Wednesday, August 16, 2017

සුජිත්! ජීවිතය දැන් කොහොමත් පහසු නෑ

අඳුර තුළ ගමන් කරන්නෝ තමන් අඳුර තුළ ගමන් කරන බව දැනගන්නා තෙක් ආලෝකය නොසොයනු ඇත- බෘස් ලී

 මට මුල ඉඳන්ම එයාව දැක්කම මතක් වෙන්නෙම බෘස් ලී ව. පින්සලක වගේ කොන්ඩෙ ඉස්සරහදාගෙන, ඉතාම කෙට්ටුවට, තියුණු මුහුණක් සහ හරිම අහිංසක හිනාවක් එක්ක ඉන්න සුජිත් ව දකින එකම ඉතාම සතුටු හිතෙන කාරණාවක්. ඔය හේතුව හින්ද තමයි ඔය උඩින් තියෙන කියමන මගෙ ඔළුවට ආවේ. මට හිතෙනවා බාහිර පෙනුම වගේ ම ඇතුළතිනුත් සුජිත් බෘස් ලී එක්ක එතනදි හම්බ වෙනව කියල.


එඩ්වර්ඩ් මුන්ච් ගෙ "විලාපය" කියන චිත්‍රය ගැන අහල දැකල තිබුණත් ඒක එහි මුල් අර්ථයෙන් ම අත්විඳින්න මට පුළුවන් වෙලා තිබ්බෙ නෑ. සුජිත් ගෙ "මනෝභ්‍රාති" ප්‍රදර්ශණය බැලුවම මට එඩ්වර්ඩ් මුන්ච් ගෙ චිත්‍රයෙ මුල් අර්ථයට සමීප වෙන්න පුළුවන් වුණා. එහෙම වුණේ සුජිත් දේශීය පසුබිමක් තුළ මුන්ච් ගෙ "විලාපය" ප්‍රතිනිර්මාණය කරල තියෙන හින්ද කියලයි මට හිතෙන්නේ. එහෙම කිව්වට මුන්ච් සහ සුජිත් ඉන්නෙ තැන් දෙකක. සංකල්පීමය වශයෙන් සහ ප්‍රකාශනමය පසුබිම මත දෙදෙනාම එක තැනකදි හමු වුනාට මට සුජිත් ගෙ චිත්‍ර දැනෙන ගතිය වැඩියි. සුජිත් ගෙ චිත්‍ර විලාසයත් ගැඹුරු අත්දැකීමට එක්කගෙන යනවා. ඒකට හේතුව මේ දේශපාලනික, සමාජ සංස්කෘතික මඩ ගොහොරුව මටත් සුජිත් ටත් අපි හැමෝටමත් එක විදිහට දැනෙන නිසා වෙන්න ඇති.

ප්‍රදර්ශනය ආරම්බයෙන් පස්සෙ පොඩ්ඩක් සුජිත් එක්ක කතා කරන්න ලැබුණා. ඇත්තටම සුජිත්ම ඇවිත් කතා කලා. එයා ඒ වගේ නිහතමානී කෙනෙක්. "බය කියන්නෙ හරි පුදුම දෙයක්. චූ යනව වගේ දෙයක් නේ. ඉතින් මේ චිත්‍රත් ඒ වගේ තමයි. බය ඇතුළෙ ම ටික කාලයක් ඉන්නකොට චිත්‍ර විදිහට ඒවා එළියට එනවා. ඒත් දිගටම ඒ බය අස්සෙ ඉන්න බැහැ. එපා වෙනවා. ඊට පස්සෙ අත ඇරල දානවා." සුජිත් කිව්වෙ ඔන්න ඔය වගේ අදහසක්. ඔය කතාව ඇහුවට පස්සේ මගෙ හිතට මහ බර ගතියක් දැනෙන්න ගත්තා. ඒක නිකන් කඳුළු එන්නෙ නැතිව අඬනව වගේ හැඟීමක්. දැන් ඉතින් ඒ හැඟීම සුජිත් ටවත් මගෙ හිතෙන් අයින් කරන්න බැරි වෙයි. හිතේ පටලයක් බැඳිලා වගේ. එදිනෙදා ජීවිතය, සතුට, බලාපොරොත්තු, ආර්ථිකය, සංස්කෘතිය, දේශපාලනික වටපිටාව, මේ හැමදෙයක්ම විහිළුවක් වගේ ගොඩක් වෙලාවට. ඒත් ඒ විහිළු ගතිය අස්සෙ කොච්චරනම් භ්‍රාන්තියක් සැඟවිලා තියෙනවද? හැමෝම මේ මනෝභ්‍රාන්තිය එක්ක හිරවෙලා නෙමෙයිද ඉන්නේ?

සුජිත් ගෙ චිත්‍ර අතරින් ලොකු ඇස්දෙකක් විවර වෙලා, ඒ ඇස් වලින් දකින දෙවල් නිසා කඳුළු ගඟක් ගලන චිත්‍රෙ මගෙ දිහා ගොඩක් වෙලා බලාගෙන හිටියා. එක එක දුරවල් වලින්. වෙලාවකට ළඟින්, තව වෙලාවක ඈතින්. මට ඒ චිත්‍ර ය සහ සුජිත්ගෙ මුහුණ වෙන්කර ගන්න සෑහෙන අමාරුයි. ඊට පස්සෙ ඒ චිත්‍රය තුළ මාවම පේන්න ගත්තා. මහා ලොකු දර්ශනයකට වඩා ඉතාම සරල මානුශීය තැනකදි තමයි මට ඒ චිත්‍රය කතාකරන්න ගත්තේ. හැබැයි ඒ කතාව, කියාගන්න බැරි බරපතල තැනකට මාව අරගෙන යනවා.


බොහෝ වෙලාවට කලාව විසින් කරන්නේ පවතින සම්මතයන්ට එරෙහිව නැගීසිටීම. විප්ලවය තුළින් සටන්කිරීම. ඒත් මනොභ්‍රාන්ති මේ මඩගොහොරුව තුළ යළි මල් මෙන් පිබිදීමට පවා ඇති නොහැකියාව බාරගන්නවා. සුජිත් චාකෝල් වලින් ඇඳල තියෙන එක තේමාවක අවස්ථා කිහිපයක් ලෙස පෙනුණු කළු සුදු චිත්‍ර ත්‍රිත්වය සුජිත්ගෙ තාත්වික චිත්‍ර දක්ෂතාවය ගැන ප්‍රභල සාක්ෂියක් වුණත් ඒ චිත්‍ර කිහිපය තුළ සැඟවී තිබෙන කම්පනය, සංවේදනය, දුක සහ බියට ඔබවත් මුසපත් කරන්න ඉඩ දෙන්න.

බලාපොරොත්තු, සිහින එක්ක නැගිටිමු කියනවා වෙනුවට කුණාටුව තුළ සුණුවිසුණු වීම ඇර වෙන කළයුත්තක් නැති බවක් නැහැ. එහෙම හිතනකොටම මනෝභ්‍රාන්තිය දෙගුණ තෙගුණවෙලා දැනෙනවා. ඒත් ගලායාම සමඟ මුසුවීම ට එහි කිසිම බාධාවක් නැහැ. අනවශ්‍ය දෙවල් ගැන නොසිතා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නවනම් කිසිදේකට බයවෙන්න දෙයක් නැහැ. සමහර අයට එහෙම පුළුවන්. ඒත් ගලායාම සමඟ එකඟ විය නොහැකිනම් කුමක් කලයුතුද? මම හිතන්නේ සුජිත් ඒ කලහැකිදේ කරනවා. තමන්ගෙ ප්‍රදර්ශණය බුර්ෂුවා ගැලරියක් වෙනුවට සුජිත් යන්තම් හෝ එදිනෙදා ජනතාවට පය තැබිය හැකි ලයනල් වෙන්ඩ්ට් එකට අරන් ඇවිත් තියෙන්නෙ ඒ හින්ද වෙන්න ඕනේ.
තමන්ගෙ ප්‍රකාශනයත් එක්ක සිහිනයක අතරමං වෙනවට වඩා සුජිත් තවමත් එය ජනතාව අතරට ගෙනගිය යුතුයි කියන මතයේ සිටීම ගැන මට ඇතිවුණේ ගෞරවයක්. ඒත් මේ නිර්මාණ කොහෙ හරි ලොකු කලාගාරයක හෝ පුද්ගලික එකතුවක් තුළ ඉතිහාසයට එකතුවෙන එක ගැන මම විරුද්ධ නැහැ. ඉතිහාසය තුළ ලෝකය වෙනස් විය යුතුයැයි විශ්වාස කළ කුඩා මිනිසුන්ගේ දර්ශනය කොහේ හෝ ඉතුරුවේවි.
සුජිත්! ජීවිතය දැන් කොහොමත් පහසු නෑ. තමන්ගෙ ජීවිතය චිත්‍ර අස්සෙ හොයාගෙන යන එක දිගටම කරන්න. ඔයා මෙහෙ ඇවිල්ල ඉන්නෙ එකට.
සුමුදු අතුකෝරල

No comments:

Post a Comment