Plan එකක් නැතිව Elevation එකකින් ඒ ගොඩනැගිල්ලේ මුහුණතේ ගැඹුර ගැන නිවැරදිව තේරුම් ගන්න අමාරුයි. හැබැයි දක්ෂ වාස්තු විද්යාඥයෙක්ට හෙවණැලි, එළිය අඳුර මනාව භාවිතා කරලා Elevation එකකින් වුණත් ගොඩනැගිලි මුහුණතේ ගැඹුර මතුකරන්න පුළුවන්.

කිසියම් මාවතක් හෝ වීදියක පවතින අනිත් ගොඩනැගිලි හෝ භූවිෂමතා ලක්ෂණ සමඟ ගොඩනැගිල්ලක් සම්පිණ්ඩනය කරන්න Elevation එකක් අත්යාවශ්යයි. සමීපව පිහිටන ගොඩනැගිලි වල උස, පළල, අනෙකුත් විස්තර වලට අනුරූපව හෝ හේතුසාධක ඇතිව අනුරූප නොවන විදිහට ගොඩනැගිල්ලක් නිර්මාණය කරන්න ඒ පවතින වීදියේ Street elevation එක සහ නිර්මාණය කරන ගොඩනැගිල්ලේ ඉදිරි පස Elevation එක ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම තමයි බෑවුමක හෝ කන්දක් උඩ වැනි තැනක ඉදිවන ගොඩනැගිල්ලක පිහිටීම එම භූවිෂමතා ලක්ෂණ වලට අනුව අවබෝධ කරගන්නත් නිර්මාණය කරගන්නත් Elevation රූප සටහන් ඉතාමත්ම වැදගත්.
ද්විමාන රූප සටහනක් නිසාවෙන් Elevation එකකින් ප්රකාශ කරගැනීමට නොහැකි, ගොඩනැගිලි හැඩ තල සහ ගැඹුර නිවැරදිව පෙන්වීම සඳහායි ත්රිමාණ රූප භාවිතා වන්නේ. වර්තමානයේ ඉතා ජනප්රිය අංගයක් වන පරිගණක 3D ගොඩනැගිලි නිර්මාණයේදී දැන් අරුමයක් නොවේ. ගොඩනැගිල්ලක් ඉදිකර නිමවූ පසු දැකිය හැකි ආකාරයටම, දක්ෂ පරිගණක 3D නිර්මාණකරුවකු හරහා කරගැනීම දැන් එතරම් අපහසු නැත. ඔය අතරේ තවමත් අතින් අඳින පර්යාවලෝකන නැතිනම් Perspective රූප මගින් සජීවී ගතියකින් සහ කලාත්මක බවකින් යුතු රූප මගින් තම නිර්මාණය ඉදිරිපත් කරන වාස්තු විද්යාඥයන් ද නැතුවාම නොවේ. ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ ආශ්වාදය ඇත්තේ, එය සම්පූර්ණයෙන්ම නිමවීමට පෙර ටිකෙන් ටික, පියවරෙන් පියවර ඉදිවන ආකාරය අත්දැකීමයි. එබැවින් සජීවී 3D රූප මගින් ගොඩනැගිල්ලක එකවර සැලසුම් නිර්මාණයේ සිටම දැක ගැනීම හොඳද නරකද යන්න තර්ක කළයුතුව ඇත.
©සු 27/01/21

Archi චැට් (දෙක) - Section

Archi චැට් (දෙක)
Section
Section කියන වචනෙට තේරුම් ගොඩක් තියෙනවා. යම්කිසි ලියවිල්ලක කොටසක්, පාසලක හෝ කාර්යාලයක විශේෂ අංශයක් වගේම සතෙක් ගේ හෝ භාණ්ඩයක කොටසක් කියන අදහසක් වුණත් Section කියන වචනයෙන් හඳුන්වන්න පුළුවන්. ඒත් Architecture වගේ විෂයකදි section කියන්නේ හරස් හෝ දික් අතට ගොඩගිල්ලක් හෝ එහි කොටසක් කැපෙන සේ ඇඳෙන රූප සටහනක්. හරස්කඩ (Cross section), දික්කඩ (Longitudinal section) වශයෙන් දිග අතට සහ පළල අතට කැපෙන රූප සටහනක් වෙන් වෙන් වශයෙන් හඳුන්වන්න පුළුවන්.
Architecture වලදි Section කියන්නේ හරියටම ගොඩනැගිල්ලක අවශ්ය තැන් වලින් කපා, පිටතින් දැක ගත නොහැකි කොටස් පෙන්වීමයි. බොහෝ විට බොහෝ දෙනා අඩු සැලකිල්ලක් දැක්වුවත්, ගොඩනැගිලි නිර්මාණයේදී ඉතාම වැදගත් අංගයක් තමයි Section කියන්නේ. ඒ ඒ අවකාශ වල උස, සම්පිණ්ඩනය, අවකාශ වල ගලායාම, නිමාව, එක් අවකාශයක් තවත් අවකාශයකට දක්වන සහ සම්බන්ධය වගේම ඒ ඒ ගොඩනැගිලි කොටස් හදාගැනීමට භාවිතා කළ යුතු අමුද්රව්ය සහ මාත්රාව පිළිබඳ විස්තරත් හරස් කඩකින් නිවැරදි පෙන්විය හැකියි.

ප්රාදේශීය සභාවේ හෝ වෙනත් ආයතනයකින් ගොඩනැගිලි සැලසුමක් අනුමත කරගැනීම සඳහා අවශ්ය සැලසුම් රූප සටහන් අතරට අවම වශයෙන් එක හරස් කඩක් හෝ ඉදිරිපත් කලයුතු බැවින් එය අඳිනවා විනා බොහෝ විට Section කියන එකට ගොඩනැගිලි ඉදිකරීමේ ක්රියාවලියෙදි ලොකු ඉඩක් හිමි වෙන්නේ නෑ. ඒත් ඇත්තටම සැලසුමක් නිවැරදිව ඉදිකරන්න හැකි තරම් section රූප සටහන් තිබීම වැදගත්. ඒ අපිට Plan එකකින් හෝ Elevation (ඉදිරියේදී මේ ගැන ලියන්නම්) වලින් විස්තර කළ නොහැකි බොහෝ විස්තර පැහැදිලිව පහදා දිය හැකි නිසයි. හැම වෙලාවෙම ඒ ඒ හරස් කඩ කැපෙන ස්ථානය Architectural plan එක මත නිවැරදිව සහ පැහැදිලිව පෙන්නුම් කළ යුතුයි. එහෙම වුණහම ඉතාම පහසුවෙන් ඒ ඒ හරස්කඩට අදාල විස්තර සැලසුමත් එක්ක සංසන්දනය කරලා අවබෝධ කරගන්න පුළුවන්. ඔයාල දකින සැලසුම් වල Section A-A හෝ Section X-X වගේ ලියල තියෙන්නෙ අන්න ඒ කැපෙන රේඛාව නිවැරදිව බලාගන්නයි.
Architecture විෂයෙදි කුඩා අනුකොටස් විස්තර කිරීම සඳහා යොදා ගන්නා ක්රමවේදය තමයි Details කියන්නේ. ඒ විස්තර බොහොම පැහැදිලිව ඉදිරිපත් කරන්න පුළුවන් කුඩා තැන් හරහා ඇඳෙන හරස්කඩ රූප සටහන් වලින්. කොන්ක්රීට් මතුපිටකට ලී හෝ යකඩ වලින් සැදි යමක් සවි කරන ආකාරය, සිමෙන්ති මතුපිටකට වීදුරු හෝ තහඩුවක් සවිවන ආකාරය වැනි මෙකී නොකී ඕනෑම විස්තරයක් Detail section එකකින් පැහැදිලි කරන්න පුළුවන්.
ඔය හැම රූප සටහනක්ම Plan එකකදි වගේම නිෂ්චිත අනුපාතයකට (Scale) අඳින්න ඕනේ. එතකොට ඕනෑම කෙනෙක්ට ඒ විස්තර වල දිග පළල සහ උස ගැන නිවැරදි අදහසක් ගන්න පුළුවන්. ඒ වගේම Section එකකදි අදාල තැන් වලට යොදන ඊතලයක් අග එයට අදාල සැකැස්ම ගැන විස්තරයක් ලියන්න පුළුවන්. Architecture විෂයේ එහෙම විස්තර ලියල පෙන්නන්නේ බොහෝ විට Section වලදි විතරයි. Plan එකකත් කරන්න පුළුවන් ඕනෙනම්. නමුත් ගොඩක් විස්තර කෙරෙන්නේ Section වලදි තමයි.
©සුමුදු අතුකෝරල [21/01/2021]

Monday, April 6, 2020

නූතන ලාංකික වාස්තු විද්‍යා පෙළහරේ මුල් දොර ඊනා ද සිල්වා නිවස

නූතන ලාංකික වාස්තු විද්‍යා පෙළහරේ මුල් දොර ඊනා ද සිල්වා නිවස
සුමුදු අතුකෝරල – වරලත් වාස්තු විද්‍යාඥ

මුළු ඉතිහාසය පුරාම සැරි සැරුවත් ලාංකික වාස්තු විද්‍යාඥ යකු ලෙස ජෙෆ්රි බාවා තරම් කියැවුණු හෝ ලියැවුණු කෙනෙක් නැත. සැබැවින්ම ජෙෆ්රි බාවා යනු කවරෙක් දැයි හරියකට නොදැන පවා ලංකාවේ ඕනෑම පෙදෙසක ඔහු ගැන අසා ඇති අයකු හෝ සිටිනවාමය. ලංකාවේ පාර්ලිමේන්තු ගොඩ නැගිල්ල, දඹුල්ලේ කණ්ඩලම හෝටලය, ගාල්ලේ ලයිට් හවුස් හෝටලය, බෙන්තොට බීච් හෝටලය හෝ අඩුම ගානේ ලුණුගඟ උද්‍යානය නිසා වත් ජෙෆ්රි බාවා ගැන අසා නැති කෙනෙකු සොයා ගැනීමට බැරි තරම් ය. ඔහුගෙන් පසුව එතෙක්,මෙතෙක් දහස් ගණනක් වාස්තු විද්‍යාඥයන් ලංකාව තුළ බිහි වුවත්, ලංකාව තුළ හෝ ඉන් පිටතත් ලාංකික වාස්තු විද්‍යා ක්ෂේත්‍රය සමඟ මුලින්ම කියවෙන්නේ ඔහුගේ නමයි. පාර්ලිමේන්තු සංකීර්ණය හෝ වෙනත් සුපිරි හෝටල් ගොඩනැගිලිවල සුවිශේෂි බව නිසා ජෙෆ්රි බාවා ගැන නිතර කියැවුණත් පුද්ගලිකව ඔහුගේ නිර්මාණ චාරිකාවේ ආරම්භක කාල වකවානුව ගැනත් ශ්‍රී ලාංකික වාස්තු විද්‍යා සම්ප්‍රදායෙහි ගමන වෙනස් කිරීමට දායක වූ ඔහුගේ මුල්කාලීන ගොඩනැගිලි පිළිබඳවත් කියැවෙන්නේ ඉතා කලාතුරකිනි.
1950 දශකයේ අගභාගයේදී තම අධ්‍යාපන කටයුතු හමාර කර ලංකාවට පැමිණි ජෙෆ්රිගේ මූලික අවධියේ නිර්මාණ ගොන්නට වැටෙන සුවිශේෂී සන්ධිස්ථානයකි, කොළඹ ඇල්ෆ්‍රඞ් උද්‍යානයෙහි ඉදිවූ ඔස්මන්ඞ් සහ ඊනා ද සිල්වා නිවස. සිල්වා යුවළ විසින් රුපියල් එක් ලක්ෂ අසූදහසකට පමණ මිලදී ගත් මෙම පර්චස් තිහක පමණ ඉඩම එම වකවානුවේදී සලකනු ලැබුවේ ‘කුඩා ඉඩමක්’ ලෙසිණි. අක්කර ගණන්වල ඉඩම්වල මැදට වන්නට ඉදිකරන ලද වලව් හෝ යටත් විජිත සාම්ප්‍රදායික ලක්ෂණවලින් සැරසුණු මන්දිර සමඟ ජීවත් වූ සමාජ වටාපිටාවකට පර්චස් තිහක ඉඩමක් කුඩා ඉඩමක් වීම පුදුමයක් ද නොවේ. එවකට කොළඹ නගරය ආශ්‍රිතව කටයුතු කළ වාස්තු විද්‍යාඥයන් කිහිපදෙනෙකු සමඟම මූලික වශයෙන් කෙරුණු සංවාද පිළිබඳව එතරම් සතුටකින් පසු නොවූ ඊනා ද සිල්වා මහත්මියට ජෙෆ්රි බාවා හඳුන්වා දෙන්නේ ඊනා ද සිල්වා මහත්මියගේ මිතුරු බෙවිස් බාවා (ජෙෆ්රිගේ සහෝදරයා) විසිනි. මුල්ම හමුවීම එසේ වුවත් ඊනා ද සිල්වා නිවස ඉදිකිරීම් නිමවන විට ජෙෆ්රි සහ ඊනා ගජ මිතුරන් වී හමාරය.
මාතලේ අලුවිහාරේ පවුල් පසුබිමක සාම්ප්‍රදායික නුවර හුරුව ඇතුව හැදී වැඩුණු ඊනා ද සිල්වා, එම වලව් සම්ප්‍රදායේ ගොඩනැගිලි පිළිබඳව එතරම් සතුටකින් සිටි බවක් නොකියැවේ. එහෙත් ඊනා විසින් ජෙෆ්රිට බාර දෙන ලද රාජකාරීය වූයේ නුවර යුගයේ ඇතැම් සාම්ප්‍රදායික ලක්ෂණ සමඟ මුසුකොට නූතන සම්ප්‍රදායේ නිවසක් නිර්මාණය කිරීමයි. තමන් හට භාර කරන ලද මෙම අපූරු අභියෝගය ඔස්සේ ශ්‍රී ලාංකික වාස්තු විද්‍යා ක්ෂේත්‍රය වෙනස් මාවතකට යොමු කරන ආකාරයේ නිර්මාණයක් කිරීමට ජෙෆ්රි බාවා සමත් විය. විශාල ඉඩම්වල ඉදිවුණු වලව් සම්ප්‍රදායේ ගොඩනැගිලිවල ලක්ෂණත්, ලන්දේසි සම්ප්‍රදායේ ගොනැගිලිවල ලක්ෂණත් ලන්දේසි සහ මුවර් ගණයට වැටෙන වීදි නිවාස සම්ප්‍රදායත් මුසුකොට අනාගත නූතන ලාංකික වාස්තුවිද්‍යා සම්ප්‍රදායට ඇතුළුවන දොර විවර කරන්නට ජෙෆ්රිට හැකි විය.
ඒ 1960 අවුරුද්ද, බි්‍රතාන්‍ය යටත් විජිත සමයත් සමඟම නුවර යුගයේ නිවාස සහ ලන්දේසි යුගයේ නිවාසවල සුවිශේෂී අංගයක් වූ ‘මැද මිදුල්’ සංකල්පය ගිළිහී ගොස් තිබුණි. එහෙත් ජෙෆ්රි බාවා, ඊනා ද සිල්වා නිවස සැලසුම් කිරීමේදී එහි පදනම කරගන්නේම විශාල මැද මිදුලයි. එම කාලවකවානුවට අනුව පරිමාණිකව කුඩා යැයි සැලකුණු එම ඉඩමෙහි නිර්මාණය වන නිවසට විශාල මිදුලක හෝ නිවෙස් උද්‍යානයක හැඟීම ඇති කරවීමට ජෙෆ්රි භාවිත කරන්නේ මැද මිදුලයි. කොළඹ සහ නගරාශ්‍රිතව ඉදිවන බොහෝ නිවාසවල ආලෝකය සහ වාතාශ්‍රය ලබා ගැනීමටත් අලංකරණ කාරණයක් ලෙසත් යොදා ගැනෙන URBAN COURT YARD හෙවත් නාගරික මැද මිදුල යළිත් නූතන වාස්තු විද්‍යා කතන්දරයට එකතු කළේ ජෙෆ්රි විසින් මෙම නිවාස නිර්මාණය කරනු ලැබීමත් සමඟිනි.
නිවසට ඇතුළු වීමට ඇත්තේ විසල් ලී කණු පෙළකින් සැදුණු විවෘත, පටු අවකාශයක් තුළිනි. වහලයක් රහිත එම කොටස හා බැඳුණු විසල් දැවමය දොරටුවකින් නිවසට ඇතුළු විය යුතුය. මෙසේ ලී කණු පෙළකින් සහ උස බිත්තියකින් නිවස ඊට ඉදිරිපස මාර්ගයෙන් වෙන්කර තබා ඇත. වීදි නිවසක හැඩයක් මෙම නිවසට ලබාදීම උදෙසා ජෙෆ්රි බාවා මෙම විසල් කණු පෙළ නිර්මාණය කරන්නට ඇති බවට සැකයක් නැත. එම දොරටුව තුළින් පිවිසෙන්නේ ඉදිරියේ ඇති තවත් විශාල මිදුලකටය. මාර්ගයත් නිවසත් අතර නිදහස් බාධකයක් ලෙස එම ඉදිරි මිදුල නිර්මාණය කර ඇත. පළමු දොරටුවට හරියටම ඉදිරියෙන් ඇති පැරණි පන්සල් දොරකින් ප්‍රධාන නිවසට ඇතුළු විය යුතුය. එම දොරටුවෙන් ඇතුළු වන කුඩා පටු මංකඩට දකුණු පසින් ඇත්තේ ඔස්මන්ඞ් ද සිල්වා මහතාගේ කාර්යාල කාමරයයි. වම් පසින් අමුත්තන්ගේ කාමරයි. කුඩා මංකඩ කෙළින්ම පිවිසෙන්නේ එම නිවසෙහි ප්‍රධානතම අවකාශය වන මැද මිදුලටයි. විශාල මැද මිදුල හතර වටින්ම නිවසෙහි ඉදිරි සහ පසු පස කොටස් සම්බන්ධ කරනුයේ ඉතා හොඳ ඉඩකින් හෙබි වැරැන්ඩා පෙළකිනි. දැවමය කණු සහ හතර පසින් බෑවෙන ලී රීප්ප පරාළවලින් සැදි පියසි පෙළ වැරැන්ඩාවේ සිටින්නකුට පර්යාවලෝකනයෙන් හෙබි කදිම දසුනක් මවාපායි. එම මැද මිදුල සහ වැරැන්ඩා පෙළ ඔබ තුළ පැරණි සිංහල ගෙයක හෝ ලන්දේසි මැද මිදුල් නිවසක හැඟීම් සමුදායක් මතුකළොත් එය අරුමයක් නොවේ. තරමක විශාල ප්‍රමාණයේ රවුම් හැඩැති ගල් අතුරා නිමාකර ඇති එම මැද මිදුල මැද ප්‍රධාන ජවනිකාව රඟදක්වන්නේ අවුරුදු ගණනාවක පුරා ජීවිතයේ අත්දැකීම්ලත් පරිණතයකු මෙන් නැඟී සිටින පරණ අරලිය ගසකි. සුදු අරලිය ගස් මැද මිදුලක තියා පිටත මිදුලේවත් සිටුවීම අසුබ ලක්ෂණයක් ලෙස සලකන සමහරුන් සිටින රටක මේ නිවෙසට පැරණි අරලිය ගස ඇතුන් මඟින් ගෙන්වා ඉන්දවූ වග සමහරු
pastillas viagra comprar

පවසති. නිවසෙහි ඇති සියලුම කාමර සහ අනෙකුත් පොදු අවකාශ සියල්ලම එකතු කරන මෙම මැද මිදුලට දකුණුපසින් ඇති ඉඩ තීරුව වෙන්කර ඇත්තේ සේවකයන්ගේ කාමර සහ කුස්සිය, ගබඩා කාමරය වැනි දේ සඳහායි. එම කොටසේ ඇති සියලුම කාමර සඳහා කුඩා මැද මිදුල් උපයෝගී කරගෙන වාතාශ්‍රය සහ ආලෝකය ලබා දී ඇත. එහෙත් ප්‍රධාන නිවසෙහි කටයුතුවලට බාධාවක් නොවන පරිදි එම කොටස් වෙනම සඟවා තැබීමට ජෙෆ්රි විසින් තම සැලසුම් ඥානය මෙහෙයවා ඇත.

Ena-de-silva-02
නිවසෙහි ආලින්දය සම්පූර්ණයෙන්ම විවෘත ඉඩකඩකි. ඉදිරියෙන් ප්‍රධාන මැද මිදුලෙනුත්, පිටුපසින් පිටුපස මිදුලෙනුත් සීමා වන ආලින්දය දෙපසටම විශාල ලෙස විවෘත වේ. ඊට දකුණු පසින් ඇති පටු තීරුවක කෑම මේසය පිහිටුවා ඇති අතර එතැන සුවපහසු අසුනක වාඩි වූ විට ඊනාට මුළු නිවසෙහි බොහෝ ස්ථාන දැක බලාගත හැකි ලෙස සැලසුම් කර තිබේ.
නිවසෙහි පිටුපස කොටස මහල් දෙකකින් යුතුය. පහළ මාලයෙහි පොදු අවකාශයන් සහ ඉහළ මාලයේ ප්‍රධාන නිදන කාමරය සහ අනෙකුත් කාමර පිහිටුවා ඇත. ප්‍රධාන නිදන කාමරය තුළින් ප්‍රධාන මැද මිදුලට විවෘතවන ලැටිස් ජනේල සහිත ජනෙල් කූඩුව තුළ වාඩිවූ විට මැද මිදුලත්, නිවසෙහි ඉදිරිපස කොටසත් මනාව දර්ශනය වේ.
එවකට මෙම නිවස ඉදිකිරීම සඳහා වියදම් වූ මුදල රුපියල් ලක්ෂ දෙකක් ලෙස සඳහන් වෙතත්, එය ඒ සඳහා මුලින් වෙන්කරන ලද මුදලට වඩා තවත් රුපියල් විසි දහසකින් වැඩිවී ඇත. ධනපති පෙළැන්තියේ පවුලක් සඳහා කොළඹ සුපිරිම පරිසරයක, ලංකාවේ ජනප්‍රියම වාස්තු විද්‍යාඥයා විසින් නිර්මාණය වූ මෙම නිවසෙහි සුවිශේෂීත්වය එය නොවේ. ලංකාවේ වාස්තු විද්‍යා ඉතිහාසයේ සංධිස්ථානයක් ලෙස ඇති වටිනාකම ඉහත සඳහන් සියලුම කරුණු පරයා නැගී සිටින්නකි.
1960 දශකය යනු ලංකාව විවෘතව ලෝකය සමග ආර්ථික ගනුදෙනුවල යෙදෙන්නට පෙර කාලයයි. ගොඩනැගිලි ඉදිකිරීම සඳහා වර්තමානයේ මෙන් අසීමිත වර්ගවල අමුද්‍රව්‍ය එදවස සුලබ නොවිණි. එකල ලෝකය පුරාම ප්‍රචලිත වුණු යකඩ සහ වීදුරු වැනි අමුද්‍රව්‍ය භාවිතයකින් තොරව ලංකාවේ දේශගුණික ලක්ෂණවලට ඔරොත්තු දෙන පරිදි දේශීය අමුද්‍රව්‍ය භාවිතයට ගෙන මෙවැනි නිවසක් නිර්මාණය කිරීමට සිදුවීම අභියෝගයක් වුවත් තමා ඉතාම සතුටින් එම අභියෝගය භාරගත් බව වරක් ජෙෆ්රි බාවා සඳහන් කර ඇත.
මෙම නිවසෙහි සියලුම අවකාශ ස්වාභාවික ආලෝකය යොදාගෙන ඉතාම අපූරු ලෙස ආලෝකමත් කර ඇති අතර අඳුර සහ එළිය රොමාන්තික ලෙස සහ සංවේදී ලෙස සකසුරුවම් කිරීම මෙම නිවසෙහි කර ඇති නිර්මාණශීලී ම ගුණය ලෙස ඔසවා තැබීමෙහි කිසිදු වරදක් නැත. වර්තමානයේ නම් වීදුරු ජනේල රහිතව නිවසක් නිර්මාණය කිරීම සහ ස්වාභාවික ආලෝකය ලබාගැනීම යනු කිසිසේත්ම කළ නොහැකි ක්‍රියාවක් ලෙස සැලකෙයි. එහෙත් ජෙෆ්රි බාවා විසින් මෙම නිවස සඳහා එකුදු වීදුරු ජනේලයක්වත් භාවිත කර නැත. රට තුළ එවැනි අමුද්‍රව්‍ය සඳහා අතිශයින්ම දැඩි සීමා පනවා තිබූ නිසා තමන්ට පැරණි විශිෂ්ට ගොඩනැගිලිවලින් ආභාසය ලබා සාම්ප්‍රදායික දක්ෂ වඩු වැඩ ශිල්පීන් සමග කටයුතු කර සාම්ප්‍රදායික ලක්ෂණ යළි ඉපිදවීමට සිදුවූ බව ජෙෆ්රි පවසා ඇත.
නාගරික පරිසරයක් වුවත් අද මෙන් වාතාශ්‍රය විවිධාකාර ලෙස දූෂණය නොවී තිබුණු බැවින් සිසිල් වාතය නිවස තුළට ලබාගැනීමටත් උණුසුම් වාතය නිවසින් බැහැර කිරීමටත් සුවිශේෂී වාස්තු විද්‍යාත්මක ලක්ෂණ ජෙෆ්රි මෙම නිවසට හඳුන්වා දී ඇත. නිවස පුරාම ලොකු කුඩා වශයෙන් පැතිරී ඇති මැද මිදුල් පහකින් සහ ඉදිරිපස සහ පසුපස මිදුල්වලින් වාතාශ්‍රය කදිමට නිවස තුළට ගලා ඒමට සලස්වා ඇති අතර සාම්ප්‍රදායික ‘ලැටිස්’ ජනේල සහ තමන්ට රිසි ලෙස හසුරුවා ගත හැකි, ලී ලුවර් ජනේල ඒ සඳහා යොදා ගෙන ඇත. බොහෝවිට කර්මාන්තශාලා හෝ ගබඩා සඳහා යොදා ගැනෙන ප්‍රධාන වහලයට උඩින් එහි මුදුනින් තවත් කුඩා වහලයක්, පරාල එළියට දිගු කිරීම මගින් සකසාගෙන ඇති අතර නිවස තුළ රැස්වෙන රත්වූ වාතය එමගින් පිටතට ඇද දැමීමට සලස්වා ඇත.
නිවසෙහි නිමාවන් සඳහා බිත්තිවලට සුදුහුණු බදාම සහ පොළොවට කළුගල් ඇතිරුම් භාවිත කර ඇති අතර නිවසෙහි ඉහළ තලයෙහි පොළොව සඳහා මැටි ටයිල් සහ ලී භාවිත කර ඇත. ඒ සියලු දෙය නිසාම නිවසට අමුතුම රළු සහ සෞම්‍ය බව අතර මුසුවක් එක්කිරීමට නිර්මාණකරු සමත් වී තිබේ. මැටි උළු සහිත වහලය පිටතින් පරිසරය සමග ඉතා මිත්‍රශීලී කතාබහක යෙදෙන අතර නිවස ඇතුළත සිටින අයගේ මිත්‍රශීලී බව වැඩි කිරීමට හිරු රශ්මිය ගෙදරින් පිටත රඳවා තැබීමට භාවිත කොට ඇත.
කෙසේ වෙතත් 1970 වසර ආසන්නයේදී තම ස්වාමි පුරුෂයාගේ මියයෑමත් සමග කොළඹ ජීවිතයට සමුදෙන ඊනා නැවත මාතලේ තම නිවසෙහි පදිංචියට යන්නේ ඇයගේ ප්‍රියතම විෂය වූ ‘බතික්’ කලාව සමඟ තම ජීවිතය ගෙවීමටයි. ඒත් සමගම තමා විසින්ම නිර්මාණය කළ මෙම නිවස තම නිර්මාණ අවකාශය කරගන්නා ජෙෆ්රි බාවා තමන්ගේ නිර්මාණ දිවියේ සුවිශේෂීම නිර්මාණයක් වන පාර්ලිමේන්තු සංකීර්ණය සැලසුම් කළේ මෙම නිවසේ සිට බව පැවසෙයි.
මෙසේ දශක කිහිපයක් පුරා කොළඹ නගරයෙහි නිර්මිත වියමනත්, සමාජීය පසුබිමත් වෙනස් වන ආකාරය නිහඬව අත්විඳිමින් සිටි මෙම වාස්තු විද්‍යාත්මක ස්මාරකය තමන්ගේ පරිච්ඡේදය නිමා කිරීමට සැරසුණේ 2009 අවුරුද්දේදී එහි හිමිකාරිය ඊනා ද සිල්වා විසින් එය ප්‍රසිද්ධ පුද්ගලික රෝහල් සමාගමක් වෙත විකුණා දැමීමට තීරණය කිරීමෙනි. කොළඹ හදවත ආශ්‍රිත ඉඩම්වල වටිනාකම ආර්ථිකමය වශයෙන් හිනිපෙත්තටම නගින විට සරල, නිහතමානී ගොඩනැගිල්ලකට කොන්ක්‍රීට් යෝධයන් සමග තරග වැදීම අපහසු වී තිබිණි. මෙම නිවස කඩා ඉවත් කිරීමට සියලුම දේ සූදානම්ව පවතින අවස්ථාවක ජෙෆ්රි බාවා පදනමත්, චන්න දාස්වත්ත, අමිලා ද මැල්. සී. අන්ජලේන්ද්‍රන්, නිලාන් කුරේ වැනි වාස්තු විද්‍යාඥයන් කිහිප දෙනකුගේ මැදිහත්වීම නිසා මෙම වාස්තු විද්‍යා ස්මාරකය ඒ අයුරින්ම ගලවාගෙන ගොස් වෙනත් ස්ථානයක නැවත ස්ථාපනය කිරීමට යෝජනා ඉදිරිපත් විය. ජෙෆ්රි බාවා සමඟ වැඩ කටයුතු කළ කිහිපදෙනකුගේ ආර්ථිකමය මැදිහත්වීමත් සමග මුලින්ම මෙම නිවස මොරටුව විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ස්ථාපනය කිරීමට සැලසුම් කොට තිබූ අතර පසුව අලුත්ගම, ලුණු ගඟ ජෙෆ්රි බාවාගේ පුද්ගලික නිවාඩු නිවස සහ ලෝක ප්‍රකට උද්‍යාන පරිශ්‍රයට යාබදව පිහිටුවීමට යෝජනා විය.


ජාතික පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක විශේෂ උපදෙස් සහ අධීක්ෂණය යටතේ, නිවසෙහි සියලුම කොටස් අංක යොදා ගලවා ඉවත් කර ඒ සෑම කණුවකටම සෑම ගල් ඇතිරුමකටම නියමිත ස්ථානය ලැබෙන ලෙස ඒ අයුරින්ම ස්ථාපනය කරන්නට කටයුතු යෙදිණි. වසර කිහිපයක දුෂ්කර ප්‍රායෝගික අභ්‍යාසයකින් පසුව පසුගියදා මෙම වාස්තු විද්‍යා ස්මාරකය ලුණු ගඟ ජෙෆ්රි බාවා විසින් නිරතුරුව පරිහරණය කරන ලද ඔහුගේ ප්‍රියතම උද්‍යානයෙහි කෙළවරක තම දෙවෙනි ජීවන කාලය ඇරඹුවේය.
සති දෙකක පමණ කාලයක් සඳහා ඊනා ද සිල්වා නිවස මහජනයා සඳහා විවෘතව තැබුණු අතර ළඟදීම එය කුඩා ප්‍රමාණයේ බුටික් හෝටලයක් ලෙස ජෙෆ්රි බාවා පදනම විසින් පාලනය කරනු ඇත. තවත් සුවිශේෂී කරුණක් වන්නේ පසුගිය වසරේ ජීවිතයෙන් සමුගත් ඊනා ද සිල්වා මහත්මිය තමන්ගේ නිවස තම අතිමිත්‍ර ජෙෆ්රි බාවාගේ ලුණු ගඟ උද්‍යානය අසල යළි පිහිටුවීම ගැන සතුටින් පසුවීමයි. යළි ජීවය ලැබූ එම නිවසට පැමිණීමේ අවස්ථාව ඇයට අහිමි වුවත් එම හැඟීම ඇයට සතුටක් ගෙන දෙන්නක් වන්නට ඇත. මෙම කිසිම තොරතුරක් දැනගැනීමට පෙරම මීට වසර දොළහකට පමණ පෙර ජීවිතයෙන් සමුගත් ලෝ ප්‍රකට වාස්තු විද්‍යාඥ ජෙෆ්රි බාවා මහතා එක් අතකින් අවාසනාවන්තය. එමෙන්ම ඉතාමත් වාසනාවන්තය.
ගොඩනැගිල්ලක් සංරක්ෂණය කරනවා යනු, එම ගොඩනැගිල්ල ගරා වැටෙන තෙක් වැටවල් දමා කොටු කරගෙන කිසිවකුටත් යෑමට නොහැකි ලෙස තැබීම නොවන බවට මෙය අනගි උදාහරණයකි. ඕනෑම ගොඩනැගිල්ලකට එයටම උරුම ජීවිතයක් ඇත. එම ජීවිතයට පණ දීමට නම් එම ගොඩනැගිල්ලෙහි භාවිතාව යළි ඇති කළ යුතුය. ගොඩනැගිල්ලක් හුදෙක් ස්මාරකයක් නොවී මිනිසුන් සමග බැඳුණු ජීවිතයෙහිම කොටසක් වීම තුළින් පමණකි එයට ජීවය ලැබෙන්නේ.
ඊනා ද සිල්වා නිවස පිළිබඳව හදාරා ඇති හෝ එය සියැසින් දැක බලා නොගත් ලාංකික වාස්තු විද්‍යාඥයකු නොමැති තරම්ය. එය ලාංකික වාස්තු විද්‍යා සංස්කෘතිය තුළ එතරම්ම වැදගත් සන්ධිස්ථානයකි. ඒ හුස්ම, ඒ උරුමය වැඩි දියුණුවෙමින් තවත් බොහෝ කාලයක් අනාගතයට දිවෙනු ඇත.

Sunday,28 Aug 2016 රාවය

Sunday, April 5, 2020

නව ලාංකික වාස්තු විද්‍යා ගමන් මගේ මුල් පුරුක මිනෙට් ද සිල්වා

නව ලාංකික වාස්තු විද්‍යා ගමන් මගේ මුල් පුරුක මිනෙට් ද සිල්වා


‘හැම උදෑසනකම ඇයගේ කන පිටුපස නැවුම් පිච්ච මලක් රඳවාගෙන මිනෙට් ඇවිදගෙන ආවා. එයාගේ අලූත් සිල්ක් සාරියේ පොට එයාගේ උරහිස ළඟින් ලිස්සලා වැටුණා. ඊට පස්සේ අපි එහා පැත්තේ තිබුණ එක පැත්තකින් නුවර නිම්නයටත් අනිත් පැත්තෙන් කැලේ වැවිලා තිබුණ කන්දටත් මුහුණලා තිබුණ කන්තෝරු කාමරයට ඇවිද්දා. ඊට පහළින් වාහනවල නළා හඬත්, පන්සල්වල ගණ්ටාර හඬත් යන්තමට ඇහුණේ, තෙත පොළොවේ සහ වියළෙන කොළවල සුවඳත් එක්ක. ඊටත් වඩා, පිරිසිදු පිච්චමල් සහ සුදු අරලිය මල් සුවඳ ජනේලෙන් ගලාගෙන ආවා.අපි දෙන්නා නියමිතව තිබුණ වැඩ කරගෙන ගියා. මම, ල කබුසියර් විසින් ඉතාම අලංකාර විදියට මිනෙට්ට එවලා තිබුණ පෙම් හසුන් කියෙව්වා. කාර්යාලයේ ප‍්‍රධාන දොරට මම ගොඩක් කැමති වුණා. ඒක BRIDGE ON THE RIVER KWAI චිත‍්‍රපටියේ ජපන් හමුදා නිලධාරියාගේ දොර. ඒක මිනෙට්ට දීලා තිබුණේ. ඒ චිත‍්‍රපටය අධ්‍යක්‍ෂණය කළ ඬේවිඞ් ලීන්.’
මේ උල්රික් ප්ලෙස්නර් තමන්ගේ IN SITU කියන ස්වයංචරිතාපදානයේ මිනෙට් ද සිල්වා ගැන ලියලා තියෙන පරිච්ෙඡ්දයේ එක කොටසකි.
මිනෙට් ද සිල්වා ලංකාව තුළ එතරම් කතාබහට ලක්වුණු කාන්තාවක් නොවේ. ලාංකීය වාස්තු විදයාවේ අවසන් ශතවර්ෂය ජෙෆ්රි බාවාගේ දැවැන්ත සෙවණැල්ලෙන් වැසී ගොස් ඇති අතර, ඒ මෑත ඉතිහාසය තුළ මිනෙට් ද සිල්වා, වැලන්ටයින් ගුණසේකර වැනි තවත් දක්ෂ වාස්තු විදයාඥයන්ගේ නම් යටි වියන තුළ සැගව ගොස් ඇත. මිනෙට් ද සිල්වා යනු මුළු දකුණු ආසියාවෙන්ම වෘත්තීය වාස්තු විදයාඥවරියක ලෙස සුදුසුකම් ලැබූ පළමු කාන්තාවයි.
1918 වර්ෂයේ මහනුවරදී උපත ලද මිනෙට් එවකට කාන්තාවන්ට සුදුසු වෘත්තියක් ලෙස නොසලකන ලද වාස්තු විදයාව තම වෘත්තිය ලෙස හදාරන්නට උනන්දු වූයේ ඇය තුළ කුඩා කල සිට තිබුණ නිර්මාණශීලී හැකියාවත්, කලා, සංස්කෘතික සහ සමාජ යන විෂයන් ගැන තිබුණු දැඩි ආසාවත් නිසාවෙනි. ඉන්දියාවේදී සහ එංගලන්තයේදී තම අධ්‍යාපනය නිමාකරන මිනෙට්, ලෝ ප‍්‍රකට වාස්තු විදයාඥ ල කබුසියර් :(Le Corbuiser) සමග කලක් වෘත්තීයමය සේවය කළ අතර 1950 වර්ෂය ආසන්නයේ යළි දිවයිනට පැමිණ තම වෘත්තීය ජීවිතය ආරම්භ කළාය. එවකට මුළුමනින්ම පාහේ ඉංගී‍්‍රසීන් විසින් නතුකරගනු ලැබ තිබුණු ලාංකීය වාස්තු විiා ක්ෂේත‍්‍රයට මුලින්ම සම්ප‍්‍රප්ත වන ලාංකික චරිතය මිනෙට්ය.
කබුසියර් සමග තිබුණු කුළුපග ඇසුර සහ යුරෝපීය නූතන වාස්තු විදයා සංස්කෘතියත් සමග ලද අත්දැකීම් මුසුකරමින් ඇය ලාංකික වාස්තු විiා ක්ෂේත‍්‍රයට නූතන ලක්ෂණ අනුගත කරමින් තමන්ටම අනන්‍යවූ වාස්තු විදයාභාෂාවක් ගොඩනඟා ගත්තාය. මහනුවර ප‍්‍රදේශයේ හැදී වැඞී ලද සමාජ සංස්කෘතික හුරුවත්, විවිධ කලා ක්ෂේත‍්‍ර කෙරෙහි තිබුණු උනන්දුවත් නිසා ඇගේ නිර්මාණවලට ශී‍්‍ර ලාංකික පාරම්පරික කලා හුරුව මුසුවීම අරුමයක් නොවේ. අලංකාර සිල්ක් සාරිවලින් සැරසී, සාම්ප‍්‍රදායික ආයිත්තම් පැළඳ, විචිත‍්‍ර කුඩයක් ඔසවාගෙන සිටින සහ ගොඩනැගිලි වැඩබිමක ඉණි මගක නගින මිනෙට්ගේ ඡුායාරූප කිහිපය ඇයගේ විලාසිතාවත්, ඇගේ වාස්තු විදයා භාෂාවත් ගැන ඉගි සපයයි.
කාන්තාවන්කට උචිත නැතැයි සලකන ලද වෘත්තියක් තෝරාගත් මිනෙට්ට මුල් කාලයේදී විවිධ විවේචනයන්ට සහ ගැරහුම්වලට ලක්වන්නට වූ බව කියැවෙයි. ගොඩනැගිලි නිර්මාණ ක්ෂේත‍්‍රය තුළ අද පවා කාන්තා වාස්තු විදයාඥවරියන් අපහසුතාවට ලක්වන අවස්ථා ඇති තත්ත්වයක, පුරුෂ මූලික වැඩබිම් වෘත්තියක් තුළ එවකට තිබූ තත්ත්වය ගැන සැලකීමේ දී එම අභියෝගවලට මුහුණදීම සඳහා ඇයට කෙතරම් පෞරුෂයක් තිබෙන්නට ඇතිදැයි සිතා ගත හැක.
ඇය තම වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ, තමාගේ පියාගේ මිතුරකු වූ කරුණාරත්න නම් වූ නීතිඥවරයකුට මහනුවර ප‍්‍රදේශයේ නිවසක් නිර්මාණය කරමිනි. පළමු වෘත්තීය පැවරුම ම අභියෝගයක් ලෙස භාරගන්නා ඇය බෑවුම් සහිත බිම් කඩක එම නිවස නිර්මාණය කරන්නේ පාරම්පරික සහ යුරෝපීය නවීන වාස්තු විදයා ලක්ෂණ මුසුකරමිනි.
එවකට පැවති බි‍්‍රතාන්‍ය ගෘහ නිර්මාණ ලක්ෂණවලින් ආභාසය ලද වලව් නිවාස විලාසිතාව අබිබවා නවීන වාස්තු විදයාත්මක ලක්ෂණ සහ පෙර නොවූ විරූ අමුද්‍රව්‍ය භාවිතයෙන් නිර්මාණය වූ එම නිවස එකල මහනුවර ප‍්‍රභූ පැළැන්තිය වෙතින් විවේචනයට ලක්විය. කොන්කී‍්‍රට් භාවිතය, ඇස්බැස්ටස් වහළ සහ විශාල වීදුරු සහිත දොර ජනෙල් වැනි ලක්ෂණවලින් හෙබි එම නිවස එවකට පැවති ලාංකික ගොඩනැගිලි ක‍්‍රමවේදය තුළින් ආභාසය ලද්දක් නොවීය. ඉතා හොඳ ස්වභාවික ආලෝකයක්, වාතාශ‍්‍රයක් නිවස තුළට ගලාඒමට සලස්වන විශාල වීදුරු සහ ලූවර් ජනෙල්ද, එකල නිවෙසේ පාදම සඳහා පමණක් යොදාගත් කළුගල්වලින් බිත්ති නිමකිරීමද ඒ නිවසේ විශේෂ ලක්ෂණයක් විය. කළුගල් සහ ගඩොල් බිත්ති කපරාරු නොකර ඒ ආකාරයෙන්ම විවෘතව තබා නිවසක් සැදීම යනු ඒ කාලවකවානුවෙහි සංකේතීය ප‍්‍රකාශනයක් බවට තම නිර්මාණය ඔස්සේ ප‍්‍රකාශ කරන්නට ඇය උත්සාහ කළාය.
මේ ආකාරයේ නවීන ලක්ෂණ තම නිර්මාණයට එකතු කළත්, දේශීය සමාජ සංස්කෘතික ජීවන විලාසය ඇය සම්පූර්ණයෙන්ම බැහැර නොකළාය. වාර්ෂික දානමාන සහ ආගන්තුක සත්කාර සඳහා විශාල සාලයක් සහ කෑම කාමරයක් නිර්මාණය කළ ඇය ඒවායේ ප‍්‍රායෝගිකත්වය සඳහා විශාල ජනෙල් සහ එකිනෙක ස්ථාන අතර සම්බන්ධතාවට මුල් තැනක් දුන්නාය.
සිය නිර්මාණ දායකත්වය තවත් පියවරක් ඉදිරියට ගෙනගිය මිනෙට් මෙම නිවසෙහි අභ්‍යන්තර අලංකාරය උදෙසා පාරම්පරික කලා අංග යොදාගත් අතර, මෙරට ප‍්‍රථම වරට නිවසක අභ්‍යන්තරය සැරසීම සඳහා චිත‍්‍ර ශිල්පියෙකුගේ නිර්මාණයක් යොදාගත්තීය. ජෝර්ජ් කීට් විසින් සිතුවම් කරන ලද ‘හංස ජාතකය’ නම් වූ සිතුවම ඒ සඳහා භාවිත කළාය. අද වන විට නිවෙස් අලංකරණය සඳහා චිත‍්‍ර ශිල්පීන්ගේ චිත‍්‍ර යොදාගැනීම ඉතා ජනපි‍්‍රය අංගයක් ලෙස සැලකුණත් එම සම්ප‍්‍රදායේ මුල් පියවර මිනෙට් විසින් තබන ලද්දක් විය යුතුය.
පළමු නිර්මාණයේ විශේෂිත ලක්ෂණ නිසාම ඇගේ නිර්මාණශීලිී බව පිළිබඳ විශ්වාස කළ කොළඹ සහ මහනුවර ආශ‍්‍රිත නවීනත්වයට බර ප‍්‍රභූ පවුල් කිහිපයක්ම ඇය ලවා තම නිවෙස් නිර්මාණය කර ගැනීමට උත්සුක වූහ. එවකට මුල් බැසගත් වාස්තු විiාත්මක ප‍්‍රවාහයට ගතු නොවී මිනෙට් ලකුණක් තම භාවිත ශෛලිය තුළ ගොනුකිරීමට ඇය ගත් උත්සාහය මෙයට හේතු පාදක වුණා විය යුතුය. එමෙන්ම කොළඹ ආශ‍්‍රිතව පැනනැගුණු නූතන කලාව සහ සංස්කෘතික පිබිදීම තුළ ඇයට නිසි පිළිගැනීමක් ලැබුණාද විය යුතුය. කොළඹ ඇල්ෆ‍්‍රඞ් හවුස් උiාන පෙදෙසේ පීරිස් නිවස, වැල්ලවත්තේ ප‍්‍රනාන්දු නිවස, සුලෙයිමන් මාවතෙහි පෙරේරා නිවස, වෝඞ් පෙදෙසේ අමරසිංහ නිවස, මහනුවර දස්වානි නිවස සහ නඬේසන් නිවස යන ගොඩනැගිලි 50 සහ 60 දශකවලදී මිනෙට් අතින් නිර්මාණය වූ ගොඩනැගිලි විය.
හුදෙක් පුද්ගලික නිවාස නිර්මාණකරණයෙන් තොරව පොදු සහ ප‍්‍රජා ගොඩනැගිලි නිර්මාණය කිරීම සඳහා ද මිනෙට්ට අවස්ථාව හිමිවිය. ඒ අතරින් කොළඹ ග්‍රෙගරි පාරේ නිර්මාණය කෙරුණු සේනානායක තට්ටු නිවාස සංකීර්ණය ඇගේ මුල් කාලීන නිර්මාණයක් ලෙස සැලකෙයි. යුරෝපීය නවීන වාස්තු විදයා අංගයක් ලෙස සැලකුණු පහත මහල සම්පූර්ණයෙන්ම විවෘතව නිර්මාණය කෙරුණේ වාහන ගාල් කිරීම, නිදහස් සංසරණය සහ උදයානයක් වශයෙනි. කොන්කී‍්‍රට් කණුවලින් ඉහළට එසැවෙන එම ගොඩනැගිල්ල තුළ ඉහළ මාලයන් නිවාසවලට වෙන්වෙයි. කණුවල ඒකාකාරී පිහිටීම තුළ ඇති රේඛීය රටාව ඉහළ මාලයන් කරාද රැගෙන යන මිනෙට්, සමානුපාතිකව බෙදෙන කණු සහ ජනෙල් මගින් එවැනි ගොඩනැගිල්ලකට ලැබිය හැකි සංකීර්ණ පෙනුම මග හැර සරල රේඛීය ගතියක් අනුගත කරයි. 1957 වසරේදී ඉදිකිරීම් අවසන් කළ මෙම ගොඩනැගිල්ල පසුකාලීනව ක‍්‍රමයෙන් ව්‍යාප්ත වූ තට්ටු නිවාස සංස්කෘතියෙහි මුල් පුරුකක් විය.
මිනෙට් අතින් නිර්මාණය වුණු පොදු ගොඩනැගිලි අතර ඇය හැදී වැඩුණු මහනුවර නගරයේ නිර්මාණය වුණු නුවර කලායතනය(Kandy Art Centre)ඉතා සුවිශේෂ බවක් උසුලයි. ඇය අධ්‍යාපනය ලද යුරෝපීය නවීන වාස්තු විදයා ලක්ෂණයන් ලාංකික පාරම්පරික නිර්මාණ ලක්ෂණයන් මුසුකරමින් නිර්මාණය වුණු මෙම ගොඩනැගිල්ල ඇය අතින් නිර්මාණය වූයේ, ලාංකික වාස්තු විiා ක්ෂේත‍්‍රය තුළ හොඳ අත්දැකීම් ලබාගැනීමෙන් පසු, 1982 වසරේදීය. නුවර වැව අසබඩ දළදා මාලිගාව සහ මල්වතු විහාරය ආසන්නයේ ස්වාභාවික තුරු ගොමුවකින් හෙබි බිම් කඩක ඉදිවුණු මෙම ගොඩනැගිල්ල නිර්මාණය කිරීමේදී ද මිනෙට් ඉඩමෙහි ස්වාභාවික පිහිටීම මනාව උපයෝගීකර ගෙන තිබේ. කොන්කී‍්‍රට්, යකඩ සහ වීදුරු වැනි නවීන අමුද්‍රව්‍ය භාවිතයන් සමග, දැව සහ මැටි ගඩොල් වැනි පාරම්පරික අමුද්‍රව්‍ය යොදාගෙන තිබීම මෙහි තවත් විශේෂ ලක්ෂණයක් වේ. සාමාන්‍යයෙන් යකඩ භාවිතයෙන් විශාල අවකාශයක් සඳහා නිමවන වහලය දරා සිටීමට මෙහිදී මිනෙට් දැවමය ආධාරක (Trvsses) යොදාගෙන තිබීම එම ගොඩනැගිල්ලෙහි සුවිශේෂ බව තවත් ඔප්නංවයි. එමෙන්ම පැරණි ලාංකික ලී සහ ශිලා කැටයම් කණු කොන්කී‍්‍රට්වලින් ප‍්‍රතිනිර්මාණය කර ලාංකික වාස්තු විදයාවට තවත් අලංකාර අංගයක් ඉදිරිපත් කිරීමටද ඇය සමත් වූවාය. ඇය අතින් නිර්මාණය වූ ගොඩනැගිලි සියල්ලම පාහේ අධ්‍යයනය කිරීමේදී අවබෝධකරගත පොදු සත්‍යතාවක් ඇත. යුරෝපීය නව්‍ය වාස්තු විiා අධ්‍යාපනයක් ලබා ල කබුසියර් වැනි පසු නූතනවාදීන් සමග ඉතා කුළුපගව ඇසුරුකර, ඔවුන්ගේ නිර්මාණ ආභාසය ලැබුවත් මිනෙට් එම පසු නූතනවාදී ලක්ෂණ තම නිර්මාණ තුළට රැුගෙන ආවේ ඉතා ප‍්‍රවේසමෙනි.
ල කොබුසියර් විසින් නිර්මාණය කෙරුණු රොන්චැම්ප් දෙව් මැදුර වැනි ගොඩනැගිලිවල ගොනුවුණු ප‍්‍රකාශනවාදී, පසුනව්‍ය ලක්ෂණ ලාංකික ගොඩනැගිලිවලට එක්කිරීමට එතරම් උනන්දුවක් නොදැක්වූ මිනෙට්, ඒ වෙනුවට බෞද්ධ සහ හින්දු පැරණි ගොඩනැගිලිවලින් ආභාසය ලබා ඝර්මකලාපීය කාලීන වාස්තු විදයා ශෛලියක් ගොඩනගා ගත්තාය. එය ඇය තමන්ගේ වාස්තු විiා භාෂාව තුළින් ලාංකික ජන ජීවිතය සහ සංස්කෘතියට හිස නමා ගරු කිරීමක් වැනිය. මිනෙට් විසින් මුල් පියවර තබන ලද ලාංකීය යැයි කිව හැකි ඝර්ම කලාපීය, දේශගුණික සහ සමාජීය ලක්ෂණවලට මුසුවුණු වාස්තු විදයා සංස්කෘතියක් ඊට දශකයට හෝ දෙකකට පසුව ජෙෆ්රී බාවා ප‍්‍රමුඛ ලාංකික වාස්තු විදයාඥයන් විසින් අතිඅපූර්ව තලයකට ගෙනයන ලදි. ඒ ප‍්‍රගමනයට ආභාසය සැපයූ මුල් කාලීන වීරවරියක ලෙස මිනෙට් ද සිල්වා ඉතිහාසගත විය යුතුය.
‘ශී‍්‍ර ලංකාවට නිදහස ලැබීමෙන් පසු, එතෙක් ලංකාව සහ ආසියාව පුරා වැපිරී තිබුණු ආසියාතික, දේශගුණික තත්ත්වයන් සම්ප‍්‍රදායන් සහ ජන ජීවිතයට අනුකූල නොවූ ගොඩනැගිලි නිර්මාණ කාර්යයට එරෙහිව නැගීසිටි පළමුවැනි වාස්තු විදයා වෘත්තිකයා මිනෙට් ද සිල්වායි. ඇයගේ එම නොසැලෙන උත්සාහය නිසාවෙන් ඊට පසු දශක පහ තුළ ජාතික ගොඩනැගිලි දෙපාර්තමේන්තුව විසින් ඉදිකෙරුණු ගොඩනැගිලි බි‍්‍රතාන්‍ය ගැති ආභාසයෙන් මිදී ලාංකික ජනසමාජයට, දේශගුණික ලක්ෂණ සහ සංස්කෘතියට උචිත ලෙස නිර්මාණය වීමට පෙළඹිණි.’
මේ උල්රික් ප්ලෙස්නර් තම චරිතපදානයෙහි මිනෙට් ගැන තබා තිබෙන තවත් මතක සටහනකි.

සුමුදු අතුකෝරල/ 03/06/2018 / Anidda newspaper - අනිද්දා

දකුණු දිග වෙරළත බාවා සළකුණ

දකුණු දිග වෙරළත බාවා සළකුණ


(1969 වසරේදී සාදා නිමකළ බෙන්තොට බීච් හෝටලය, වසර ගණනාවකට පසු යළි නවීකරණය කිරීමට පියවර ගන්නා ලදී. එහෙත් එහි ප්‍රධාන ගොඩනැගිල්ල වන ඉතා අලංකාර විශාල මධ්‍ය ගොඩනැගිල්ලෙහි අබලන් තාවයන් නිසා එය කඩා ඉවත්කළ යුතු බවට ව්‍යුහ විද්‍යා උපදෙස් වලින් කියවිනි. එහෙත් එම ඉතා වැදගත් සංධිස්ථානමය ගොඩනැගිල්ලට ඇති වැදගත්කම නිසා ජෝන් කීල්ස් ආයතනය, වාස්තු විද්‍යාඥ චන්න දාස්වත්ත සහ ජෙෆ්රි බාවා පදනම විසින් එම ගොඩනැගිල්ල ගළවා, දුර්වල කොටස් සහ ව්‍යුහමය කොටස් ඉවත්කර, සෑම ගල් පුවරුවක්ම, සෑම දොරක්, ජනේලයක්ම සහ ලී කණු වැනි විවිධ අමුද්‍රව්‍යක්ම ඒ තිබූ තැන්වලම පිහිටින ලෙස නැවත ගොඩනැගීමේ අති සංකීර්ණ ක්‍රියාවලියට එකඟවිය. නැවත ඒ තිබූ අයුරින්ම නිර්මාණය කළ එම ගොඩනැගිල්ල මේ මස අග දිනකදී භාවිතයට එක්කිරීම ට කටයුතු සැනසෙනු ඇත.)
කොළඹ සිට ගාල්ල බලා ගමන්කරන අතර බෙන්තොට පාළම පසුකරන විට ඔබේ දකුණු පසින්, ගඟටත් මුහුදටත් මැදිව පොල් තුරු මුදුන් අතරින් ඉහළට එසවී ගාම්භීර බව මුසු නිහතමානී බවකින් නිසොල්මනේ සිටින අලංකාර ගොඩනැගිල්ල ඔබට මතකද? වාස්තු විද්‍යාව තුළදී පමණක් නොව, අනෙක් කලා සහ තාක්ෂණ විෂයන් හි දීත් වැදගත්වන,පරිමාණය සහ සම්පිණ්ඩනය වැනි සංකල්ප වලට අනුව මිනිස් ඇසට ඉතා ප්‍රියමනාප ලෙස නිර්මාණය වී ඇති එම පඬු පෑහැති ගොඩනැගිල්ල ප්‍රකට බෙන්තොට බීච් හෝටලය යි. 
පසුගිය ශතවර්ෂය තුළ ලාංකික වාස්තු විද්‍යා ඉතිහාසයේ ඉතාම වැදගත් සංධිස්ථාන බොහොමයක් නිර්මාණය කළ ජෙෆ්රි බාවා මහතා විසින් නිර්මාණය කරන ලද අති සුවිශේෂී ගොඩනැගිල්ලක් ලෙස බෙන්තොට බීච් හෝටලය හඳුන්වා දිය යුතුය. විවෘත ආර්ථිකය, අන්තර්ජාල නැඹුරුව, ජාත්‍යන්තර ආභාෂය වැනි සාධක වලට පෙර ලංකාවට ආවේනික වාස්තු විද්‍යාත්මක සම්ප්‍රදායක් නිර්මාණය කිරීමට ඉතා වැඩි දායකත්වයක් දැක්වූ ජෙෆ්රි බාවා එම ප්‍රවාහයේ උපරිමය සනිටුහන් කරන කදිම අවස්ථාවකි බෙන්තොට බීච් හෝටලය. දේශපාලනික අර්ථ වලින් සහ විවිධ නූතනවාදී ඊනියා මතවාද වලින් ජෙෆ්රි බාවා ගේ වාස්තු විද්‍යාත්මක මැදිහතවීම ඉරිසියාව ඈඳුනු අවිචාරවත් විචාරයට ලක්වීමේ ප්‍රවණතාවයක් මෑතක සිට හිස ඔසවනු පෙනෙන්නට තිබේ. ජෙෆ්රි බාවාට රාජ්‍ය අනුග්‍රහය ලැබීමත්, පාර්ලිමේන්තු සංකීර්ණය වැනි ඔහුගේ නිර්මාණ තුළ පොදු ජන විරෝධී සංකල්ප ඇතුළත් වූ බවත්, ඔහුගේ නිර්මාණ පිළිබඳ දෙස් විදෙස් පොත් සහ සඟරා (ඉංග්‍රීසි) වල අසීමාන්තිකව ප්‍රකාශයට පත්වීමත් ඒ විචාර අවිචාරයට හේතු වුවා විය හැක. 
මේ කාරණා කෙසේ වෙතත්, ඔහු විසින් කරන ලද නිර්මාණ තුළ ඔහු විසින් ඔප් නංවා ඇති සෞන්දර්යයට පිළිබඳව ඒ කිසිම විචාරකයින් වත් පහරදී නැත. ඔහු විසින් හඳුන්වා දුන් නූතන නමුත් පාරම්පරික ලක්ෂණ සහිත ලාංකික යැයි කිවහැකි අනන්‍යතාවකින් යුතු වාස්තු විද්‍යා භාශාව සහ විලාසය හරි හැටි අධ්‍යයනය නොකර, වර්තමානය තුළ භාවිතා වන සහ නවීනත්වය තුළ සැඟව ගිය ඔහුගේ නිර්මාණ ලක්ෂණ නිවැරදිව හඳුනා නොගෙන බැහැර කිරීම කිසිසේත්ම කළ හැකි දෙයක් නොවේ. ලෝකය සමග වෙනස් වෙමින්, ඔප නැගෙමින් අනෙක් සෑම ක්ෂේත්‍රයක් මෙන්ම වාස්තු විද්‍යාවද වර්ධනය විය යුතුය. එය ක්‍රමිකව සිදුවන ක්‍රියාවලියක් මිස බලෙන් එබ්බවීම නොකළ යුත්තකි. 
දැන් අපි බෙන්තොට බීච් හෝටලය තුළ ඇවිද ගොස් ජෙෆ්රි බාවා අති විශිෂ්ඨ වාස්තු විද්‍යාඥයකු වන්නේ ඇයිද යන්න විමසා බලමු. 
බෙන්තොට පාළම පසුකරනවාත් සමගම මුහුද දෙසට හැරී දුම්රිය මාර්ගය පසුකර ඔබ ඇතුළු වන්නේ බෙන්තොට බීච් හෝටලයේ ප්‍රධාන පිවිසුම වෙතයි. කළු ගලින් නිමවා ඇති පැරණි ලන්දේසි කොටුවක් තුළට ඇතුල් වෙන්නාක් මෙන් ඔබ තරමක් අඳුරු අවකාශයක් පසුකර එහි ප්‍රධාන පියගැට පෙළ වෙතට ගමන් කරනු ඇත. කවාකාර (ආර්ච්) විවරයකින් ඉහළට දිවෙන එම පියගැට පෙළ සහ පිවිසුම් මහලේ බතික් සිවිලිම බාවා මහතා ගේ නිර්මාණ අතරින් වඩාත්ම ඡායාරූප වලට හසුවුණු තැනක් විය යුතුය. කහ, තැඹිලි, රතු සහ නිල් වැනි ඉතා දීප්තිමත් වර්ණ වලින් යුතුව ප්‍රකට ඊනා ද සිල්වා මහත්මිය විසින් නිර්මාණය කළ එම සිවිලිම ඔබ එතෙක් රැඳී සිටි අඳුරු හුදකලා බවින් ඔබව මුදවාගෙන එයින් එපිට ඇති රසවත් අත්දැකීමක් ගැන ඉඟි කරන්නාක් මෙනි. 
මෙම ප්‍රධාන ගොඩනැගිල්ලේ සැළැස්ම පැරණි ලන්දේසි බලකොටුවකට සමාන වන අතර ජෙෆ්රි බාවා හිතාමතාම වෙරළබඩ ලන්දේසි බලකොටු වලින් ආභාෂය ලැබූ බව පැහැදිලිව දක්නට ලැබෙයි. වාස්තු විද්‍යාත්මක ලක්ෂණ අතින් ඉතාම අලංකාර පරිමාණයන් සහ අවකාශ වලින් යුතු ලංකාවේ ලන්දේසි ගොඩනැගිලි වල බලපෑම ජෙෆ්රි බාවා ගේ සෑම නිර්මාණයකම පාහේ දක්නට ලැබෙන්නකි. 
එම පියගැට පෙළ කෙළවරදී ඔබ පිවිසෙන්නේ, හෝටලයේ ප්‍රධාන පිළිගැනීමේ ශාලාව වෙතයි. මෙතෙක් ඔබ තුළ තිබූ කුතුහලය සහ අලස බවට තිත තබමින් එම අවකාශය ඉතා විශාල මැද මිදුලකට විවෘත වෙයි. මැද මිදුල තුළ ඇති පොකුණ මත එළෙන පරණ විසල් අරලිය තුරු ඡායාවන් ඉතා පරිස්සමින් නිමකරන ලද සිතුවමක් මෙන් අප සිත් සන්සුන් කරයි. ඊට එපිටින් ඇති විසල් ආලින්දයේ වීදුරු ජනෙල් අතරින් හෝටල් පරිශ්‍රයට ඇදුණු ඉන්දියන් සාගරය දිස්වේ. 
මෙම මැද මිදුල හෝටලයේ ප්‍රධානතම අංගයකි. මැද මිදුල වටකරමින් ඉහළට එසවී ඇති ගොඩනැගිල්ල තුළ ඇවිද යාමට පුළුල් කොරිඩෝවක් මැද මිදුල වටා සෑම මහලකම සැළසුම් කර ඇත. එම කොරිඩෝව දිගේ ගමන් කර කාමර තුළට ඇතුළු විය හැකි අතර කොරිඩෝවේ විවිධ තැන්වල සිට මැදමිදුලත්, ගොඩනැගිල්ලේ අලංකාරයත් විවිධ කෝණවලින් දර්ශණය වන ආකාරයට සැළසුම් කර තිබීම බාවා මහතා අවකාශ නිර්මාණය ට කොතරම් දක්ෂයෙක් ද යන්නට හොඳ උදාහරණයකි. බැලූ බැල්මට මෙම ගොඩනැගිල්ලේ වාස්තු විද්‍යාත්මක ලක්ෂණ පැරණි ලාංකික වාස්තු විද්‍යාත්මක ලක්ෂණ වලට සමාන බව පෙනුනත්, ජෙෆ්රි බාවා සියුම් සහ නිර්මාණාත්මක ලෙස ඒවා අතික්‍රමණය කර නූතන වාස්තු විද්‍යාත්මක ලක්ෂණ ඒ තුළට ගොනුකර ඇත. පහත මාහලේ සිට මහලෙන් මහල ඉහළට යන විට, ක්‍රමිකව ඒ ඒ මහල එළියට පන්නා ඇත්තේ, ව්‍යුහ ඉංජිනේරු දීපාල් වික්‍රමසිංහ මහතාගේ රාජකාරිය එසේ මෙසේ නොවන රාජකාරියක් කරමිනි. එමෙන්ම එය ඉතා සෞන්දර්යාත්මක ගොඩනැගිල්ලක් බවට පත්කිරීමට එම සාධකය හේතු වී ඇත. කොරිඩෝව කෙළවර ලී කණු සහ ලී අත්වැට ඉතාම සරල ආකාරයට නිර්මාණය කර ඇති අතර ඒවායින් මැවෙන සැඳෑ සෙවණැලි සෞන්දර්යාත්මක රෑ රටාවන් කොරිඩෝ බිම මත මැවෙන ආකාරය බලන්න ලස්සනය.
මෙම ගොඩනැගිල්ලේ පොදු ස්ථාන සියල්ලම පාහේ පොළොව මට්ටමෙන් ඉහළ තළයක පිහිටුවීම මගින් ඒ ඒ තැන්වල සිට මුහුද, බෙන්තොට ගඟ සහ හිරු බැසයාමේ සෞන්දර්යය කදිමට අත්විඳීමට සළස්වා ඇත. 
ඕනෑම වෙරළබඩ හෝටලයක ජනප්‍රිය ලක්ෂණයක් වන්නේ හොටල් කාමර මුහුදේ දර්ශනය උපරිමයෙන් විඳගැනීමට විශාල වීදුරු දොරවල් හරහා විවෘත වීමයි. නමුත් මෙහි ඇති ඉතාම අනුරාගී ලක්ෂණය වන්නේ කාමර වල විවෘත බව තරමක් සීමා කර, සාමාන්‍ය ප්‍රමාණයේ ජනෙල් හරහා මුහුද සහ මෝය වෙනස් සෞන්දර්යාත්මක ඇසකින් දකින්නට සළස්වා ඇති කමයි. කාමරවල සඳලුතල තුළ නිමවා ඇති ස්ථිතික සිමෙන්ති බංකුවක සැහැල්ලුවෙන් වාඩි වී ජින් සහ ටොනික් පානයක් අතැතිව ඉර බැසයන සෞන්දර්යය විඳීම කාහට වුවත් ජීවිතයේ අමතක නොවන අත්දැකීමක් වනු ඇත. 
ප්‍රධාන ගොඩනැගිල්ලන් දෙපසට විහිදෙන පටු දෙමහල් ගොඩනැගිලි නිමවා ඇත්තේ ද හෝටල් කාමර සඳහාය. ඒ සෑම කාමරයක සිටම මුහුදේ හෝ ගඟ සහ මෝය කට අලංකාර දර්ශනයක් දැකගත හැකිවන ආකාරයෙන් නිමවා ඇත. (එම මුල් ගොඩනැගිලි වල අබලන් බව නිසා කඩා ඉවත්කර නැවත වෙනස්කම් සහිතව ගොඩනගා ඇති අතර, නුදුරේදීම ඒවා භාවිතය සඳහා විවෘත වනු ඇත). 
1960 දශකයේ අගභාගයේදී නිර්මාණය කෙරුණු බෙන්තොට බීච් හෝටලය අදාළව තවත් ඉතා වැදගත් කරුණක් වන්නේ, ආනයනික භාණ්ඩ සඳහා යොදා තිබුණු සම්බාධක නිසා ජෙෆ්රි බාවා මහතා ට දේශීය අමුද්‍රව්‍ය භාවිතා කරමින්, සංචාරක හෝටලයකට අවැසි පෙනුම සහ නිමාව නිර්මාණය කිරීමට සිදුවීමයි. එම බාධක නිර්මාණාත්මක අභියෝගයක් ලෙස බාරගත් බාවා මහතා හැකිතරම් දේශිය අමුද්‍රව්‍ය උපයෝගී කරගනිමින් එම ගොඩනැගිල්ල නිර්මාණය කළේය. එමෙන්ම ඔහුගේ නිර්මාණශීලී මිතුරු කැළට හෝටලයේ අලංකෘත අංග නිමකිරීමට බාරදුන්නේය. 
ඊනා ද සිල්වා මහත්මිය ගේ විචිත්‍රවත් බතික් සිවිලිමත්, බාබරා සන්සෝනි මහත්මිය ගේ ආවේණික වර්ණ සහිත දේශීය අමුරෙදි සිවිලිමත්, ඉතා දක්ෂ ස්ථාපන, මූර්ති සහ චිත්‍ර ශිල්පී ලකී සේනානායක මහතා විසින් නිර්මාණය කළ සෝපාන දොර සහ වෙනත් ස්ථාපන මූර්තිත්, වාස්තු විද්‍යාඥ ඉස්මත් රහීම් ගේ දේශීය හුරැවක් ගත් සිතුවම් එකතුවත් සමගින් බෙන්තොට බීච් හෝටලය සෞන්දර්යයෙන් පිරිපුන් තැනක් වන්නේ එළෙසිණි.

සුමුදු අතුකෝරල (අනිද්දා / ජනවාරි)


"සමකාලීන ලාංකීය වාස්තු විද්‍යා තරු ලකුණ, පොළොන්තලාව බංගලාව"

"සමකාලීන ලාංකීය වාස්තු විද්යා තරු ලකුණ, පොළොන්තලාව බංගලාව"


ඒ 1960 දශකයේ මුල් භාගයයි. එවකට ලංකාවේ ප්රකට වැවිලි කර්මාන්ත සමාගමක් වූ ස්විස් ජාතික බවර් සමාගමට අයිතිව තිබුණු වයඹ පළාතට ඇතුළත් පොළොන්තලාව වතු යාය අක්කර දහසකට ආසන්න ප්රමාණයකින් යුක්ත විය. දැදුරු ඔයට මායිම්ව පොල් සහ වී වගාවන්ගෙන් සමන්විත පොළොන්තලාව වතු යාය ඒ පළාතේ පැවති විශාලතම සහ සශ්රීකම වතුයායක් විය. එදවස කටු මැටියෙන් සහ පොල්අතු සෙවිලි කළ වහලයක් සහිතව පැවතියත් වතුයායේ කළමණාකාර නිවස ඉතා සුවපහසු සහ සිත්ගන්නා සුළු එකක් විය. නමුත් ඒ වෙනුවට නව ස්ථාවර බංගලාවක් ඉදිකිරීමට බවර් සමාගමේ ප්රධාන කළමනාකාර තිලෝ හොෆ්මන් මහතා විසින් යෝජනා කිරීමෙන්, එම නිර්මාණ කර්තව්යය එවකට ඉතා දක්ෂ, මතු බලාපොරොත්තු සහිත සහ තරුණ වාස්තු විද්යාඥ ජෙෆ්රි බාවා මහතා වෙත පැවරිණි. මෙම නිර්මාණ පැවරුම, එවකට තමා යටතේ වැඩ කටයුතු කළ ඩෙන්මාර්ක් ජාතික තරුණ වාස්තු විද්යාඥ උල්රික් ප්ලෙස්නර් වෙත පැවරීමට බාවා මහතා දෙවරක් කල්පනා නොකළේ උල්රික් දක්ෂ සහ ක්රියාශීලී වාස්තු විද්යාඥයකු වූ බැවිනි. 
පොළොන්තලාව වතුයායේ අක්කර දහස පුරාම කරක්ගසා, බංගලාව ඉදිකිරීමට සුදුසුම ස්ථානය ලෙස එහි පිහිටි, විශාල රවුම් කළුගල් වලින් සැදි, ඉතාම විශේෂ බිම්කොටස වාස්තු විද්යාඥ දෙපල විසින් තීරණය කෙරුණි. එම ගල් බෝල අතරින් විශාලතම ගල අඩි තිහක් හතළිහක් පමණ උස දැවැන්ත ගෝලයක් වු අතර, ඊට පහළින් එක රේඛාවකට පිහිටි මධ්යම ප්රමාණයේ ගෝලාකාර කළුගල් ත්රිත්වය යාකරමින් අපූරු ගොඩනැගිල්ලක් නිර්මාණය කළ හැකි බව ඔවුන් මනසින් චිත්රණය කරන්නට ඇත.
බවර් ආයතනයට අවශ්ය වූයේ එවකට ජනප්රිය රැල්ලක් වූ යටත් විජිත වාදී වාස්තු විද්යා ලක්ෂණ වලින් තොර, මධ්යම පාන්තික ලාංකික පවුලකට සුදුසු ආකාරයේ ගොඩනැගිල්ලකි. එමෙන්ම එම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා අත්යාවශ්ය යකඩ, සිමෙන්ති වැනි අමුද්රව්ය හැරෙන්නට අනිත් සියළුම අමුද්රව්ය සහ ශ්රමය පොළොන්තලාව වතුයාය තුළින්ම සපයා ගතයුතු බව ඔවුන්ගේ තවත් ඉල්ලීමක් විය. 
විවිධ දිශාවට යොමු වූ විවිධ හැඩැති ගල් ගෝල සහ විශාල තුරුලතා නිසා ගොඩනැගිල්ල ඉදිකිරීමට යෝජිත බිම් කොටස මිනින්දෝරු සැළැස්මකට ගැනීම අපහසු කර්තව්යයක් වූයෙන්, ඉඩමෙහි දින කිහිපයක් නැවතී ගස් ගල් වල පිහිටීම සහ එකිනෙකට ඇති දුර මැන ඒවා සැළසුම් සහ සටහන් කිරීම බාවා මහතා විසින් ප්ලෙස්නර් වෙත බාර දුන්නේය. ඒ කුරුටු සටහන් මත බංගලාවේ නිර්මාණ සැළසුම කොළඹ බාවා කාර්යාලයේදී සිදුකෙරුණු අතර එය පහසු කටයුත්තක් නොවීය. එබැවින් දීර්ඝ සති අන්තයකදී පොළොන්තලාවට ගොස් ඉනි සහ නූල් ආශ්රයෙන් ඒ බිම් කඩෙහි ගොඩනැගිලි සැළසුම ස්ථානගත කර අවශ්ය පරිදි පිහිටීම වෙනස් කිරීමට ජෙෆ්රි බාවා සහ උල්රික් ප්ලෙස්නර් තීරණය කළේය. 
"නූල්, ඉනි, පුටු, සැන්විච් එහෙමත් අරගෙන අපි එතෙන්ටම ගිහින් බංගලාව පිහිටිය යුතු ආකාරය එතන ඉඳන්ම සැළසුම් කලා. අපේ අත් එහෙට මෙහෙට යන රිද්මයට බාස් උන්නැහේලට නූල් එහෙ මෙහෙ අදින්න වුණා." 
ජෙෆ්රි බාවා, පසු කළෙකදී ඒ ක්රියාවලිය වාස්තු විද්යාඥ චන්න දාස්වත්ත ට විස්තර කර තිබුණේ එසේය. ඒ අතර උල්රික් ප්ලෙස්නර් ඒ ගැන මෙසේ ලියා තැබුවේය. 
"ජෙෆ්රි මැදින් හිටගෙන ගමේ මිනිස්සුන්ට කරන්න ඕනෙ දේ කියල දුන්නේ ඒ මිනිස්සුන්ව හිනා ගස්සමින්. වැඩ බිමට ගියාම එයා තමයි තරුව, මම ඉතිං අළු පාට දිස්නයක් බවට හැරෙනවා".
මේ ආකාරයෙන් මුළු ගොඩනැගිල්ලම නූල් සහ උණබට ඉනි ආශ්රයෙන් සැබෑ ප්රමාණයේ ත්රිමාණ සැකිල්ලක් ලෙස දවස් තුනක් තිස්සේ ගොඩනංවන ලදී.
"අන්තිම දවසෙ හවස් වරුව වෙන කොට කළුගල් සහ කැළෑ ගස් අතරින් මායාමය, එහාමෙහා පෙනෙන, සම්පුර්ණ ප්රමාණයේ අවතාරමය ගොඩනැගිල්ලක් සුදු
ඉරි වලින් නිර්මාණය වුණා. ඒක ඒ විදියටම අවුරුද්දක් විතර තියෙන්න ඇති. එදා ඉඳන් හැම සති දෙකකටම සැරයක් අපි ඇවිත් ඊළඟට අපි එන දවසට කලින් සදා නිම කළයුතු යුතු කොටස් ඔවුනට විස්තර කළා. ඔය විදියට ගොඩනැගිල්ල ඉදිකෙරුණේ කඩදාසි වල ඇඳපු සැලැස්මක් නැතුව, සම්පූර්ණ වියදම ගැන අදහසකුත් නැතුව" ප්ලෙස්නර් ඔහු විසින් රචිත "In-Situ" නමැති ඔහුගේ ස්වයං චරිතාපදානයේ ඒ විස්තරය ලියා තබන්නේ එළෙසිනි. 
බංගලාවේ නිර්මාණ සැළසුම සිදුව ඇත්තේ එහි ස්වභාවික පිහිටීමේ අලංකාරයට බිඳකවත් අවපැහැයක් එක් නොකරමිනි. ගල් තලාවත්, රෑස්ස තුරු අරණත් ඒ නිහතමානී ගොඩනැගිල්ල නිසාවෙන් නව පණක් ලබා, ඒ අතර තිබූ කුමක් හෝ අඩුපාඩුවක් මකාගත්තාක් මෙනි. ගල් දෙකක් එකට එක හේත්තුවක් දමාගෙන ඇති දෙබුක්කාව බංගලාවෙහි ප්රධාන ස්ථානය වන ආලින්දයට ඔබව පිළිගන්නා ලෙස සැළසුම් කර ඇත. ඊට පෙර කුඩා පළ දෙකේ පියස්සක් සහිත වැරැන්ඩාවකින් ඔබ පොළොන්තලාව බංගලාවට ඇතුල්විය යුතුය. (මේ පිවිසුම වර්තමානයේදී භාවිතා නොවන්නේ ඒ ඉදිරිපිට උද්යානය බුදු මැදුරක් සහ විකාර මල් පැල වලින් අසුරා ඇති බැවිනි. එම නිසා ඔබ හට බංගලාව වටේ ඇවිදගොස් ආලින්දයෙන් ඇතුල්වීමට සිදුවීම එහි වාස්තු විද්යාත්මක සෞන්දර්යයට සිදුවූ විශාල හානියක් ලෙස හැඟේ.)
බංගලාවේ වඩාත්ම සිත්ගන්නා සුළු ස්ථානය වන්නේ කළු ගල් ගෝල මත රැඳවූ පළ දෙකේ පියස්සෙන් වැසුණු ආලින්දයයි. කිසිදු දොරක් හෝ ජනේලයක් රහිතව සෑම දිශාවකටම විවෘත වූ මෙම අවකාශය සම්පූර්ණයෙන්ම නිර්මාණය වී ඇත්තේ කළු ගල් සහ වහලයෙන් පමණි. කළු ගල් ගෝලයන්හි උස මිනිස් උසට ඉතාම සුව පහසු උසකින් සමන්විත වීමත් පළ දෙකේ පියස්ස ගල් වල සමාන්තර රේඛා වට විරුද්ධ දිශාවන් දෙකට ආනත වීමත් මගින් වියළි කාලයේදී සූවපහසු සිසිල් බවකුත්, දැඩි වර්ෂා මාස දෙක තුනේදී වැසි හිරිකඩින් ආරක්ෂාවත් ලබාදෙයි. අවට තුරු වියනත්, වහලයත් නිසා ආලින්දය ඇතුළත දිවා කාලයේ දී, ඉතා සෞම්ය විවේකී ස්වභාවික ආලෝකයක් විසිරෙන අතර දිවා සහ රාත්රී කාලයේ අවට ස්වභාවික උද්යානය කදිමට අත්විඳීමට අවස්ථාව සැලසී ඇත. කළු ගල් ගෝල තුන යාකරමින් පියස්ස මුලසිටම සැළසුම් කර තිබුණත්, පියවි ඇසට පෙනෙන ලෙස ඒකීය රේඛාවෙන් මැද පිහිටි ගල මඳක් ඉවතට හැරී තිබීම නිසා, බාවා මහතා විසින් වතුයාය ආසන්නයේ වාරි කර්මාන්ත ඉදිකිරීමක් කරමින් සිටි කාර්මිකයන් ගෙන්වා ඒ මැද ගල ඉහළින් සිදුරු කරවා ඒවාට එබ්බවූ කොන්ක්රීට් කම්බි මගින් පියස්සෙහි මධ්යම කොන්ක්රීට් ආධාරකය රැඳවූ බව ප්ලෙස්නර් "In-Situ" පොතෙහි ලස්සනට විස්තර කරයි. 
ඒ දෙපස රවුම් කණු වතුයායෙන්ම සොයා, සකසා, ඔප් දැමූ පොල් කොටය. ඒවා පැරණි කණු මුදුන් ආරුක්කු වලින් සරලව අවසන් කර ඇත්තේ අලංකාරයට පමණක්ම නොවේ; වහලයේ බර දරාගැනීමේ උපක්රමයක්ද ලෙසිනි. ඒවා යට ලී වලට ශක්තිමත් කඹ වලින් බැඳ ඇති ආකාරය කදිම වාස්තුවිද්යාත්මක අඟපසඟකට කදිම උදාහරණයකි. සිවිලිමකින් තොරව ඇස්බැස්ටස් තහඩු ඇතිරුම පහළට පෙනෙන්නට සළස්වා ඇති අතර, කතිර රටාවට ඉදිකර ඇති රීප්ප මෝස්තරය එහි ව්යුහමය අවශ්යතාවය අභිබවා කදිම අලංකාරයක් මතු කරන්නකි. පොළවට අතුරා ඇති මැටි බිම් උළු (ටයිල්) ඉතා කදිම, මිනිස් අතින් නිර්මාණය වූ, අපිළිවෙල මතුපිටක් ඇති කළත්, එයින් මතුවන විවේකී පහන් බව එය පරදා මතු වෙයි.
පටු විවෘත පාලමකින් ආලින්දය කාමර සහිත කොටසට යා කර ඇති අතර කාමර තුනකින් හෙබි එම කොටස ස්වභාවික උද්යානය පසෙකට යොමු වී කදිම නිදහස් බවක් ඇතිකරයි. කිසිම විටෙක වීදුරු භාවිතා නොකරන ලද මේ බංගලාව, ජනෙල් ආරක්ෂා වී ඇත්තේ රවුම් වූ පැති මුහුණත් සමග සවි කර ඇති දැව රාමු වලින් පමණි. 
ගොඩනැගිල්ලේ ඉදිරිපස කොනකට වන්නට නිමවා ඇති කාර්යාල කොටස තවත් ආලින්දයෙන් මෑතට විහිදී යන්නකි. ඒ කොටසෙහි ඉහළට එසවී හාත්පස එබී බලන, ගලින් නිර්මිත, හතරැස් බඳ වතුර ටැංකිය වසාගෙන සිටින්නකි. වතුයායේ ඕනෑම තැනක සිට බංගලාව තිබෙන ඉසව්ව නිශ්චිතව දැන ගැනීම සඳහා සංකේත කුළුණක් ලෙසද එය සැළසුම් කල බව ප්ලෙස්නර් පවසයි. 
බංගලාවෙහි සියළුම බිත්ති වතුයායෙන්ම ඩයිනමයිට් දමා කඩා ගත් කළු ගලින් නිමවී ඇති අතර විශාල ඉඩමේ අක්කරයක පමණ ප්රමාණයක් බංගලාවෙහි උද්යානය බවට හරවමින් ඉදිකර ඇති උසින් අඩු වුවත් මහතින් වැඩි ගල් බැම්ම වන සතුන්ගෙන් ආරක්ෂා වීමට මෙන්ම කදිම ස්වභාවික උද්යානයක සීමාව ලකුණු කිරීමට ද දායක වන්නකි. 
ස්වාභාවික පසුබිමක් සහිත සුවිශේෂී භූවිෂමතා ලක්ෂණ සහිත ඉඩමක නිමවී ඇති පොළොන්තලාව බංගලාව, ජෙෆ්රි බාවා ගේ මුල් නිර්මාණ අතර විශේෂ සංදිස්ථානයක් සටහන් කරන්නකි. එමෙන්ම සමකාලීන වාස්තු විද්යාත්මක ප්රවාහයේ මූලික පියවර සනිටුහන් කරන ලාංකික ගොඩනැගිලි නිර්මාණයද බොහෝ විට මෙයයි. නූතන තරුණ වාස්තු විද්යාඥයින්ට ඔවුන් අතින් නිර්මාණය වන හෝටල්, නිවාස සහ නිවාඩු නිකේතන සඳහා ඉතා අගනා උදාහරණයක් බාවා සහ ප්ලෙස්නර් එකමුතුව විසින් ලබා දී ඇති අතර, ඔවුන්ද ඔවුන්ගේ ඊළඟ නිර්මාණ සඳහා බොහෝ දේ මේ අත්හදා බැලීම් වලින් ඉගෙනගත් බව ඔවුන්ගේ පසුකාලීන නිර්මාණ වන කණ්ඩලම හෝටලය, ලයිට් හවුස් හෝටලය, ඊනා ද සිල්වා නිවස පමණක් නොව ලූණු ගඟ උද්යානය ආශ්රිතවද හඳුනා ගත හැක. 
කෙසේ වෙතත් මෙමෙ බංගලාව ඉදිවී කෙටිකලක් තුළ එවකට රජය විසින් පැවරූ, සීමිත ඉඩම් පනත නිසාවෙන් බවර් සමාගමට පොළොනතලාව වතුයාය රජයේ පශු සම්පත් සංවර්ධන මණ්ඩලය වෙත බාර දීමට සිදුව ඇත. ඉතා අගනා වාස්තු විද්යාත්මක නිර්මාණයක් වන පොළොන්තලාව බංගලාවට කණ කොක් හඬ ඇසෙන්නට ඇත්තේ ඉන් පසුවය. එයට සුදුසු රැකබලාගැනීම, පිළිසකර කිරීම සහ පවත්වාගෙන යාම වැනි අවශ්යතාවන් නිවැරදිව නොලබන මේ ගොඩනැගිල්ල කාලයක් පුරා අබලන්ව අත්හැර දමමින් තිබෙන බව දැක ගත හැක. උල්රික් ප්ලෙස්නර් විසින් මෙම ගොඩනැගිල්ල සංරක්ෂණය කර ගැනීම සඳහා රජයෙන් ඉල්ලීම් කර ඇති අතර එසේ නොමැති නම් මිලදී ගෙන හෝ සංරක්ෂණය කිරීමට කිහිප වරක් උත්සාහ කළ බව තම ස්වයං චරිතාපදානයේ සටහන් කර ඇත. 
ඉතා සංවේදී ලෙස සහ වෘත්තීමය උපදෙස් සහිතව මෙම අපූරු ගොඩනැගිල්ල පිළිසකර කර, නිවැරදිව කළමනාකරණය කර විදේශ සංචාරක ප්රවර්ධන තෝතැන්නක් බවට පත් කිරීමට තවමත් ප්රමාද නැත. ජෙෆ්රි බාවා විසින් නිර්මාණය වුණු ගොඩනැගිලි සොයා ගෙන තවමත් ශ්රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සුළු පටු කොට තැකිය නොහැක. 
[සුමුදු අතුකෝරල / අනිද්දා / පෙබරවාරි]

Sunday, September 15, 2019

ඉරි

‘සිතුවමක් යනු රේඛාවක් චාරිකාවක් යාමයි’ ඉරි නැත්නම් රේඛාව යන්නට පෝල් ක්ලී නම් චිත‍්‍රශිල්පියෙකු විසින් ලබාදුන් අදහසක් තමයි ඒ. මෑතකදී සුජිත් රත්නායක විසින් පැවැත්වූ ‘තනි අඛණ්ඩ රේඛාව’ චිත‍්‍ර ප‍්‍රදර්ශනයේ අපූරු චිත‍්‍ර එම අදහස ඒත්තු ගන්වන්නක් ලෙස මෙවෙලේ මතකයට නැගේ. සුජිත් තනි රේඛාවක් අලංකාර මෙන්ම ත‍්‍රාසජනක චාරිකාවක් අඛණ්ඩව රැුගෙන ගොස් අවසන අපූරු රේඛා සිතුවම් ගොඩනගයි. පෑනක් හෝ පැන්සලක් කඩදාසියක් හමුවන සෑම විටකම ප‍්‍රතිඵලය ඉරකි. අකුරු, ඉලක්කම් හෝ චිත‍්‍ර, මේ සෑම දෙයකම ඇරඹුම ඉරකි. චිත‍්‍ර කලාව තුළ රේඛාවට තහංචි නැත. කලාකරුවා කැමති ලෙසකට කැමති හැඩයකට රේඛා ඇඳ තම නිදහස් සිතුවිලි රේඛා දිගේ ගලායාමට සලස්වා සම්පූර්ණ සිතුවම නිමවෙයි. 

මොන්ඩි‍්‍රයෑන්ගේ වර්ණ සංයෝජන කොටු චිත‍්‍රවලත්, ඇන්ඩි වෝහොල්ගේ ග‍්‍රැෆිටි ඌරුවක් ගත් චිත‍්‍රවලත් ජ්‍යාමිතික රේඛාවට සහ රේඛාමය සම්පිණ්ඩනයට වැදගත් ස්ථානයක් හිමි වූ බවක් පෙනෙයි. ඉතාමත් ආවේණික සිනමා ශෛලියකින් නිර්මාණකරණයේ යෙදෙන වෙස් ඇන්ඩර්සන් තම සියලූම නිර්මාණවල, රූප රචනය තුළ රේඛාව සහ ජ්‍යාමිතියට දැඩි අවධානයක් දක්වයි. ලොව බිහිවූ අපූර්වතම සිනමාකරුවකු වන අන්ද්‍රෙ තර්කොව්ස්කිගේ අතිශය අලංකාර රූපවලින් යුතු සිනමා කෘති තුළ රේඛීය සම්පිණ්ඩනයට ඔහු ලබාදී ඇති වැදගත්කම සෞන්දර්යාත්මක රූපරාමු ගොඩනැගීමට විශාල දායකත්වයක් දක්වා ඇති බව පෙනේ.
ජ්‍යාමිතික හැඩ තල සමග ගනුදෙනු කරන ආකිටෙක්චර්, ග‍්‍රැෆික් නිර්මාණ හෝ සිනමා සහ ඡුායාරූප කලාවන් තුළදී එම නිදහස් රේඛාවට හිමි නිදහස් බවට යම් සීමා පැනවෙයි. ඒ එම කලා ද්විත්වයම කිසියම් නිශ්චිත අරමුණක් වෙනුවෙන්, ප‍්‍රායෝගික මෙන්ම භාවිතමය තලයක් තුළ නිශ්චිත පිරිසක් අතරට යායුතු නිසාවෙනි. එයිනුත් ග‍්‍රැෆික් නිර්මාණ කලාව තුළ රේඛාව යම් නිදහසක් අත්විඳින්නේ එය කඩදාසියකින් හෝ ඩිජිටල් තිරයකින් එපිටට යන්නේ ඉතාමත් කලාතුරකින් බැවිනි. නමුත් විශ්වීය අනුපාතය නැත්නම් ඨදකාැබ චරදචදරඑසදබ යන සියලූ කලාවන්ට පොදු ධර්මතාව තුළ ජ්‍යාමිතික රේඛාවට ලැබෙන්නේ සුවිශේෂත්වයකි. 
ආකිටෙක්චර් යනු සම්පූර්ණයෙන්ම භාවිතමය කලාවකි, විද්‍යාවකි. රේඛාවට ආකිටෙක්චර් තුළ ඉතාම වැදගත් ස්ථානයක් හිමිවුවත් ඒ එහි නිදහස් බවට වැට බැඳෙන තහංචි සමුදායක් සමගිනි. ආකිටෙක්චර් තුළ දී රේඛා බොහෝ විට ජ්‍යාමිතික වේ. සැලසුමක සිට අවසන් ත‍්‍රිමාන ඵලය දක්වා ආකිටෙක්චර් තුළදී රේඛා බොහෝ විට හතරැුස් ය, නැත්නම් වෘත්තාකාර ය. ආකෘතිමය වශයෙන් රේඛාවල ජ්‍යාමිතික බවට අභියෝග කළ නිර්මාණකරුවන් නැතුවා නොවේ. ලි කබුසියර් ප‍්‍රංශයේ සිට ලෝක ආකිටෙක්චර් සංස්කෘතියට ජ්‍යාමිතික රේඛාව අබිබවා ගිය රොන්චැම්ප් දෙව් මැදුර වැනි අපූරු සිහිවටන දායාද කළේය. සහා හඩිඞ් යනු තම හිතුමතේට ගොඩනැගිලිවල ආකෘතිය ඒ මේ අත ඇඹරූ දක්ෂ වාස්තු විද්‍යාඥවරියකි. ලෝක ආකිටෙක්චර් කලාව තුළ තම නිදහස් රටාවන් කඩදාසිවලින් පිටතට ගෙන ගොඩනැගිලි ලෙස සැබෑවටම නිමවන්නට තරම් ඇය නිර්භීත විය. 
බොහෝ විට තත්කාලීන හෝ පාරම්පරික ආකිටෙක්චර් සම්ප‍්‍රදාය තුළ සියලූම නිර්මාණ ජ්‍යාමිතික වේ. භාවිතමය කලාවක් ලෙස එහි භාවිතාකරන්නන්ට භාවමය අත්දැකීමක් ලබාදීමට මෙන්ම, ඒ අත්දැකීම කඨෝර එකක් නොවීමට රේඛාවන්හි පිහිටවීම ආකිටෙක්චර් තුළදී ඉතා ම වැදගත්කමක් උසුලයි. ආකිටෙක්චර් සම්බන්ධව රේඛාවන්හි පිහිටීම සහ එහි වැදගත්කම සරල සංකල්ප ලෙස වටහාගන්න උත්සාහ කරමු. 
ආකිටෙක්චරල් නිර්මාණයක සැලැස්ම සරල ජ්‍යාමිතික බෙදා වෙන්කිරීම් වලින් සකස්වීම එම සැලැස්ම තුළ අවකාශයන්වල සම්බන්ධතාවන් සහ ගලායෑම පහසුකරයි. සුවිශේෂී භාවිතාවක් හෝ අත්දැකීමක් වෙනුවෙන් කෙරෙන, කෞතුකාගාර වැනි ගොඩනැගිලි ඇරෙන්න වෙනත් නේවාසික හෝ සරල භාවිතයන් උදෙසා නිර්මාණය වන ගොඩනැගිලිවල සැලසුම් තුල තිබිය යුතු සරල ජ්‍යාමිතික බෙදීම ජීවිතය පහසු කරයි. එසේම එකිනෙකට මුහුණලා පවතින ජනෙල් සහ දොරවල් සමාන්තරව පිහිටුවීම, ඒකීය රේඛාවක පිහිටුවීම සහ ඇදකුදවලින් තොරව භෞතිකව නොපෙනෙතත්, එකිනෙකට පරස්පර නොවන මනස් රේඛාවක ස්ථානගත කිරීම වැදගත් වේ. ජනෙල් දොරවල් පමණක් නොව, බිත්ති, ගෘහ භාණ්ඩ, ගොඩනැගිල්ල සරසන මූර්ති, චිත‍්‍ර පවා එකිනෙකට සමපාතව ස්ථානගත කිරීම එම ගොඩනැගිල්ල භාවිත කරන අයෙකුගේ මනසට සහනයක්, සංවරබවක් ලබාදෙනු ඇත. විටෙක බිත්තියක් හරහා ස්ථානගත කරන ජනේලයක් හෝ ද්වාරයක් එම බිත්තියෙහි හරි මැදින් හෝ තුනෙන් එකක සම්පිණ්ඩන රීතිය මත පිහිටුවීම එම අවකාශයට විනයක් ලබා දෙන අතර, එම ජනෙල් හෝ ද්වාරයන්හි උස මට්ටම ඒකීය රේඛාවක පිහිටුවීම මිනිස් ඇසට ප‍්‍රියමනාප වේ.

සැලසුම පමණක් නොව, ගොඩනැගිල්ලක ආකෘතිය, අභ්‍යන්තර සහ බාහිර පෙනුම නිර්මාණය කිරීමේ දී පවා දක්ෂ වාස්තු විද්‍යාඥයකු රේඛාවල පෙළගැස්ම කෙරෙහි වැඩි සංවේදීබවක් දක්වයි. එහිදීත් ජනෙල් දොරවල් හෝ වෙනත් අංගවල සමපාත බව, උස මට්ටම්වල සමානබව, තට්ටු කිහිපයක ගොඩනැගිල්ලක් නම් ජනෙල් එක සමාන පළලින් යුතුව එක රේඛාවක පිහිටුවීම, පිටත සිට එය දකින මිනිස් ඇසට සන්සුන් බවක් ගෙනදෙයි. එමෙන්ම එම ගුණය ගොඩනැගිලිවලට යම්කිසි පිළිවෙළක් ගොනුකරයි. 
ලොව ඕනෑම කලාපයකට අයත්වන පාරම්පරික ගොඩනැගිලි ආශ‍්‍රිතව මෙම ජ්‍යාමිතික රේඛා පිහිටීම අධ්‍යයනය කළ හැකි අතර විශේෂයෙන් ආගමික ගොඩනැගිලි තුළ දේවත්වය සහ ශ්‍රේෂ්ඨත්වය හෝ දේශපාලනික ගොඩනැගිලි තුළ මිනිසාට වටා ඉහළ බව සහ බල පරාක‍්‍රමය විදහාපෑමට මෙම ගුණාංගය භාවිත කළ බව පෙනේ. ලාංකීය ගොඩනැගිලි නිර්මාණ කලාව තුළ සුවිශේෂ ස්ථානයක් සටහන් කරන ජෙෆ්රි බාවා විසින් නිර්මාණය කෙරුණු බොහෝ ගොඩනැගිලිවල රේඛාවල සංවර සහ සමපාත පිහිටුවීම ප‍්‍රබල ලක්ෂණයක් ලෙස කැපී පෙනේ. ඔහුගේ ගොඩනැගිලි සියල්ලක්ම පාහේ සැලැස්මේ ඇති සරල ජ්‍යාමිතික බව එම ගොඩනැගිලි තුළ නිවා සනසන පහන් බවක් නිර්මාණය කරයි. ඒ ආභාසය ඔහු ලබන්නේ ලාංකික පැරණි ගොඩනැගිලි සහ පැරණි යුරෝපීය ගොඩනැගිලිවලින් බව හඳුනාගත හැක. 
ගොඩනැගිලි නිර්මාණය තුළ රේඛාව තීරණාත්මක සාධකයක් ලෙස පිළිගන්නා තවත් විශිෂ්ට නිර්මාණකරුවෙකු ලෙස ජපානයේ ටඩාඔ අන්ඩෝ හඳුනාගැනීමට පුළුවනි. ඔහු ගොඩනැගිලි අංග සහ ස්වාභාවික ආලෝකය යන කරුණු සම්බන්ධව ජ්‍යාමිතික රේඛාවට ලබා දෙන ඉඩකඩ පිළිබඳ, ඔහුගේ අලංකාර ගොඩනැගිලි දෙස අවධානය යොමුකරන අයෙකුට මනාව පැහැදිලි වනු ඇත. 
‘මම විශ්වාස කරනවා ආර්කිටෙක්චර් හරහා මිනිසුන් ජීවත්වන විදිහ තරමකින් හෝ වෙනස් කළ හැකි බව’
අන්ඩෝ මෙම ප‍්‍රකාශය කරන්නේ ජ්‍යාමිතිය සහ රේඛාව සම්බන්ධ ඉහත සංකල්ප පෙරදැරි කරගෙන බව මගේ හැඟීමයි.
ආකිටෙක්චර් විෂයක් ලෙස හැදෑරූ නිර්මාණකරුවන් පමණක් නොව, සිනමාකරුවන්, දක්ෂ ඡුායාරූප ශිල්පීන් පවා රේඛාව, සමපාත බව, රේඛාවක අඛණ්ඩ පිරිසිදු බව කෙරෙහි දැඩි අවධානයක් දක්වයි. රේඛාවන්හි එම සරල ගුණය පවත්වා ගැනීමට නොහැකි වන විට ඔවුහු නොසන්සුන් වෙති. නමුත් ලොව සියලූ ශාස්ත‍්‍රීය රීති ඇත්තේ ඒවා කඩා නව රීති බිහිකර ගැනීමටයි. ඒ ඒ ක්ෂේත‍්‍ර තුළ අභිවෘද්ධිය සඳහා නම් රීති කැඞී නව සංකල්ප බිහිවිය යුතුය. නමුත් ආර්කිටෙක්චර් වැනි භාවිතමය කලාවක ඉහළම ඵලය විය යුත්තේ මිනිසාගේ සුව පහසුව, ඔවුනට වඩා උසස් ජීවිතයක් ලබාදීම සහ ආධ්‍යාත්මික වර්ධනයයි. 
ඉතින් ජ්‍යාමිතික රේඛා සංකල්පය අබිබවා ඒ අරමුණු ඊට වඩා ඉහළින් සාක්ෂාත් කරගත හැකි නම් එයට ඉඩකඩ ඇහිරී නැත. 
සුමුදු අතුකෝරල