Saturday, November 10, 2018

"Rustic" හෙවත් "රස ටික"

"Rustic" හෙවත් "රස ටික"
ගෙදරක් ගොඩනැඟිල්ලක් කියපු සැනින් කාගෙත් හිත්වල මැවෙනව ඇත්තේ හරිම පිළිවෙලට චීස් වළින් කැපුව වගේ තියෙන වස්තුවක්. නූතන වාස්ථුවිද්‍යා මිනුම් දඬුවලින් බහුල ලෙස අර්ථගැන්විලා තියෙන්නෙ එහෙම අදහසක්. සමාජ තත්වය ප්‍රකාශකිරීම, ආරක්ෂාව, අධික ලෙස මුදල් යටකිරීමේ හැකියාව හෝ තමන්ගේ පුද්ගලික මතිමතාන්තර විතරක් නෙමෙයි එකිනෙකා අතර තියෙන නොනවතින තරඟය වුණත් මේකට බලපානවා. 
ඒත් හැම අතින්ම සර්ව සම්පූර්ණ ජීවිත අපි කාටවත් නැහැ. කඩතොළු, කැළැල්, තිත්ත වගේම හරිම රසවත්, ලස්සන, සෞම්‍ය අවස්ථා වළින් අපේ ජීවිත පිරෙනවා නැත්නම් පිපිරෙනවා. ඉතින් ඒ ජීවිත ස්ථාන ගතවෙන පසුබිමේ ප්‍රධාන කොටසක් වෙන ගොඩනැඟිළි හෝ නිවසක් ඒ වගේම වෙන එක තාමයි වඩාත් හොඳ. කොහොමත් ඇත්ත ජීවිතේදි සැබෑ නොවෙන පරමාදර්ශී සීමාවන් වාස්ථුවිද්‍යාව තුළින් ළඟා කරගෙන දිළිසෙන මාබල්, රන් රිදී හැඩ වැඩ, ග්‍රීක හෝ ඉතාලි මැදුරු හරිම හුදකලා සහ අලස බවින් යුතුයි කියන එකයි මගේ අදහස. 
ඒ ගැන අපි හැමෝම සෑහෙන්න කතාකරල තියෙන නිසා අමුතුවෙන් තේරුම් ගන්න දෙයක් නැහැ. මම මේ තව අඩියක් එහාට යන්නයි හදන්නේ. විශේෂයෙන් ගෙදරකට, ඒ කියන්නේ පුදගලික පරිහරණය සඳහා නිර්මාණයවෙන ගොඩනැඟිල්ලකට පූර්ව මතිමතාන්තර අදාළ නොවිය යුතුයි. අදාළ වියයුත්තේ, දේශගුණය, නිවැරදි වාතාශ්‍රය, හිරු එළිය, ආරක්ශිත බව, සුවපහසුව, ගොඩනැඟිල්ල ඉදිවන ප්‍රදේශය සහ ගොඩනැඟිල්ල තුල පැවතිය යුතු ගතිසොබාව වගේ අත්‍යාවශ්‍ය කරුණු විතරයි. ඒ ඇරෙන්න ඇනිට සියලුම දේවල් වෙනස ආකාරයේ පෙළඹවීම වියහැකියි. මම මෙතනදි වියදම ගැන සඳහන් නොකලේ වියදමෙහි අඩු වැඩි බව ගොඩනැඟිල්ලක මූල්‍යමය වටිනාකම වැඩිකිරීමට වඩා එහි ගතිසොබාව නැත්නම් මූඩ් එක තහවුරු කිරීම සඳහා බාවිතා කළයුතුයි කියන අදහසකින්.කොහොමත් අතේ තියෙන මුදල සීමිතනම් "ගෙයක්" කියන අදහස සම්පූර්ණයෙන්ම ඔළුවෙන් ඉවත්කරගෙන ඉතාම කුඩා ප්‍රමාණයේ වෙනස්ම වෙනස් අපූර්ව "ගෙයක්" නොවන දෙයක් නිර්මාණය කිරීම තමයි කළයුතු හොඳම දේ.
"තුට්ටු දෙකට ගන්නත් ඕනෙ, අස්සයා ඉස්තාලෙට උඩින් පන්නනත් ඕනෙ" වගේ එකක්නම් හරියන්නෙම නෑ. (මේක අපි වැඩකරන ඉන්ජිනේරුවෙක් නිතරම මතක් කරන කතාවක්). අස්සයෙක් ඉස්තාලෙට උඩින් පන්නන්න ඕනෙ නෑ, හොඳ වේගෙකින් දුවල කරල හිටියහම ඇති. ගොඩනඟිල්ලකටත් එහෙම තමයි. 
අමුතු විදිහේ අපූර්ව එහෙමත් නැත්නම් පිස්සුම පිස්සු ගොඩනැඟිල්ලක් නිර්මාණය කිරීමට මුල්වෙන්නේ ආකිටෙක්ට් කෙනෙක් නෙමෙයි, එම ගොඩනැඟිල්ලේ හිමිකරුයි. බොහෝවෙලාවට වෙන්නේ, ගොඩනැඟිල්ලක් හදන්න එන කෙනා සමාජය විසින් ආකෘතිගත කරන ලද අදහසක් හෝ අදහස් සමුදායක් සමග ආකිටෙක්ට් ළඟට යන එකයි. ඉතින් නිර්මාණකරුවා පැන්සල අතටගන්නෙම පිස්සුවක් කරන්න නෙමෙයි. තවත් සාමාන්‍ය නිවසක් සැළසුම් කරන්න. සාමාන්‍ය තැනකින් පටන් අරන් අතිසාමාන්‍ය නිර්මාණයක් කරනවට වඩා, පිස්සුම පිස්සු තැනකින් පටන් අරන් ටිකක් සාමාන්‍ය පැත්තට බරවෙන එක කොච්චරනම් හොඳයිද? 
මෙතනදි නිවසක හෝ ගොඩනැඟිල්ලක ආකෘතිය, අභ්‍යන්තර අවකාෂ වල පිහිටුවීම, ප්‍රමාණය, වර්ණ, හැඩතළ, නිවසෙහි භාවිතය ගැන පවා වෙනස් කෝණයකින් බැලීම ඉතාම වැදගත්. විශේෂයෙන් ගොඩනැඟිල්ල ඉදිකරන්න වෙන්නේ අවම මුදලකින් නම් ඉහත කරුණු ගැන වඩ වඩාත් සැළකිළිමත් වීමට වෙනවා. සෑම පිළිගත් ක්‍රමයකට හෝ මතයකට වඩා වෙනස් ක්‍රම සහ මත ඕනෑම දේකට තියෙන්න පුලුවන්. ඒ වෙනස හොයාගෙන නිවැරදිව භාවිතා කිරීම තමයි වැදගත්. 


මෙහිදී ඉතාම ආශ්වාදජනක සහ නිර්මාණාත්මකම කොටස තියෙන්නේ අමුද්‍රව්‍ය භාවිතය තුළ. කපරාරු කර පිළිවෙල කරන ලද බිත්ති වෙනුවට, මැටි ගඩොල් පෙනුම, දළඹ මදින ලද ස්ලැබ් මතුපිට වෙනුවට රළු කොන්ක්‍රීට් පෙනුම, ජනෙල් වෙනුවට යකඩ ග්‍රිල්, ටයිල් වෙනුවට සාමාන්‍ය සිමෙන්ති, වීදුරු වෙනුවට ලී පටි ලැටිස් වගේම, බිත්ති වෙනුවට බිත්ති නැති බව, ජනෙල් දොරවල් වෙනුවට ජනෙල් දොරවල් නැති බව, පාට වර්ණක වෙනුවට ඒ ඒ අමුද්‍රව්‍ය වල ස්වභාවික පෙනුම ඉතුරුකිරීම වගේ විවිධ අත් හදා බැලීම් කල හැකියි. සරලව කිව්වොත් තමන්ට නොමිලයේ හෝ ඉතා අඩු මුදළට සපයා ගත හැකි කන්ටේනර්, ලෑලි පෙට්ටි, තහඩු, සිල්පර කොට, විදුලි රැහැන් කණු, කළු ගල්, වැනි මෙකී නොකී ඕනෑම අමුද්‍රව්‍යයක් භාවිතා කර ගොඩනැගිල්ලක්, නිවසක් ඉදිකළ හැකියි. අවශ්‍ය එxඅම් දෙය, සම්මතය අභිබවා සිතීම, නිර්මානශීලී බව සහ නිර්භීත බවයි. 
මේ කරුණු ඔක්කොම එකතු වුණාම ඒක එක වචනෙකට ගත්තොත් එන්නේ "Rustic" වගේ අදහසක්. ඒක තමයි වාස්තුවිද්‍යා වචන ගොනුවෙන් හොයාගන්න පුලුවන් වචනය. නිකමට "Rustic" වචනයේ තේරුම ගූගල් ට්‍රාන්ස්ලේට් එකෙන් අහල බැලුවොත් ඒකට එන සුන්දර සිංහල වචනය ඔබටත් හොයාගන්න පුලුවන්.
සුමුදු අතුකෝරල/ ඔක්තොබර් 7/ අනිද්දා
(Photographs-Pinterest)

"නොගිය මගකින් ආපසු එනවිට මෙන්න බොලේ චෙරි මල්"

"නොගිය මගකින්
ආපසු එනවිට
මෙන්න බොලේ
චෙරි මල්" 
-බකුසුයි/ මිණි පැමිණි-(පරිවර්තනය-ආරියවංශ රණවීර)
මේ හයිකු කවිය කවදාවත් අමතක නොවෙන විදිහට හිතේ පැලපදියම් වුණු එකක්. ඒ වගේම මුළින් “ටොම් වේට්ස්” විසින් ගායනා කර පසුකාලීනව “නොරා ජෝන්ස්” විසින් අමන්දානන්දයට පත්කළ "Long way home" ගීතය දුරබැහැර පිටිසර ආදරණීය ගමන් බිමන් වලටම වෙන්
වුන ගීතයක් වගේම කොච්චර ඇහුවත් එපා නොවන විදිහේ ගීතයක්. 
මෙහෙම සටහනක් ලියන්න අදහසක් පහලවුණේ ඊයෙ යාපනේ ඉඳන් මන්නාරම හරහා, තන්තිරිමලේ පැත්තෙන් මහ වනාන්තර, පිටිසර ගම් බිම්, සරළ මිනිස්සු, කුඹුරු යායවල්, පුදුම හිතෙන අහස් පහුකරගෙන ලස්සනම ලස්සන හවස්වරුවක් හරහා නොච්චියාගම පැත්තට එන අතරෙයි. සාමාන්‍ය පාර වෙනුවට ටිකක් දුර වැඩි වාහන නැත්තටම නැති තරම්, හවස් වරුවක නොයා යුතුයැයි එකපාරටම හිතෙන පාරකින් ආපහු එන එක ටිකක් හිත කීරි ගස්සන කුතුහලය පිරුණු වැඩක්. අවදානම වැඩියි, පොඩි බයකුත් නැතුව නෙමෙයි. ඒත් හැමදාම අමතක නොවෙන පුදුම ලස්සන දේවල්, මොහොතවල්, සිදුවීම් වෙන්නෙ ඒ අවදානමත් කුතුහලයත් එක්කම තමයි. 
ඒ අත්දැකීම වචනයෙන් වත් ඉතාම දුර්වල පින්තූර වලින්වත් විස්තර කරන්න හදන එකම තේරුමක් නැති දෙයක්. ගමන ලස්සන වෙන්න පටන් ගත්තෙ පුනරීන් පාලම පහුවෙනකොටම අපිට දෙමළ කතාකරන්න බැරුවත්, ඒ පොඩි කොල්ලට සිංහල කතාකරන්න බැරුවත් තියෙද්දි මිළදී ගත්ත ‘මා දං” වලින් කට ම දම් පාට වෙලා, කදිම කහට ගතියකින් උගුර හිර වෙද්දිමයි. 


එතන ඉඳන් නමක් ගමක්, අගක් මුලක් නැති කුඹුරු, ගම් දනව්, තැනිතලා, වනාන්තර පහුකරගෙන හුදකලා මහපාරෙ පරණ සිංදු අහගෙන වාහනේ එලවන එක අපූරු අත්දැකීමක්. කාත්කවුරුවත් නැති පාලු තැනිතලාවක තනි කණුවක අඩමානෙට රඳවපු කුඩා දේව ප්‍රතිමාව, කෙලවරක් නැතිව ආපහු ගෙවල්වලට යන ගව රංචු, අවරට යන ඉර ලස්සනට පාට කරපු බටහිර අහස, කිසිම හැලහොල්මනක් නැති පාලු තැනිතලා ඔස්සේ ගලාගෙන යන කුඩා ඇළපාරවල් උඩින් වැටුණ නිශ්ශබ්ද පාලම්, පළඟැටි හඬ ගමන ගොඩක් පරක්කු කරන දෙවල්. ඒ වගේම ඒවම තමයි ඒ ගමන ලස්සන කරන්නෙ. මේ වගෙ තැනක වාහනේ ඇණහිටලා දවස් කීපෙකට ආපහු එන්න බැරි වුණොත් ඒකත් මරු කියල හිතෙන තරම් ඒ දේවල් පුදුමාකාරයි. ඒ වගේ ගමන් වලදි, පාලු තැනක පාර අයිනේ තියෙන පොඩි පොල් අතු කඩේක ආච්චි කෙනෙක් අතින් හැදෙන ප්ලේන් ටී එකක රසයටත් වැඩිය රසවත් දේවල් එයාලත් එක්ක පොඩ්ඩක් හිතවත් වෙලා කතා කළොත් දැනගන්න පුලුවන් වෙයි. 
ඔව්! ඕනෙවට වඩා ටිකක් රොමාන්තික බවක් මේ වචන අස්සෙ තියෙන්න පුලුවන් ඒත් ඒ බොරු අතිෂොක්ති නෙමෙයි. ඇත්තටම සිදුවෙන දේවල්. 

 මේ අත්දැකීම් ඔස්සේ ජීවිතේ ආපස්සට හැරිල බැලුවොත් ඇත්තටම ලස්සනම සහ පුදුමාකාරම දෙවල් වෙලා තියෙන්නෙ, ඔය වගේ වැරදි පාරවල් වලින් යද්දියි, හරිම වෙලාවෙ වැරදි තැන් වල ඉද්දියි, කවදාවත් ළං වෙයි කියල නොහිතන අය ළං වෙද්දියි තමයි.
කොහොමත් කිසිම දෙයක් ගැන ඕනෙවට වඩා හිතන්න හොඳ නැහැ. නිවැරදි ලේසි පාර වෙනුවට, ටිකක් අමාරු දුර පාර හොඳ වෙන්න පුලුවන්, කොහොමත් චෙරි මල් හම්බවෙනවා. සමහර වෙලාවට සිදුවෙන්න හොඳටම නියමිත දෙවල් සිදු නොවීම අරුම පුදුම වාසනාවක් වෙන්න පුලුවන්. 
සාද්ගුරු එක තැනකදි මෙහෙම කියනවා, 
" ඔයාගෙ ජීවිතේ ගොඩාක් වැදගත් කියල හිතන්න එපා, ඔයා මේ මහා විශ්වයේ කුඩා අංශු මාත්‍රයක් විතරයි. විශ්වය "වූහ්" කියල පිම්බොත් එතනින් පස්සෙ ඔයා කියල කෙනෙක් නැහැ. ඒත් අනිත් හැමදේම සුපුරුදු විදිහට සිද්දවෙයි. ඒ නිසා ජීවිතේ ගොඩක් සීරියස් විදිහට ගන්න එපා".
ඒ නිසා වැඩිය හිතන්නෙ නැතුව වැරදි, දුර පාර ගන්න.
-සුමුදු අතුකෝරල