Monday, April 6, 2020

නූතන ලාංකික වාස්තු විද්‍යා පෙළහරේ මුල් දොර ඊනා ද සිල්වා නිවස

නූතන ලාංකික වාස්තු විද්‍යා පෙළහරේ මුල් දොර ඊනා ද සිල්වා නිවස
සුමුදු අතුකෝරල – වරලත් වාස්තු විද්‍යාඥ

මුළු ඉතිහාසය පුරාම සැරි සැරුවත් ලාංකික වාස්තු විද්‍යාඥ යකු ලෙස ජෙෆ්රි බාවා තරම් කියැවුණු හෝ ලියැවුණු කෙනෙක් නැත. සැබැවින්ම ජෙෆ්රි බාවා යනු කවරෙක් දැයි හරියකට නොදැන පවා ලංකාවේ ඕනෑම පෙදෙසක ඔහු ගැන අසා ඇති අයකු හෝ සිටිනවාමය. ලංකාවේ පාර්ලිමේන්තු ගොඩ නැගිල්ල, දඹුල්ලේ කණ්ඩලම හෝටලය, ගාල්ලේ ලයිට් හවුස් හෝටලය, බෙන්තොට බීච් හෝටලය හෝ අඩුම ගානේ ලුණුගඟ උද්‍යානය නිසා වත් ජෙෆ්රි බාවා ගැන අසා නැති කෙනෙකු සොයා ගැනීමට බැරි තරම් ය. ඔහුගෙන් පසුව එතෙක්,මෙතෙක් දහස් ගණනක් වාස්තු විද්‍යාඥයන් ලංකාව තුළ බිහි වුවත්, ලංකාව තුළ හෝ ඉන් පිටතත් ලාංකික වාස්තු විද්‍යා ක්ෂේත්‍රය සමඟ මුලින්ම කියවෙන්නේ ඔහුගේ නමයි. පාර්ලිමේන්තු සංකීර්ණය හෝ වෙනත් සුපිරි හෝටල් ගොඩනැගිලිවල සුවිශේෂි බව නිසා ජෙෆ්රි බාවා ගැන නිතර කියැවුණත් පුද්ගලිකව ඔහුගේ නිර්මාණ චාරිකාවේ ආරම්භක කාල වකවානුව ගැනත් ශ්‍රී ලාංකික වාස්තු විද්‍යා සම්ප්‍රදායෙහි ගමන වෙනස් කිරීමට දායක වූ ඔහුගේ මුල්කාලීන ගොඩනැගිලි පිළිබඳවත් කියැවෙන්නේ ඉතා කලාතුරකිනි.
1950 දශකයේ අගභාගයේදී තම අධ්‍යාපන කටයුතු හමාර කර ලංකාවට පැමිණි ජෙෆ්රිගේ මූලික අවධියේ නිර්මාණ ගොන්නට වැටෙන සුවිශේෂී සන්ධිස්ථානයකි, කොළඹ ඇල්ෆ්‍රඞ් උද්‍යානයෙහි ඉදිවූ ඔස්මන්ඞ් සහ ඊනා ද සිල්වා නිවස. සිල්වා යුවළ විසින් රුපියල් එක් ලක්ෂ අසූදහසකට පමණ මිලදී ගත් මෙම පර්චස් තිහක පමණ ඉඩම එම වකවානුවේදී සලකනු ලැබුවේ ‘කුඩා ඉඩමක්’ ලෙසිණි. අක්කර ගණන්වල ඉඩම්වල මැදට වන්නට ඉදිකරන ලද වලව් හෝ යටත් විජිත සාම්ප්‍රදායික ලක්ෂණවලින් සැරසුණු මන්දිර සමඟ ජීවත් වූ සමාජ වටාපිටාවකට පර්චස් තිහක ඉඩමක් කුඩා ඉඩමක් වීම පුදුමයක් ද නොවේ. එවකට කොළඹ නගරය ආශ්‍රිතව කටයුතු කළ වාස්තු විද්‍යාඥයන් කිහිපදෙනෙකු සමඟම මූලික වශයෙන් කෙරුණු සංවාද පිළිබඳව එතරම් සතුටකින් පසු නොවූ ඊනා ද සිල්වා මහත්මියට ජෙෆ්රි බාවා හඳුන්වා දෙන්නේ ඊනා ද සිල්වා මහත්මියගේ මිතුරු බෙවිස් බාවා (ජෙෆ්රිගේ සහෝදරයා) විසිනි. මුල්ම හමුවීම එසේ වුවත් ඊනා ද සිල්වා නිවස ඉදිකිරීම් නිමවන විට ජෙෆ්රි සහ ඊනා ගජ මිතුරන් වී හමාරය.
මාතලේ අලුවිහාරේ පවුල් පසුබිමක සාම්ප්‍රදායික නුවර හුරුව ඇතුව හැදී වැඩුණු ඊනා ද සිල්වා, එම වලව් සම්ප්‍රදායේ ගොඩනැගිලි පිළිබඳව එතරම් සතුටකින් සිටි බවක් නොකියැවේ. එහෙත් ඊනා විසින් ජෙෆ්රිට බාර දෙන ලද රාජකාරීය වූයේ නුවර යුගයේ ඇතැම් සාම්ප්‍රදායික ලක්ෂණ සමඟ මුසුකොට නූතන සම්ප්‍රදායේ නිවසක් නිර්මාණය කිරීමයි. තමන් හට භාර කරන ලද මෙම අපූරු අභියෝගය ඔස්සේ ශ්‍රී ලාංකික වාස්තු විද්‍යා ක්ෂේත්‍රය වෙනස් මාවතකට යොමු කරන ආකාරයේ නිර්මාණයක් කිරීමට ජෙෆ්රි බාවා සමත් විය. විශාල ඉඩම්වල ඉදිවුණු වලව් සම්ප්‍රදායේ ගොඩනැගිලිවල ලක්ෂණත්, ලන්දේසි සම්ප්‍රදායේ ගොනැගිලිවල ලක්ෂණත් ලන්දේසි සහ මුවර් ගණයට වැටෙන වීදි නිවාස සම්ප්‍රදායත් මුසුකොට අනාගත නූතන ලාංකික වාස්තුවිද්‍යා සම්ප්‍රදායට ඇතුළුවන දොර විවර කරන්නට ජෙෆ්රිට හැකි විය.
ඒ 1960 අවුරුද්ද, බි්‍රතාන්‍ය යටත් විජිත සමයත් සමඟම නුවර යුගයේ නිවාස සහ ලන්දේසි යුගයේ නිවාසවල සුවිශේෂී අංගයක් වූ ‘මැද මිදුල්’ සංකල්පය ගිළිහී ගොස් තිබුණි. එහෙත් ජෙෆ්රි බාවා, ඊනා ද සිල්වා නිවස සැලසුම් කිරීමේදී එහි පදනම කරගන්නේම විශාල මැද මිදුලයි. එම කාලවකවානුවට අනුව පරිමාණිකව කුඩා යැයි සැලකුණු එම ඉඩමෙහි නිර්මාණය වන නිවසට විශාල මිදුලක හෝ නිවෙස් උද්‍යානයක හැඟීම ඇති කරවීමට ජෙෆ්රි භාවිත කරන්නේ මැද මිදුලයි. කොළඹ සහ නගරාශ්‍රිතව ඉදිවන බොහෝ නිවාසවල ආලෝකය සහ වාතාශ්‍රය ලබා ගැනීමටත් අලංකරණ කාරණයක් ලෙසත් යොදා ගැනෙන URBAN COURT YARD හෙවත් නාගරික මැද මිදුල යළිත් නූතන වාස්තු විද්‍යා කතන්දරයට එකතු කළේ ජෙෆ්රි විසින් මෙම නිවාස නිර්මාණය කරනු ලැබීමත් සමඟිනි.
නිවසට ඇතුළු වීමට ඇත්තේ විසල් ලී කණු පෙළකින් සැදුණු විවෘත, පටු අවකාශයක් තුළිනි. වහලයක් රහිත එම කොටස හා බැඳුණු විසල් දැවමය දොරටුවකින් නිවසට ඇතුළු විය යුතුය. මෙසේ ලී කණු පෙළකින් සහ උස බිත්තියකින් නිවස ඊට ඉදිරිපස මාර්ගයෙන් වෙන්කර තබා ඇත. වීදි නිවසක හැඩයක් මෙම නිවසට ලබාදීම උදෙසා ජෙෆ්රි බාවා මෙම විසල් කණු පෙළ නිර්මාණය කරන්නට ඇති බවට සැකයක් නැත. එම දොරටුව තුළින් පිවිසෙන්නේ ඉදිරියේ ඇති තවත් විශාල මිදුලකටය. මාර්ගයත් නිවසත් අතර නිදහස් බාධකයක් ලෙස එම ඉදිරි මිදුල නිර්මාණය කර ඇත. පළමු දොරටුවට හරියටම ඉදිරියෙන් ඇති පැරණි පන්සල් දොරකින් ප්‍රධාන නිවසට ඇතුළු විය යුතුය. එම දොරටුවෙන් ඇතුළු වන කුඩා පටු මංකඩට දකුණු පසින් ඇත්තේ ඔස්මන්ඞ් ද සිල්වා මහතාගේ කාර්යාල කාමරයයි. වම් පසින් අමුත්තන්ගේ කාමරයි. කුඩා මංකඩ කෙළින්ම පිවිසෙන්නේ එම නිවසෙහි ප්‍රධානතම අවකාශය වන මැද මිදුලටයි. විශාල මැද මිදුල හතර වටින්ම නිවසෙහි ඉදිරි සහ පසු පස කොටස් සම්බන්ධ කරනුයේ ඉතා හොඳ ඉඩකින් හෙබි වැරැන්ඩා පෙළකිනි. දැවමය කණු සහ හතර පසින් බෑවෙන ලී රීප්ප පරාළවලින් සැදි පියසි පෙළ වැරැන්ඩාවේ සිටින්නකුට පර්යාවලෝකනයෙන් හෙබි කදිම දසුනක් මවාපායි. එම මැද මිදුල සහ වැරැන්ඩා පෙළ ඔබ තුළ පැරණි සිංහල ගෙයක හෝ ලන්දේසි මැද මිදුල් නිවසක හැඟීම් සමුදායක් මතුකළොත් එය අරුමයක් නොවේ. තරමක විශාල ප්‍රමාණයේ රවුම් හැඩැති ගල් අතුරා නිමාකර ඇති එම මැද මිදුල මැද ප්‍රධාන ජවනිකාව රඟදක්වන්නේ අවුරුදු ගණනාවක පුරා ජීවිතයේ අත්දැකීම්ලත් පරිණතයකු මෙන් නැඟී සිටින පරණ අරලිය ගසකි. සුදු අරලිය ගස් මැද මිදුලක තියා පිටත මිදුලේවත් සිටුවීම අසුබ ලක්ෂණයක් ලෙස සලකන සමහරුන් සිටින රටක මේ නිවෙසට පැරණි අරලිය ගස ඇතුන් මඟින් ගෙන්වා ඉන්දවූ වග සමහරු
pastillas viagra comprar

පවසති. නිවසෙහි ඇති සියලුම කාමර සහ අනෙකුත් පොදු අවකාශ සියල්ලම එකතු කරන මෙම මැද මිදුලට දකුණුපසින් ඇති ඉඩ තීරුව වෙන්කර ඇත්තේ සේවකයන්ගේ කාමර සහ කුස්සිය, ගබඩා කාමරය වැනි දේ සඳහායි. එම කොටසේ ඇති සියලුම කාමර සඳහා කුඩා මැද මිදුල් උපයෝගී කරගෙන වාතාශ්‍රය සහ ආලෝකය ලබා දී ඇත. එහෙත් ප්‍රධාන නිවසෙහි කටයුතුවලට බාධාවක් නොවන පරිදි එම කොටස් වෙනම සඟවා තැබීමට ජෙෆ්රි විසින් තම සැලසුම් ඥානය මෙහෙයවා ඇත.

Ena-de-silva-02
නිවසෙහි ආලින්දය සම්පූර්ණයෙන්ම විවෘත ඉඩකඩකි. ඉදිරියෙන් ප්‍රධාන මැද මිදුලෙනුත්, පිටුපසින් පිටුපස මිදුලෙනුත් සීමා වන ආලින්දය දෙපසටම විශාල ලෙස විවෘත වේ. ඊට දකුණු පසින් ඇති පටු තීරුවක කෑම මේසය පිහිටුවා ඇති අතර එතැන සුවපහසු අසුනක වාඩි වූ විට ඊනාට මුළු නිවසෙහි බොහෝ ස්ථාන දැක බලාගත හැකි ලෙස සැලසුම් කර තිබේ.
නිවසෙහි පිටුපස කොටස මහල් දෙකකින් යුතුය. පහළ මාලයෙහි පොදු අවකාශයන් සහ ඉහළ මාලයේ ප්‍රධාන නිදන කාමරය සහ අනෙකුත් කාමර පිහිටුවා ඇත. ප්‍රධාන නිදන කාමරය තුළින් ප්‍රධාන මැද මිදුලට විවෘතවන ලැටිස් ජනේල සහිත ජනෙල් කූඩුව තුළ වාඩිවූ විට මැද මිදුලත්, නිවසෙහි ඉදිරිපස කොටසත් මනාව දර්ශනය වේ.
එවකට මෙම නිවස ඉදිකිරීම සඳහා වියදම් වූ මුදල රුපියල් ලක්ෂ දෙකක් ලෙස සඳහන් වෙතත්, එය ඒ සඳහා මුලින් වෙන්කරන ලද මුදලට වඩා තවත් රුපියල් විසි දහසකින් වැඩිවී ඇත. ධනපති පෙළැන්තියේ පවුලක් සඳහා කොළඹ සුපිරිම පරිසරයක, ලංකාවේ ජනප්‍රියම වාස්තු විද්‍යාඥයා විසින් නිර්මාණය වූ මෙම නිවසෙහි සුවිශේෂීත්වය එය නොවේ. ලංකාවේ වාස්තු විද්‍යා ඉතිහාසයේ සංධිස්ථානයක් ලෙස ඇති වටිනාකම ඉහත සඳහන් සියලුම කරුණු පරයා නැගී සිටින්නකි.
1960 දශකය යනු ලංකාව විවෘතව ලෝකය සමග ආර්ථික ගනුදෙනුවල යෙදෙන්නට පෙර කාලයයි. ගොඩනැගිලි ඉදිකිරීම සඳහා වර්තමානයේ මෙන් අසීමිත වර්ගවල අමුද්‍රව්‍ය එදවස සුලබ නොවිණි. එකල ලෝකය පුරාම ප්‍රචලිත වුණු යකඩ සහ වීදුරු වැනි අමුද්‍රව්‍ය භාවිතයකින් තොරව ලංකාවේ දේශගුණික ලක්ෂණවලට ඔරොත්තු දෙන පරිදි දේශීය අමුද්‍රව්‍ය භාවිතයට ගෙන මෙවැනි නිවසක් නිර්මාණය කිරීමට සිදුවීම අභියෝගයක් වුවත් තමා ඉතාම සතුටින් එම අභියෝගය භාරගත් බව වරක් ජෙෆ්රි බාවා සඳහන් කර ඇත.
මෙම නිවසෙහි සියලුම අවකාශ ස්වාභාවික ආලෝකය යොදාගෙන ඉතාම අපූරු ලෙස ආලෝකමත් කර ඇති අතර අඳුර සහ එළිය රොමාන්තික ලෙස සහ සංවේදී ලෙස සකසුරුවම් කිරීම මෙම නිවසෙහි කර ඇති නිර්මාණශීලී ම ගුණය ලෙස ඔසවා තැබීමෙහි කිසිදු වරදක් නැත. වර්තමානයේ නම් වීදුරු ජනේල රහිතව නිවසක් නිර්මාණය කිරීම සහ ස්වාභාවික ආලෝකය ලබාගැනීම යනු කිසිසේත්ම කළ නොහැකි ක්‍රියාවක් ලෙස සැලකෙයි. එහෙත් ජෙෆ්රි බාවා විසින් මෙම නිවස සඳහා එකුදු වීදුරු ජනේලයක්වත් භාවිත කර නැත. රට තුළ එවැනි අමුද්‍රව්‍ය සඳහා අතිශයින්ම දැඩි සීමා පනවා තිබූ නිසා තමන්ට පැරණි විශිෂ්ට ගොඩනැගිලිවලින් ආභාසය ලබා සාම්ප්‍රදායික දක්ෂ වඩු වැඩ ශිල්පීන් සමග කටයුතු කර සාම්ප්‍රදායික ලක්ෂණ යළි ඉපිදවීමට සිදුවූ බව ජෙෆ්රි පවසා ඇත.
නාගරික පරිසරයක් වුවත් අද මෙන් වාතාශ්‍රය විවිධාකාර ලෙස දූෂණය නොවී තිබුණු බැවින් සිසිල් වාතය නිවස තුළට ලබාගැනීමටත් උණුසුම් වාතය නිවසින් බැහැර කිරීමටත් සුවිශේෂී වාස්තු විද්‍යාත්මක ලක්ෂණ ජෙෆ්රි මෙම නිවසට හඳුන්වා දී ඇත. නිවස පුරාම ලොකු කුඩා වශයෙන් පැතිරී ඇති මැද මිදුල් පහකින් සහ ඉදිරිපස සහ පසුපස මිදුල්වලින් වාතාශ්‍රය කදිමට නිවස තුළට ගලා ඒමට සලස්වා ඇති අතර සාම්ප්‍රදායික ‘ලැටිස්’ ජනේල සහ තමන්ට රිසි ලෙස හසුරුවා ගත හැකි, ලී ලුවර් ජනේල ඒ සඳහා යොදා ගෙන ඇත. බොහෝවිට කර්මාන්තශාලා හෝ ගබඩා සඳහා යොදා ගැනෙන ප්‍රධාන වහලයට උඩින් එහි මුදුනින් තවත් කුඩා වහලයක්, පරාල එළියට දිගු කිරීම මගින් සකසාගෙන ඇති අතර නිවස තුළ රැස්වෙන රත්වූ වාතය එමගින් පිටතට ඇද දැමීමට සලස්වා ඇත.
නිවසෙහි නිමාවන් සඳහා බිත්තිවලට සුදුහුණු බදාම සහ පොළොවට කළුගල් ඇතිරුම් භාවිත කර ඇති අතර නිවසෙහි ඉහළ තලයෙහි පොළොව සඳහා මැටි ටයිල් සහ ලී භාවිත කර ඇත. ඒ සියලු දෙය නිසාම නිවසට අමුතුම රළු සහ සෞම්‍ය බව අතර මුසුවක් එක්කිරීමට නිර්මාණකරු සමත් වී තිබේ. මැටි උළු සහිත වහලය පිටතින් පරිසරය සමග ඉතා මිත්‍රශීලී කතාබහක යෙදෙන අතර නිවස ඇතුළත සිටින අයගේ මිත්‍රශීලී බව වැඩි කිරීමට හිරු රශ්මිය ගෙදරින් පිටත රඳවා තැබීමට භාවිත කොට ඇත.
කෙසේ වෙතත් 1970 වසර ආසන්නයේදී තම ස්වාමි පුරුෂයාගේ මියයෑමත් සමග කොළඹ ජීවිතයට සමුදෙන ඊනා නැවත මාතලේ තම නිවසෙහි පදිංචියට යන්නේ ඇයගේ ප්‍රියතම විෂය වූ ‘බතික්’ කලාව සමඟ තම ජීවිතය ගෙවීමටයි. ඒත් සමගම තමා විසින්ම නිර්මාණය කළ මෙම නිවස තම නිර්මාණ අවකාශය කරගන්නා ජෙෆ්රි බාවා තමන්ගේ නිර්මාණ දිවියේ සුවිශේෂීම නිර්මාණයක් වන පාර්ලිමේන්තු සංකීර්ණය සැලසුම් කළේ මෙම නිවසේ සිට බව පැවසෙයි.
මෙසේ දශක කිහිපයක් පුරා කොළඹ නගරයෙහි නිර්මිත වියමනත්, සමාජීය පසුබිමත් වෙනස් වන ආකාරය නිහඬව අත්විඳිමින් සිටි මෙම වාස්තු විද්‍යාත්මක ස්මාරකය තමන්ගේ පරිච්ඡේදය නිමා කිරීමට සැරසුණේ 2009 අවුරුද්දේදී එහි හිමිකාරිය ඊනා ද සිල්වා විසින් එය ප්‍රසිද්ධ පුද්ගලික රෝහල් සමාගමක් වෙත විකුණා දැමීමට තීරණය කිරීමෙනි. කොළඹ හදවත ආශ්‍රිත ඉඩම්වල වටිනාකම ආර්ථිකමය වශයෙන් හිනිපෙත්තටම නගින විට සරල, නිහතමානී ගොඩනැගිල්ලකට කොන්ක්‍රීට් යෝධයන් සමග තරග වැදීම අපහසු වී තිබිණි. මෙම නිවස කඩා ඉවත් කිරීමට සියලුම දේ සූදානම්ව පවතින අවස්ථාවක ජෙෆ්රි බාවා පදනමත්, චන්න දාස්වත්ත, අමිලා ද මැල්. සී. අන්ජලේන්ද්‍රන්, නිලාන් කුරේ වැනි වාස්තු විද්‍යාඥයන් කිහිප දෙනකුගේ මැදිහත්වීම නිසා මෙම වාස්තු විද්‍යා ස්මාරකය ඒ අයුරින්ම ගලවාගෙන ගොස් වෙනත් ස්ථානයක නැවත ස්ථාපනය කිරීමට යෝජනා ඉදිරිපත් විය. ජෙෆ්රි බාවා සමඟ වැඩ කටයුතු කළ කිහිපදෙනකුගේ ආර්ථිකමය මැදිහත්වීමත් සමග මුලින්ම මෙම නිවස මොරටුව විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ස්ථාපනය කිරීමට සැලසුම් කොට තිබූ අතර පසුව අලුත්ගම, ලුණු ගඟ ජෙෆ්රි බාවාගේ පුද්ගලික නිවාඩු නිවස සහ ලෝක ප්‍රකට උද්‍යාන පරිශ්‍රයට යාබදව පිහිටුවීමට යෝජනා විය.


ජාතික පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක විශේෂ උපදෙස් සහ අධීක්ෂණය යටතේ, නිවසෙහි සියලුම කොටස් අංක යොදා ගලවා ඉවත් කර ඒ සෑම කණුවකටම සෑම ගල් ඇතිරුමකටම නියමිත ස්ථානය ලැබෙන ලෙස ඒ අයුරින්ම ස්ථාපනය කරන්නට කටයුතු යෙදිණි. වසර කිහිපයක දුෂ්කර ප්‍රායෝගික අභ්‍යාසයකින් පසුව පසුගියදා මෙම වාස්තු විද්‍යා ස්මාරකය ලුණු ගඟ ජෙෆ්රි බාවා විසින් නිරතුරුව පරිහරණය කරන ලද ඔහුගේ ප්‍රියතම උද්‍යානයෙහි කෙළවරක තම දෙවෙනි ජීවන කාලය ඇරඹුවේය.
සති දෙකක පමණ කාලයක් සඳහා ඊනා ද සිල්වා නිවස මහජනයා සඳහා විවෘතව තැබුණු අතර ළඟදීම එය කුඩා ප්‍රමාණයේ බුටික් හෝටලයක් ලෙස ජෙෆ්රි බාවා පදනම විසින් පාලනය කරනු ඇත. තවත් සුවිශේෂී කරුණක් වන්නේ පසුගිය වසරේ ජීවිතයෙන් සමුගත් ඊනා ද සිල්වා මහත්මිය තමන්ගේ නිවස තම අතිමිත්‍ර ජෙෆ්රි බාවාගේ ලුණු ගඟ උද්‍යානය අසල යළි පිහිටුවීම ගැන සතුටින් පසුවීමයි. යළි ජීවය ලැබූ එම නිවසට පැමිණීමේ අවස්ථාව ඇයට අහිමි වුවත් එම හැඟීම ඇයට සතුටක් ගෙන දෙන්නක් වන්නට ඇත. මෙම කිසිම තොරතුරක් දැනගැනීමට පෙරම මීට වසර දොළහකට පමණ පෙර ජීවිතයෙන් සමුගත් ලෝ ප්‍රකට වාස්තු විද්‍යාඥ ජෙෆ්රි බාවා මහතා එක් අතකින් අවාසනාවන්තය. එමෙන්ම ඉතාමත් වාසනාවන්තය.
ගොඩනැගිල්ලක් සංරක්ෂණය කරනවා යනු, එම ගොඩනැගිල්ල ගරා වැටෙන තෙක් වැටවල් දමා කොටු කරගෙන කිසිවකුටත් යෑමට නොහැකි ලෙස තැබීම නොවන බවට මෙය අනගි උදාහරණයකි. ඕනෑම ගොඩනැගිල්ලකට එයටම උරුම ජීවිතයක් ඇත. එම ජීවිතයට පණ දීමට නම් එම ගොඩනැගිල්ලෙහි භාවිතාව යළි ඇති කළ යුතුය. ගොඩනැගිල්ලක් හුදෙක් ස්මාරකයක් නොවී මිනිසුන් සමග බැඳුණු ජීවිතයෙහිම කොටසක් වීම තුළින් පමණකි එයට ජීවය ලැබෙන්නේ.
ඊනා ද සිල්වා නිවස පිළිබඳව හදාරා ඇති හෝ එය සියැසින් දැක බලා නොගත් ලාංකික වාස්තු විද්‍යාඥයකු නොමැති තරම්ය. එය ලාංකික වාස්තු විද්‍යා සංස්කෘතිය තුළ එතරම්ම වැදගත් සන්ධිස්ථානයකි. ඒ හුස්ම, ඒ උරුමය වැඩි දියුණුවෙමින් තවත් බොහෝ කාලයක් අනාගතයට දිවෙනු ඇත.

Sunday,28 Aug 2016 රාවය

1 comment:

  1. Make Money From Slots to Sports Betting
    You can make money betting febcasino on 온카지노 football, basketball, and football หารายได้เสริม with an online casino or online sportsbook. But do you really have to be careful that the odds at

    ReplyDelete