Tuesday, July 26, 2016

කියරොස්ටාමි

කියරොස්ටාමි ලෝක සිනමාවෙ එක අපූරු පරිච්ඡෙදයක් අවසන් කරනවා. ඒත් හොඳම දේ වෙන්නේ ඒ පරිච්ඡේදය ඉවර වෙන්නේ, තව පරිච්ඡේද ගොඩකට පණපොවලා. ඒක ඉරානයට විතරක් සීමාවෙන්නෙ නැහැ. ලෝකෙ හැම තැනම අහුමුලු වලින් කියරොස්ටාමි ඉවර කරපු තැනට අලුත් ආරම්බයක් ලැබෙනවා. කොන්ටෙම්පරරි සිනමාව ඇතුලෙ එයාව අයින් කරල කතාකරන්න අමාරුයි. දූවිළි, කහට, වියළි සුළඟ අස්සෙ නළියන හුදකලා ගස් වල පත්‍ර සහ රස්නෙ ඉවසගෙන අඬන්න ගොඩක් හේතු තිබිලත් නොහඬා ඉන්න මිනිස්සු ළඟට එයා කැමරාව අරන් ගියා. කියරොස්ටාමි ගෙ සිනමාවෙ සුළඟ, කඳු, ඉවරයක් නැති පාරවල්, දූවිල්ල සහ රළු බව අස්සෙන් මතුවෙන්නේ මිනිස්කම, හුදකලාව, ජීවිතයේ මරණය.
කියරොස්ටාමි ගෙ මම කැමතිම පින්තූරෙ තමයි මේක. එයා මහා සිනමාකරුවෙක් වුණාට පස්සෙ මේ කුඩා කැම්කොඩර් එකෙන් Five, ABC Africa වගේ චිත්‍රපටි හැදුවා. මොටර් රථයක සවිකරපු කුඩා කැමරාවකින් Ten චිත්‍රපටිය හැදුවා. චිත්‍රපටි ඇතුළට ඇත්ත මිනිස්සු, ඇත්ත පරිසර අරන් එන්න එයා බය වුණේ නැහැ. හුදකලා පරිසර දර්ශන අතරෙ ඒකාකාරී බව ඉවරවෙන්නෙ අපැහැදිලි නමුත් දුකක සහ සතුටක පැහැයකින්.
කියරොස්ටාමි එක තැනකදි කියපු මේ අදහසට මම ගොඩක් කැමතියි.
"I can watch films and say how technically beautiful they are, but I'm not impressed by any technicality."
එයාට කුරසොවයි, රායිවයි, බර්ග්මාන්වයි, තර්කොව්ස්කිවයි එහෙදි හම්බවෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.

සුමුදු අතුකෝරල

No comments:

Post a Comment