Wednesday, March 31, 2021

Archi චැට් (තුන) - Elevation

Archi චැට් (තුන)
Elevation
Architecture විෂයෙදි Elevation එකක් කියන්නේ කිසියම් ගොඩනැගිල්ලක පිටත පිහිටීම පැතලි ජ්යාමිතික රූප සටහනක් ලෙස පෙන්නුම් කිරීමයි. වෙනත් ආකාරයකින් කියනවා නම් විවිධ දිශාවල සිට ගොඩනැගිල්ලක මුහුණත ඇඳ දැක්වීමයි. ගොඩනැගිලි නිර්මාණයක සැළසුමට අනුරූපව ඉදිරි පෙනුම (Front elevation), පිටුපස පෙනුම (Rear elevation), පැති පෙනුම (Side elevation) ආදී වශයෙන් ගොඩනැගිල්ලක් තේරුම් ගැනීමට වගේම එය ඉදිකිරීමට අවශ්යකරන විස්තර සහිතව Elevation රූපසටහන් උපයෝගී කරගන්නවා.
Plan එකට අනුරූපව කණු පිහිටන ආකාරය, ජනෙල් දොරවල් වල පිහිටීම, ගොඩනැගිල්ලක උස, වහලය පිහිටන ආකාරය වැනි විවිධ අංග Elevation එකක් තුළින් පෙන්වන්න පුළුවන්. තට්ටු කිහිපයක ගොඩනැගිල්ලක් නම්, එක් එක් මහල් වල ජනෙල් හෝ විවිධ හැඩතල වල රේඛීය පිහිටීම, එකකට එක්ක සමාන්තර ලෙස පිහිටුවීම එම ගොඩනැගිල්ලේ සෞම්ය බව ඇතිකිරීමට හේතුවන බව Elevation එකක් හරහා අවබෝධකරගත හැකියි.
Elevation එකක් බොහෝ විට ද්විමාන (2D) රූප සටහනක්. ඒ නිසා Section එකක් හෝ Plan එකක් නැතිව Elevation එකකින් ඒ ගොඩනැගිල්ලේ මුහුණතේ ගැඹුර ගැන නිවැරදිව තේරුම් ගන්න අමාරුයි. හැබැයි දක්ෂ වාස්තු විද්යාඥයෙක්ට හෙවණැලි, එළිය අඳුර මනාව භාවිතා කරලා Elevation එකකින් වුණත් ගොඩනැගිලි මුහුණතේ ගැඹුර මතුකරන්න පුළුවන්.

කිසියම් මාවතක් හෝ වීදියක පවතින අනිත් ගොඩනැගිලි හෝ භූවිෂමතා ලක්ෂණ සමඟ ගොඩනැගිල්ලක් සම්පිණ්ඩනය කරන්න Elevation එකක් අත්යාවශ්යයි. සමීපව පිහිටන ගොඩනැගිලි වල උස, පළල, අනෙකුත් විස්තර වලට අනුරූපව හෝ හේතුසාධක ඇතිව අනුරූප නොවන විදිහට ගොඩනැගිල්ලක් නිර්මාණය කරන්න ඒ පවතින වීදියේ Street elevation එක සහ නිර්මාණය කරන ගොඩනැගිල්ලේ ඉදිරි පස Elevation එක ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම තමයි බෑවුමක හෝ කන්දක් උඩ වැනි තැනක ඉදිවන ගොඩනැගිල්ලක පිහිටීම එම භූවිෂමතා ලක්ෂණ වලට අනුව අවබෝධ කරගන්නත් නිර්මාණය කරගන්නත් Elevation රූප සටහන් ඉතාමත්ම වැදගත්.
ද්විමාන රූප සටහනක් නිසාවෙන් Elevation එකකින් ප්රකාශ කරගැනීමට නොහැකි, ගොඩනැගිලි හැඩ තල සහ ගැඹුර නිවැරදිව පෙන්වීම සඳහායි ත්රිමාණ රූප භාවිතා වන්නේ. වර්තමානයේ ඉතා ජනප්රිය අංගයක් වන පරිගණක 3D ගොඩනැගිලි නිර්මාණයේදී දැන් අරුමයක් නොවේ. ගොඩනැගිල්ලක් ඉදිකර නිමවූ පසු දැකිය හැකි ආකාරයටම, දක්ෂ පරිගණක 3D නිර්මාණකරුවකු හරහා කරගැනීම දැන් එතරම් අපහසු නැත. ඔය අතරේ තවමත් අතින් අඳින පර්යාවලෝකන නැතිනම් Perspective රූප මගින් සජීවී ගතියකින් සහ කලාත්මක බවකින් යුතු රූප මගින් තම නිර්මාණය ඉදිරිපත් කරන වාස්තු විද්යාඥයන් ද නැතුවාම නොවේ. ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ ආශ්වාදය ඇත්තේ, එය සම්පූර්ණයෙන්ම නිමවීමට පෙර ටිකෙන් ටික, පියවරෙන් පියවර ඉදිවන ආකාරය අත්දැකීමයි. එබැවින් සජීවී 3D රූප මගින් ගොඩනැගිල්ලක එකවර සැලසුම් නිර්මාණයේ සිටම දැක ගැනීම හොඳද නරකද යන්න තර්ක කළයුතුව ඇත.
©සු 27/01/21

No comments:

Post a Comment