Wednesday, March 31, 2021

Archi චැට් (තුන) - Elevation

Archi චැට් (තුන)
Elevation
Architecture විෂයෙදි Elevation එකක් කියන්නේ කිසියම් ගොඩනැගිල්ලක පිටත පිහිටීම පැතලි ජ්යාමිතික රූප සටහනක් ලෙස පෙන්නුම් කිරීමයි. වෙනත් ආකාරයකින් කියනවා නම් විවිධ දිශාවල සිට ගොඩනැගිල්ලක මුහුණත ඇඳ දැක්වීමයි. ගොඩනැගිලි නිර්මාණයක සැළසුමට අනුරූපව ඉදිරි පෙනුම (Front elevation), පිටුපස පෙනුම (Rear elevation), පැති පෙනුම (Side elevation) ආදී වශයෙන් ගොඩනැගිල්ලක් තේරුම් ගැනීමට වගේම එය ඉදිකිරීමට අවශ්යකරන විස්තර සහිතව Elevation රූපසටහන් උපයෝගී කරගන්නවා.
Plan එකට අනුරූපව කණු පිහිටන ආකාරය, ජනෙල් දොරවල් වල පිහිටීම, ගොඩනැගිල්ලක උස, වහලය පිහිටන ආකාරය වැනි විවිධ අංග Elevation එකක් තුළින් පෙන්වන්න පුළුවන්. තට්ටු කිහිපයක ගොඩනැගිල්ලක් නම්, එක් එක් මහල් වල ජනෙල් හෝ විවිධ හැඩතල වල රේඛීය පිහිටීම, එකකට එක්ක සමාන්තර ලෙස පිහිටුවීම එම ගොඩනැගිල්ලේ සෞම්ය බව ඇතිකිරීමට හේතුවන බව Elevation එකක් හරහා අවබෝධකරගත හැකියි.
Elevation එකක් බොහෝ විට ද්විමාන (2D) රූප සටහනක්. ඒ නිසා Section එකක් හෝ Plan එකක් නැතිව Elevation එකකින් ඒ ගොඩනැගිල්ලේ මුහුණතේ ගැඹුර ගැන නිවැරදිව තේරුම් ගන්න අමාරුයි. හැබැයි දක්ෂ වාස්තු විද්යාඥයෙක්ට හෙවණැලි, එළිය අඳුර මනාව භාවිතා කරලා Elevation එකකින් වුණත් ගොඩනැගිලි මුහුණතේ ගැඹුර මතුකරන්න පුළුවන්.

කිසියම් මාවතක් හෝ වීදියක පවතින අනිත් ගොඩනැගිලි හෝ භූවිෂමතා ලක්ෂණ සමඟ ගොඩනැගිල්ලක් සම්පිණ්ඩනය කරන්න Elevation එකක් අත්යාවශ්යයි. සමීපව පිහිටන ගොඩනැගිලි වල උස, පළල, අනෙකුත් විස්තර වලට අනුරූපව හෝ හේතුසාධක ඇතිව අනුරූප නොවන විදිහට ගොඩනැගිල්ලක් නිර්මාණය කරන්න ඒ පවතින වීදියේ Street elevation එක සහ නිර්මාණය කරන ගොඩනැගිල්ලේ ඉදිරි පස Elevation එක ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම තමයි බෑවුමක හෝ කන්දක් උඩ වැනි තැනක ඉදිවන ගොඩනැගිල්ලක පිහිටීම එම භූවිෂමතා ලක්ෂණ වලට අනුව අවබෝධ කරගන්නත් නිර්මාණය කරගන්නත් Elevation රූප සටහන් ඉතාමත්ම වැදගත්.
ද්විමාන රූප සටහනක් නිසාවෙන් Elevation එකකින් ප්රකාශ කරගැනීමට නොහැකි, ගොඩනැගිලි හැඩ තල සහ ගැඹුර නිවැරදිව පෙන්වීම සඳහායි ත්රිමාණ රූප භාවිතා වන්නේ. වර්තමානයේ ඉතා ජනප්රිය අංගයක් වන පරිගණක 3D ගොඩනැගිලි නිර්මාණයේදී දැන් අරුමයක් නොවේ. ගොඩනැගිල්ලක් ඉදිකර නිමවූ පසු දැකිය හැකි ආකාරයටම, දක්ෂ පරිගණක 3D නිර්මාණකරුවකු හරහා කරගැනීම දැන් එතරම් අපහසු නැත. ඔය අතරේ තවමත් අතින් අඳින පර්යාවලෝකන නැතිනම් Perspective රූප මගින් සජීවී ගතියකින් සහ කලාත්මක බවකින් යුතු රූප මගින් තම නිර්මාණය ඉදිරිපත් කරන වාස්තු විද්යාඥයන් ද නැතුවාම නොවේ. ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ ආශ්වාදය ඇත්තේ, එය සම්පූර්ණයෙන්ම නිමවීමට පෙර ටිකෙන් ටික, පියවරෙන් පියවර ඉදිවන ආකාරය අත්දැකීමයි. එබැවින් සජීවී 3D රූප මගින් ගොඩනැගිල්ලක එකවර සැලසුම් නිර්මාණයේ සිටම දැක ගැනීම හොඳද නරකද යන්න තර්ක කළයුතුව ඇත.
©සු 27/01/21

Archi චැට් (දෙක) - Section

Archi චැට් (දෙක)
Section
Section කියන වචනෙට තේරුම් ගොඩක් තියෙනවා. යම්කිසි ලියවිල්ලක කොටසක්, පාසලක හෝ කාර්යාලයක විශේෂ අංශයක් වගේම සතෙක් ගේ හෝ භාණ්ඩයක කොටසක් කියන අදහසක් වුණත් Section කියන වචනයෙන් හඳුන්වන්න පුළුවන්. ඒත් Architecture වගේ විෂයකදි section කියන්නේ හරස් හෝ දික් අතට ගොඩගිල්ලක් හෝ එහි කොටසක් කැපෙන සේ ඇඳෙන රූප සටහනක්. හරස්කඩ (Cross section), දික්කඩ (Longitudinal section) වශයෙන් දිග අතට සහ පළල අතට කැපෙන රූප සටහනක් වෙන් වෙන් වශයෙන් හඳුන්වන්න පුළුවන්.
Architecture වලදි Section කියන්නේ හරියටම ගොඩනැගිල්ලක අවශ්ය තැන් වලින් කපා, පිටතින් දැක ගත නොහැකි කොටස් පෙන්වීමයි. බොහෝ විට බොහෝ දෙනා අඩු සැලකිල්ලක් දැක්වුවත්, ගොඩනැගිලි නිර්මාණයේදී ඉතාම වැදගත් අංගයක් තමයි Section කියන්නේ. ඒ ඒ අවකාශ වල උස, සම්පිණ්ඩනය, අවකාශ වල ගලායාම, නිමාව, එක් අවකාශයක් තවත් අවකාශයකට දක්වන සහ සම්බන්ධය වගේම ඒ ඒ ගොඩනැගිලි කොටස් හදාගැනීමට භාවිතා කළ යුතු අමුද්රව්ය සහ මාත්රාව පිළිබඳ විස්තරත් හරස් කඩකින් නිවැරදි පෙන්විය හැකියි.

ප්රාදේශීය සභාවේ හෝ වෙනත් ආයතනයකින් ගොඩනැගිලි සැලසුමක් අනුමත කරගැනීම සඳහා අවශ්ය සැලසුම් රූප සටහන් අතරට අවම වශයෙන් එක හරස් කඩක් හෝ ඉදිරිපත් කලයුතු බැවින් එය අඳිනවා විනා බොහෝ විට Section කියන එකට ගොඩනැගිලි ඉදිකරීමේ ක්රියාවලියෙදි ලොකු ඉඩක් හිමි වෙන්නේ නෑ. ඒත් ඇත්තටම සැලසුමක් නිවැරදිව ඉදිකරන්න හැකි තරම් section රූප සටහන් තිබීම වැදගත්. ඒ අපිට Plan එකකින් හෝ Elevation (ඉදිරියේදී මේ ගැන ලියන්නම්) වලින් විස්තර කළ නොහැකි බොහෝ විස්තර පැහැදිලිව පහදා දිය හැකි නිසයි. හැම වෙලාවෙම ඒ ඒ හරස් කඩ කැපෙන ස්ථානය Architectural plan එක මත නිවැරදිව සහ පැහැදිලිව පෙන්නුම් කළ යුතුයි. එහෙම වුණහම ඉතාම පහසුවෙන් ඒ ඒ හරස්කඩට අදාල විස්තර සැලසුමත් එක්ක සංසන්දනය කරලා අවබෝධ කරගන්න පුළුවන්. ඔයාල දකින සැලසුම් වල Section A-A හෝ Section X-X වගේ ලියල තියෙන්නෙ අන්න ඒ කැපෙන රේඛාව නිවැරදිව බලාගන්නයි.
Architecture විෂයෙදි කුඩා අනුකොටස් විස්තර කිරීම සඳහා යොදා ගන්නා ක්රමවේදය තමයි Details කියන්නේ. ඒ විස්තර බොහොම පැහැදිලිව ඉදිරිපත් කරන්න පුළුවන් කුඩා තැන් හරහා ඇඳෙන හරස්කඩ රූප සටහන් වලින්. කොන්ක්රීට් මතුපිටකට ලී හෝ යකඩ වලින් සැදි යමක් සවි කරන ආකාරය, සිමෙන්ති මතුපිටකට වීදුරු හෝ තහඩුවක් සවිවන ආකාරය වැනි මෙකී නොකී ඕනෑම විස්තරයක් Detail section එකකින් පැහැදිලි කරන්න පුළුවන්.
ඔය හැම රූප සටහනක්ම Plan එකකදි වගේම නිෂ්චිත අනුපාතයකට (Scale) අඳින්න ඕනේ. එතකොට ඕනෑම කෙනෙක්ට ඒ විස්තර වල දිග පළල සහ උස ගැන නිවැරදි අදහසක් ගන්න පුළුවන්. ඒ වගේම Section එකකදි අදාල තැන් වලට යොදන ඊතලයක් අග එයට අදාල සැකැස්ම ගැන විස්තරයක් ලියන්න පුළුවන්. Architecture විෂයේ එහෙම විස්තර ලියල පෙන්නන්නේ බොහෝ විට Section වලදි විතරයි. Plan එකකත් කරන්න පුළුවන් ඕනෙනම්. නමුත් ගොඩක් විස්තර කෙරෙන්නේ Section වලදි තමයි.
©සුමුදු අතුකෝරල [21/01/2021]